සිංහල, Colombo, Democracy, Governance

තමන්ගේ වල තම අතින් කපා නො ගැනීමේ දේශපාලන කලාවකට …

අනාදිමත් කාලයක සිට ලංකාවේ පුරවැසියෝ කටයුතු කර ඇත්තේ ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් සහ දුර දක්නා නුවණිනි. එසේ නම් අපගේ දේශය මේ තරම් දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇත්තේ මන්දැයි කෙනෙකූගේ සිත තුළ කැකෑරෙන පැනයක් ඇති විය හැක. අද වන විට යම් පමණක හෝ අස්වැසිල්ලකින් යුතුව මොහොතක්වත් ගත කිරීමට මෙහි වෙසෙන්නන්හට අවකාශයක් ලැබී ඇත්තේ එම පුරවැසියන් අතළොස්සගේ කි‍්‍රයාකලාපයන් නිසා බව එ ලෙස පැනයක් උපදවා ගත්තවුන්හට, වටහා දීම වටී. මෙ රට වෙසෙන ඡුන්ද දායකයෝ බහුතරයකගේ මතයෙන් පුරවැසියෝ අතළොස්සකගේ මතය යටපත් කිරීමට සමත් වූ නිසා රට මේ තරම් අගාධයකට වැටී ඇති බව වටහා ගැනීම එම කාර්යය යි.

එසේ නම් පුරවැසියා හා ඡුන්ද දායකයා යනු දෙදෙනෙකි. පුරවැසියා නිකමෙක් නොවේ. ඔහු හෝ ඇය හෝ කාර්යයන් රැුසක නිති නියැළෙන්නේ ය. ඒවා ආත්මාර්ථය පිණිස නොව පරාර්ථය පිණිස ම වන්නේ ය. පුරවැසියාට ඇත්තේ බලාපොරොත්තු (hopes) නොව අභිලාෂයන් (aspirations) හෙවත් සඵලාර්ථයන් ය.

එම අභිලාෂයන් ඉටු කර දීම තුළින් සමාජ ප‍්‍රගමනය සිදු වනු දැකීම පුරවැසියාගේ පරම පැතුම වන්නේ ය. ඔහු හෝ ඇය හෝ ලෞකික වශයෙන් ලබන පරම නිවන එය යි.

ඡුන්ද දායකයා නිකමෙක්මත් නොවේ. ඔහුට හෝ ඇයට ද අතීතයක් සේම වර්තමානයක් ඇත. එහෙත් යහපත් අනාගතයක් නැත. එසේ වන්නේ ඡුන්ද දායකයා බලාපොරොත්තු පමණක් පොදි බැඳ ගෙන ජීවත් වන නිසා ය. ඔහු හෝ ඇය හෝ ජීවත් වනවාට වඩා කරනුයේ අනුනට කඹුරන එක ය. බොහෝ විට මොවුනට සිදු වන්නේ තමන් පි‍්‍රය කරන දේශපාලකයාගේ (දේශපාලනඥයා ද නොවේ.* උවමනා – එපාකම් වෙනුවෙන් පෙනී සිටීමට ය. එම දේශපාලකයාගේ බලාපොරොත්තු ඉටු වීම මගින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වෙතැයි වන බලාපොරොත්තුව පමණක් ඔවුන් ජීවත් කරවයි. මෙසේ හෙයින් ඡුන්ද දායකයා බොහෝ විට ආත්මාර්ථකාමී ය. එම ආත්මාර්ථකාමීත්වය රටේ අනාගතයට දීර්ඝ කාලීන යහපතක් සිදු නො කරයි.

දැන් තවත් පැනයකි. මෙ ලෙස හඳුනා ගන්නා දේශපාලකයා හා දේශපාලනඥයා කවුරුන් ද? තත්ත්වය එය නම් අපි දේශපාලනය නො කර සිටිමු ද? තවත් අයුරකින් සිතන කල දේශපාලනයේ නිරත වූවන්ගෙන් රටට වැඩක් නොමැත්තේ ද? ඉහත පැන දෙක තුනට ම එක වර ඔව්! යනුවෙන් පිළිතුරු දිය නො හැකි ය. මන්ද අපි කිසිවෙකුටත් දේශපාලනයෙන් තොර ව දිවි ගෙවීමට නො හැකි නිසා වෙනි. මිනිසා යනු උපතින් ම දේශපාලන සත්වයෙකි. එසේ නම් අපි දේශපාලනයෙහි නියැළිය යුතු වෙමු. කලකට පෙර මේ දේශයට සපැමිණ වැඩ විසූ ටිබෙට් ජාතික හෙවත් සිකීමයේ මහින්ද හිමියන් දේශපාලනය සරලව හඳුනා ගත් අයුරුයි මේ.

”… තමන් ලැබු දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ … ”

අද දේශපාලනය කරන්නට නම් දේශපාලනය කුමක් දැයි උගත යුතු ය. වත්මනෙහි දේශපාලනයේ නියැළෙන්නෝ මේ ආකාරයට දේශපාලනය උගෙන දේශපාලනය කරන්නෝ දැයි දැනුදු පැනයක් මතු විය හැක. සැබෑවකි. ගමේ ගොඬේ සාමාන්‍ය ව්‍යවහාරික බසින් පවසතොත් මළ පොතේ අකුරක් වත් නො දත් එකාට පවා මන්තිරියෙක් විය හැකි යුග ගෙවී ඇත්තේ ය. ඒ සඳහා අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ. ඒ වග අග විනිසුරුතුමා ද පසු ගිය දා ප‍්‍රකාශ කර තිබුණි. අග විනිසුරු නොව මහා බ‍්‍රහ්මයා පැවසුවත් රටක – සමාජයක ප‍්‍රගමනය උදෙසා කි‍්‍රයා කරන්නන් යමක් දැන සිටිය යුතු ය.

සංකීර්ණ හා විද්‍යාත්මක අතින් දියුණු සමාජයක එය අත්‍යවශ්‍ය සාධකයකි. අද විෂයයන් වශයෙන් පවතින දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව හැදෑරිය යුතුමයැයි ඉන් අදහස් නො කරයි. එසේ වන්නේ නම් වඩාත් යහපතකි. එසේ නමුදු දේශපාලනික රාජ්‍යතාන්ති‍්‍රක භාවයක් ලැබීමට අධ්‍යාපන පසුබිමක් අවශ්‍යම ය.

සරල ජීවන රටාවකට හිමිකම් කියූ යුගයේ දී පවා පාලකයන්ට අර්ථයෙන් – ධර්මයෙන් උපදෙස් දුන්නෝ විසූ හ. යම් පමණකට ඒවා පිළිපැදීමට එදා සිටි පාලකයන්ට සිදු විය. එ බැවින් එසේ ජනතා සේවයට කැප වන්නා හා හුදු වචනාර්ථයේ දේශපාලකයා අතර වෙනසකි. මුදලේ හයියට, බලයේ හයියට, කුලයේ හෝ ජාතියේ හයියට හෝ අනෙකුන් පාගා ඉහළට විත් ජනතා නියෝජිතයෙක් වන්නාට වඩා එසේ නොවන ජනතා සේවකයා අතර වෙනස හඳුනා ගත යුතු ය. හුදු දේශපාලකයා දේශපාලනඥයාගෙන් වෙන් වන්නේ එවිට ය.

දේශපාලකයා හා දේශපාලනඥයා අතරින්, ඡුන්ද දායකයා ලූහු බඳින්නේ දේශපාලකයා ය. මේ දේශපාලකයා ඡුන්ද දායකයා ලවා සියලූ පක්කිලිකම් ඉටුකරවා ගනී. දේශපාලකයාට පක්කිලිකම් සිදුකරන අතර දේශපාලකයාට රැුවැටීමට ද ඡුන්ද දායකයා මහත් අභිරුචියක් දක්වයි. ඒ මගින් අදාල දෙ පාර්ශවයේම පටු බලාපොරොත්තු ඉටු කර ගන්නට වීර්යය යොදයි. මේ සඳහා විවිධ නො පනත්කම් සිදු කරයි. අවසානයේ ඡුන්ද දායකයා මස්කට්ටක රස බලන අතරතුර කපටි – කෛරාටික දේශපාලකයා මස් පමණක් නොව තම අන්තේයවාසිකයාගේ හතර වරිගයම ගිල දමයි.

පුරවැසියා ළං කර ගන්නා දේශපාලනඥයා එසේ නොවේ. පළමුව තමන් ද පුරවැසියෙක් බව සිතා රටේත් ජනතාවගේත් අභිලාෂ හෙවත් සඵලාර්ථ වෙනුවෙන් කැප වෙයි. එය සැබැවින් ම පරාර්ථකාමී ය. එ විට අද ලොව බොහෝ තැන් හි සාකච්ඡුා වන සහ ප‍්‍රචලිත යහ පාලනයට (Good Governance) මඟ හෙළි – පෙහෙළි වනු දැකගත හැකිය. එ වන් පාලකයන් සහ පුරවැසියන් අතර අත්‍යන්ත බැඳීමක් පවතිනු ඇත. ඔවුහු දෙපාර්ශවය ම, අතීත – වර්තමාන – අනාගත යන තුන් කලට ම ගෞරවයක් වන, විශ්මකර්මයෝ බඳු මිහි පිට දෙවියෝ වෙති.

දැන් ඔබ පුරවැසියෙක් ද? හෝ දේශපාලනඥයෙක් ද? හෝ යන්න නැවතත් සිතා බලන්න. එ මගින් රටට වග කියන ජනතා නියෝජිතයන් පත් කර ගැනීමටත් රටට වග කියන යහපත් ප‍්‍රපංච හිමියෙකු වීමට ත් ඔබට හැකි වනු ඇත.

ජනිත් විපුලගුණ
2007 සැප්තැම්බර් 17

Read my article as a PDF here.