සිංහල, Features, Human Security, Life quips, Pollonnaruwa

ත්‍රීවිල් එකේ ලයිට් එළියට එකපාරටම මම දැක්කා ‛කලු ගුලියක්’

madirigiriya

මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ අලි වැට ඉදි කිරීම නිසියාකාරව සිදු නොවු නිසා ඒ ආශ්‍රිත ජනතාව මහත් අපහසුතාවයට පත් ව සිටී. මෙම වනෝද්‍යානය තුළට ගෙනවිත් දමන දරුණු අලි නැවත ඒ ආශ්‍රිත ගම්මානවලට පිවිසීම නිසා මෙම අලි ගැටලුව උග්‍ර අතට හැරෙමින් තිබෙන බව මැදිරිගිරය ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙයි.

විහාර මාවත, දේවාලකොලනිය, දීවරගම්මානය, ට්‍රුක් 8, මිරිස්හේන, කවුඩුලු වැවැ 2වනපියවර, තිස්සපුර, ඇටඹ ඔය, ගොඩපොත්ත, පතෝලකොටුව, නිකහේන යන ගම්මානවල මෙම තත්වය දැඩිව බලපා තිබේ.

2009 අප්‍රේල් මස සිට ඔක්තෝබර් මස දක්වා අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට වර්ෂාව ලැබුණේ නැත. මෙම ත්ත්වය මැදිරිගිරිය ප්‍රදේශයටද දැඩිව බලපා තිබුනි. කැළෑවල සිටි අලින්ට ද මේ තත්වය දැඩිව බලපා තිබූ නිසා අලින් ගම් වදින්නට විය. ඒ ගම්වැදුනු අලි බොහෝ විට මැදිරගිරිය නගරයේ කලගෙඩි පාලම අසලටම පැමිණෙන්ට විය.

වර්ෂාව ලැබීමත් සමග එම අලින්ගේ පැමිණීම අඩු වුවත් මෙම අලි වගාවන්ගේ අස්වැන්න ලැබිමත් සමග නැවතත් ගම්වැදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ගොවීන් පවසයි. ගොවීන් පවසන්නේ අලින් ගම්වැදීමට මූලික හේතුව වී ඇත්තේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ මින්නේරිය, ගොම හංදිය, රත්මලේ උඩ කොටස, ආවරණය වන පරිදි අලිවැට ඉදි කිරීමත්, කවුඩුලු වැව, දොරදොළහ, මිරිස්හේන ප්‍රදේශයන් හරහා මැදිරිගිරිය නගරය දක්වා අලි පිවිසුම් මාර්ගයක් නිර්මාණය වීම නිසා බව ගොවීන් පෙන්වා දෙයි.

මේ පිළිබදව අදහස් දැක්වූ මැදිරිගිරියේ, නුවන් කුලතුංග මහතා,

‛ඇත්තෙන්ම අපි හිතුවේ නෑ කලගෙඩිපාලම අසලටම අලි එයි කියලා. ලගදී දවසක අපි මළගෙදරක ගියා. ට්‍රක් 8 ගමේ. අපි එනකොට රාත්‍රි 11ට විතර ඇති. ත්‍රීවිල් එකේ ලයිටි එළියට එකපාරටම මම දැක්කා කලු ගුලියක්. මම හිතුවේ නෑ අලියෙක් කියලා. තව ටිකක් බලනකොට අලි තුන් දෙනෙක් මහ පාරේ. එතනදී ඇතිවෙච්ච බයට ත්‍රීවීල් එක නතර උනා. දැන්නම් වැස්සත් එක්ක මේ කරදරේ ටිකක් අඩු වෙලා. ඒත් වැස්ස නැවත වැස්ස නැවතුන ගමන් ආපහු අලි එයි කියලා හිතනවා. මේ ගැන ඉක්මනට පියවරක් ගන්න වෙනවා. නැත්නම් ජීවිත උනත් නැති වෙන්න පුලුවන්.’

මේ පිළිබඳ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ භාරකරු ඒ. සුරවීර මහතාගෙන් විමසීමක් කළෙමු.

‛දැනට විහාරගම ආසන්නයට අලි වැට ඉදිකර තිබෙනවා. විහාරගම, පලුවද්දන, මිරිස්හේන, පාලු වැව, දක්වා කිලෝමීටර 8ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි අලි වැටක් ඉදිකරන්න ඇස්තමේන්තු සකස් කර ‛‛ගජමිතුරෝ’’ වැඩසටහන හරහා මුදල් වෙන් කරලා තියනවා. 2010 මැදහරියක් වෙනකොට වැට ගසා අවසන් කරන්න පුලුවන්. එවිට මේ තත්වය මගහැරිලා යාවි.’
කෙසේ වෙතත් මේ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස මැදිරිගිරිය ආශ්‍රිත ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මෝහන් කුලතුංග – මැදිරිගිරිය