Colombo, Features, Media and Communications, Politics and Governance

මැරකම රජවීම නොහොත් නීතිය බලූවීම

‘‘ මේක ජනමාධ්‍ය හදාපු බොරුවක්. මගේ පුතා බේබද්දක් නොවෙයි. එයා ඕන තරම් ගුවනින් ගිහින් තියෙනවා. ඕක අත් වැරුද්දක්’’ යැයි ජනප‍්‍රිය විකට කථික අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කීවේ ගුවන් යානයක වැසිකිළිය යැයි සිතා අඩි 35,000ක් උඩ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් යානයක දොර ඇරීමට උත්සාහ කළ සිය පුත‍්‍රයා ආරක්ෂා කරමිනි.

ගුවන් යානයක වැසිකිළි දොර සහ ගුවන් යානයේ දොර අතර ඇති වෙනස ගුවනින් ගමන් කර ඇති ඹ්නෑම කෙනෙකුට ලෙහෙසියෙන් තේරුම් ගත හැකි දෙයකි. වැසිකිළි දොර ඇත්තේ ඇවිද යාමට ඇති මඟ දෙපස ය. දොර ඇත්තේ ගුවන් යානයේ බඳෙහිය. මෙම ස්ථාන දෙක වැරදීමට නම්, විශේෂයෙන්ම ඇති තරම් ගුවනින් ගොස් ඇති බව කියන රමිත් රඹුක්වැල්ල තරුණ ක‍්‍රිකට් කී‍්‍රඩකයාට එක්කෝ සිහි විකල්වීමක් විය යුතු ය. නැත්තම් බීබීසී ගුවන් විදුලියේ සිංහල සේවයට එම ගුවන් සේවාවේ නිලධාරියකු කී පරිදි බීමත්ව සිටිය යුතු ය. නමුත් විකට කථික ඇමැති රඹුක්වැල්ල කියන්නේ මේ සියල්ළ ජනමාධ්‍ය විසින් ගොතන ලද කතාන්තර බවය.

නීතියේ පාලනය පවතින රටකදී නම් ඇමැතිවරයා මෙම ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය කළ යුතුව තිබුනේ සිය පුත‍්‍රයා පිළිබඳව ක‍්‍රිකට් පාලක මන්ඩලය ආරම්භ කර ඇති විනය පරීක්ෂණය අවසන් වූ පසු ය. ඇමැතිවරයාගේ මෙම ප‍්‍රකාශයේ තේරුම යෝජිත විනය පරීක්ෂණයට බලපෑමක් කිරීම නොවේ ද? ඇමැතිවරයාගේ ප‍්‍රකාශයට පිටින් ගොස් රමිත් රඹුක්වැල්ල බීමතින් සිට ඇතැයි කීමට එම විනය පරීක්ෂණය සමත්වනු ඇත් ද?

විකට කථික ඇමැතිවරයා කල්පනා කරනු ඇත්තේ අනෙක් ඇමැතිවරුන්ට ඔවුන්ගේ මැර දරුවන් රැක ගැනීමට හැකි නම් මටත් එම අයිතියම තිබෙන බවය.

මේ වනාහී වත්මන් ශ‍්‍රී ලංකාවේ වර්ධනය වන බියකරු දේශපාලන පිලිළයක එක් අවස්ථාවක් පමණි. එම පිලිළය නම් රාජපක්ෂ දේශපාලනඥයින් සහ හෙංචයියන්, ඔවුන්ගේ ඥාති ගනයා සහ දරු පරම්පරාව ධනය සහ බලය මගින් නීතිය සිය අතට ගනිමින් සිටීම යි. රාජපක්ෂ දේශපාලනඥයකු විසින් නීතිය අතට ගෙන මැරකම රජකරවන සිදුවීමක් නොඇසෙන සතියක් දැන් මෙරට නැත. එම සෑම සිදුවීමක්ම වාගේ කාලයේ වැලි තලාවෙන් වැසී යන්නේ ශ‍්‍රී ලංකාවේ නීතියේ පාලනය වල් වැදී ඇති සැටි පෙන්වමිනි.

මිනීි මැරීම් සම්බන්ධයෙන් අත් අඩංඟුවේ සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ පවුල මෙම භයානක වර්ධනයේ කැඩපතක් වැන්න. නියෝජ්‍ය පොලිස්පතිවරයා පමණක් නොව මුළු පවුලම මාරක ගිනි අවි පුහුණුවන සහ ධනයෙන් පිරී ඉතිරී සිටින ජායාරුප වෙබ් අවකාශයේ සැරි සරයි. මෙම නූතන දාමරික දේශපාලනයේ පදනම වන ප‍්‍රචණ්ඩත්වය සහ ගරානාව මෙම ජායාරුප විසින් සංකේතවත් කරයි. ඔවුන්ගේ වස්තුව කෝටි ප‍්‍රකෝටි ගනනක් යැයි කියනු ලැබේ.

බිය වැද්දවීම, පැහැර ගැනීම, ඝාතනය කිරීම යනාදී ක‍්‍රම මගින් රුස් කර ගන්නා වස්තු සම්භාරයෙන් සැප සම්පත් විදින මනසක් කෙතරම් වියරු විය යුතු ද? ‘‘මං මිනී මරුවෙක්, අවාම බලා ගනිල්ලා යැයි’’ කිමට සමත් රාජ අනුග‍්‍රහය ලබන මනසක් කොතරම් බියකරු විය හැකි ද? අප තේරුම් ගත යුත්තේ මේ වානාහී හුදකලා සිදුවිම් නොව ගජ මිතුරු ධනවාදයේ සහ මැර දේශපාලනයේ සහවාසයෙන් උපන් යක්ෂයා බවය.

මෙම සංස්කාතියට නිදසුනක් සපයමින් තවත් අවස්ථාවක වෙබ් අඩවියකට පුරසාරම් කියමින් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයාගේ පුත‍්‍රයා කියා තිබුණේ තමාගේ කාරයේ මාසික ඉන්ධන බිල පමණක් ලක්ෂ දෙක තුනක් වන බවයි. අධික වියදම් සහිත රථවාහන ගෙනැවිත් රාත‍්‍රී කාර් රේස් පවත්වන්නේ ජනාධිපති පුතුන්ගේ මන දොළ සැපැරිමට බව කුප‍්‍රසිද්ධ රහසකි.

ඇමැතිවරුන්ගේ දරුවන් පමණක් නොව රටටම සදාචාර දේශනා පවත්වන ජනාධිපති රාජපක්ෂගේ පුතෙකු පසුගිය මැයි මාසයේ දී පෙර රගර් විනිසුරුවරයකුට පහර දුන්නේ දෙනෝ දහසක් ඉදිරියේ ය. එම සිදුවීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණක් පැවැත්වීමට පෙරම එම පහරදීම අනවබෝධය උඩ සිදු වූ දෙයක් බවට ජනාධිපති බලතල සහිත දේශපාලනඥ නාමල් රාජපක්ෂ කියා සිටියේ ය. දැන් එම විනය පරීක්ෂණ වාර්තාවට සිදු වූ දෙයක් දන්නා අයෙක් නැත. එම පහරදීමට තෑග්ගත් වශයෙන් දෝ ඉන් ්මසකට පසු රෝහිත රාජපක්ෂට ලක්ෂ 110ක් ගෙවා තරඟාවලියකට බඳවා ගන්නා ලදී. ඔහු ලංකාවේ සිටින හොඳම රගර් ක‍්‍රීඩකයා නොවුන ද වැඩි මිලක් ලැබුනේ ඔහුට ය. ඊළඟට ක‍්‍රීඩකයාට ලැබුනු මිල ලක්ෂ 25කි. රාවය වාර්තා කළ අන්දමට පහර නෑ රගර් විනිසුරුට එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල බලපෑම් හමූයේ ඉල්ලා අස්කර ගැනිමට සිදු විය.

ගුරුවරයා හිටගෙන හුජ්ජ කරන විට කරන විට ගෝලයා දුව දුව හුජ්ජ කරන්නේ යැයි කියැවෙන ජනවහර දැන් ජිවමාන කරන්නේ ජනාධිපති සහ ඇමැතිවරු විසිනි.

බුද්ධි අංශ යුද හමුදා නිලධාරියකුට පහර දී ඔහුට තුවාල සිද කොට ඔහුගේ නිල පිස්තෝලය ද පැහැර ගත් ඇමැති මර්වින් සිල්වා පුත් මාලක සිල්වා නිවැරදිකරු වූ අතර හමුදා නිලධාරියා ගුටිකෑම සහ ඒ පිළිබඳව පැමිණිිලි කිරීම වෙනුවෙන් දඩුවම් ලැබුවේ ය. එම අවස්ථාවේදීත් සිය පුත‍්‍රයාගේ නිර්දෝශි බව වෙනුවෙන් කැට තියා ඉදිරිපත් වූයේ ඇමැති පියාණන් ය.

නවගත්තේගම නවෝදයා විදුහලෙහි ගුරුවරියක දණ ගැස්වූ රාජපක්ෂ දේශපාලනඥයා ද ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ එම චෝදනාව අමුලික බොරුවක් බවත් තමා එම පාසැළ පැත්තේ වත් නොගිය බව ය. එපමණක් නොව එම සිදුවීම දුටු කිසිවකු සාක්ෂියක් කීමට නැති බවත් කියැවේ. දේශපාලනඥයා ඇප ලබා නිදහස්වූ අතර ගුරුවරියට සිය සේවය සඳහා පාසැළක් සොයා ගැනීම දුෂ්කර වී තිබේ. අවසානයේ දී ජනමාධය හමූයේ සමාද්ධි නියාමකයා ගස් බැඳි සහ පිටුවාහල් ජනමාධ්‍යවේදීන් යළි පැමිණිය හොත් දෙපා බිඳන බවට රූපවාහිනි කැමරාවට කියූ ඇමැති මර්වින් සිල්වා නිර්දෝශී වූ පරිදි මේ වසළ දේශපාලනඥයා ද නිර්දෝශි වී යළි රාජපක්ෂ ඇමැතිධුරයක් ලබා ගත හොත් අප පුදුම නොවිය යුතු ය.

දෙවසරකට තරම් ඉහත දී තංගල්ල සංචාර හෝටලයක දී බි‍්‍රතාන්‍ය ජාතික සංචාරයකයකු ඝාතනය කළ බවට සැක කැරෙන තංගල්ල ප‍්‍රදේශිය සභා සභාපති රාජපක්ෂ දේශපාලනඥයාට විරුද්ධව ද සාක්ෂි දීමට කිසිවකු නැති වනු ඇත. සාක්ෂිකරුවනට තර්ජනය කැරෙන්නේ යැයි එම නඩු විභාගය කොළඹට ගෙන එන ලද නමුත් එළෙස තර්ජන කරන දේශපාලනඥයින්ට කිසිදු අවහිරයක් නැත. මෙම නඩු විභාගයෙන් ද රාජපක්ෂ දේශපාලනඥයා නිදහස් වී යළි වීරයකු බවට පත් වුව හොත් අප පුදුම නොවිය යුතු ය.

එළාර ද්‍රොහියෙක්, කෙහෙළිය වීරයෙක් යැයි කොටුව දුම්රිය පොළ ඉදිරිපිට හෙට අනිද්දා උද්ඝෝෂනයක් පැවැත්වුන හොත් පුදුම නොවන්න. එළාර රජු දෝහියකු වන්නේ ජනප‍්‍රවාදයට අනුව වසු පැටියකු සිය රථයට යට කර මරා දැමූ සිය පුත‍්‍රයාට දඩුවම් කළ නිසා ය. වත්මන් ප‍්‍රායා්ගික මහින්ද චින්තනයට අනුව ඔහු විසින් කළ යුතු වුයේ එම පැමිණිල්ල ගෙන ආවේ යැයි කියන එම වසු පැටියාගේ මව් වැස්සිය බොරු චෝදනා ගෙන ඒම සම්බන්ධයෙන් උල හිදුවීම නිසා ය. කෙහෙලිය වීරයෙක් වන්නේ විකට කතා කියා රට හිනැස්සීමට අමතරව ජනමාධ්‍ය සමඟ සටන් වදිමින් උඩු ගුවනේ දී ගුවන් යානයේ දොර හැරීමට තැත් කරමින් වීර විකුම් පැ බව කියන සිය පුත‍්‍රයා රැක ගැනීම වෙනුවෙන් ඉදිරියට පැමිණි නිසා ය.

අහෝ අද ශ‍්‍රී ලංකාවේ නීතියේ පාලනය වන වැදී මැර පාලනය රජ වී ඇති සැටි. ඉතින් කුමාරතුංගයන් දරුවන්ට දුන් ඔවදන අනුව යමින් අපිදු කමු බොමු නටමු, ගී කියමු. රාජපක්ෂවරුන්ට ජයවේවා! ඔවුන්ගේ ඇමැතියන්ටත් ජයවේවා ! ඔවුන්ගේ දරුවන්ටත් ජයවේවා!! අප මේ ගමන් කරමින් සිටින්නේ ආසියාවේ ආශ්චර්්‍ය කරා නොවේ ද?

මැර ආශ්චර්යයේ ලැයිස්තුවක් ලිවීම පසුවට තියමි.

Sunandaසුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya