සනත් බාලසූරිය ගේ ප‍්‍රථම නවකතාව වන ‘මේ සොඳුරු දඩබිමෙහි’ සහ මංජුල වෙඩිවර්ධන ගේ අභිනව නවකතාව ‘මගේ ආදරණීය යක්ෂණී’ ඇතුළු සාහිත්‍ය කෘති පහක් සමඟින් ‘සම’ ප‍්‍රකාශකයෝ මෙ වර කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ දී දොරට වැඩිමට සූදානමින් සිටිති.

වසර 20කට අධික කාලයක් ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ, 2005 සිට 2009 දක්වා වසර හතරක් ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍රකලාවේදීන් ගේ සංගමයේ සභාපතිත්වය ද හෙබවූ සනත් බාලසූරිය ගේ පළමු නවකතාව ‘මේ සොඳුරු දඩබිමෙහි….’ ද ‘සම’ ප‍්‍රකාශනයක් ලෙසින් මෙවර පොත් සල්පිලේ දී එළිදැකීමට නියමිත ය. ඔහු ගේ දෙ වැනි කෙටිකතා සංග‍්‍රහය ද ‘මරණයේ සෙවනැල්ල යට නිදා සිටි පූස් පැටියා’ නමින් මෙහි දී එළිදකී. 1998 වසරේ ‘මළගිය ප‍්‍රාණකාරයන් ගේ කතා’ නමින් සිය පළමු කෙටිකතා සංග‍්‍රහය මුද්‍රණයෙන් එළිදැක්වූ සනත් බාලසූරිය වසර පහළොවක් වූ සිය දිගු සාහිත්‍ය නිහැඬියාව මෙම කෘති ද්විත්වයත් සමඟින් බිඳදමනු ඇත.

සම්මාන ලාභී සාහිත්‍යකරුවකු සේම ප‍්‍රවීන ජනමාධ්‍යවේදියකු ද වන මංජුල වෙඩිවර්ධන ගේ නවතම නවකතාව ‘මගේ ආදරණීය යක්ෂණී’ ද මෙම සාහිත්‍ය මාසයේ දොරට වැඞීමට නියමිත ව ඇත්තේ ‘සම’ ප‍්‍රකාශනයක් ලෙසිනි. 2007 වසරේ දී ජනගත කැරුණු ඔහු ගේ ප‍්‍රථම නවකතාව වූ, 2008 වසරේ දී හොඳ ම නවකතාවට හිමි ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද හා එම වසරේ ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වූ, මෙ රට ප‍්‍රබුද්ධ පාඨක විචාරක දෙ පිරිසේ ම නො මඳ සම්භාවනාවට පාත‍්‍ර වූ ‘බත්තලංගුණ්ඩුව’ තෙවැනි මුද්‍රණය ද මෙ වර සම ප‍්‍රකාශනයක් ලෙසින් කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිලේ දී දොරට වඩිනු ඇත. ඔහු ගේ ‘ඇහැළ ඇමතුමකට ඇහැරෙමි’ කාව්‍ය කෘතිය පසුගිය වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග‍්‍රහය ලෙස රාජ්‍ය සම්මානයෙන් සේ ම විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබී ය.

සනත් බාලසූරිය සහ මංජුල වෙඩිවර්ධන මේ වන විට ජීවිත තර්ජන හේතුවෙන් 2009 වසරේ සිට රටින් බැහැර ව ජීවත් වෙයි.

Dadabima Cover 590

Baththalangunduwa 590

Poos Cover 590