Image Credit:thesundayleader

වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයන්ගෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජය කල් තබා තීරණය වී තිබුණි. දයාසිරි ජයසේකර වැනි නැගී එන සහ ජනප්‍රිය නායකයකු පන්නා දමන පක්ෂයක් මැතිවරණයකින් ජය ගැනීම තබා හොඳ තරඟයක් දීමටවත් සමත් නොවන බව මැතිවරණ දේශපාලනයේ අ යන්න ආ යන්න දන්නා ඕනෑම අයෙකුට තේරුම් ගත හැකිව තිබුණි.

දයාසිරි ජයසේකර එජාපයෙන් ඉවත්වීම යහපතක් බවත් එමගින් පක්ෂ පිරිසිදු වූ බවටත් කියන කතාන්තර මතකයට ගෙනෙන්නේ ලෙඩා මළත් බඩ සුද්දවීමේ කතා ය. එජාපය හැර ගිය සියල්ලන් හොරුන් සහ වංචාකාරයින් බවට කියන කතාන්තර හුදෙක් තමන් සනසා ගැනීමට සකසා ගන්නා ස්වයං මෝහනයන් පමණකි.

ඇත්ත වශයෙන්ම නම් එජාපයෙහි දුර දක්නා නායකත්වයක් වූයේ නම් වයඹ එජාප නායකයා වශයෙන් ඉදිරියට ගන්නට ඉඩ තිබුණේ ජයසේකර ය. දයාසිරි පමණක් නොව එජාපයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිය තවත් බොහෝ තරුණ දේශපාලනඥයින්ට එසේ කිරීමට සිදු වූයේ රනිල් වික්‍රමසිංහ විසින් පල නොකියා පලා බෙදීම නිසා ය. රාජපක්ෂ එය සිය වාසියට හරවා ගත්තේ ය. කළකට පෙර එහි බල කොටුවක් ලෙස සැළකුණු වයඹ දී එජාපය ලද පරාජය ශ්‍රී ලංකාවෙහි එජාපයේ ගරා වැටීම පෙන්වන සංඛේතාත්මක දර්ශකයකි.

උතුරු පළාතෙහි එජාපය සේදී ගිය අතර මධ්‍යම සහ වයඹ ජන්ද ප්‍රතිශතය සියයට 20 සහ 30 අතරට වැටුනි. එජාපය කෙරෙහි ඇති කළ කිරීම පෙන්වමින් රාජපක්ෂ විරෝධී ජන්ද දායකයෝ දස දහස් ගනනාවක් පොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සහාය දුන්හ. තවත් එවැනිම පිරිසක් ජන්දය නොදී හැරියහ.

මෙම පළාත් සභා මැතිවරණ ප්‍රතිපළ විසින් ඉතා සරළ නිගමනයකට පැමිණය හැකි ය. එනම් ලබන වසරෙහි පැවැත්වීමට ඉඩ ඇති ජනාධිපතිවරණයේ දී රාජපක්ෂවරුන්ට තරඟයක් හෝ දීමට රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයට නොහැකි බවයි. එය ලබන වසර මුල පැවැත්වෙන පළාත් සභා මැතිවරණ තුනෙන්ද තහවුරු වනු ඇති බව දැන්ම ලියා තැබිය හැකි ය.

පිට පිටම ලබන පරාජයන් හමූයේ පක්ෂයක නායකත්වය බදා ගෙන සිටින වික්‍රමසිංහ වැනි නායකයකු ලෝකයේ වෙනත් කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටකවෙත්දැයි සිතිය නොහැකි තරම් ය. එජාපයට නව නායක පරම්පරාවක් ගොඩ නැගීම වෙනුවට ඔහු විසින් ඉතිරි කරගෙන ඇත්තේ තරුණ එහෙයියන් රෑනක් පමණි. පක්ෂය සොදාපාලු වී යත්දීත් නායකත්වයේම එල්බ සිටීම අතින් ජවිපෙ සෝමවංශ අමරසිංහ සහ එජාප රනිල් වික්‍රමසිංහ අතර වෙනසක් නැත.

රනිල් වික්‍රමසිංහගේ දැක්ම තුළ මහා ජනයා කියා ප්‍රභේදයක් නැති බව මේ ලියුම්කරු අත්දැකීමෙන්ම දනී. ඔහුගේ දේශපාලනය ආර්ථික ඌණනවාදයකි. එනම් ඔහු කල්පනා කරන්නේ ආර්ථික ප්‍රශ්න විසින් දේශපාලන ජය පරාජයන් තීරණය කරන බවයි. ආර්ථික අර්බූදයක් ඇති වුව හොත් තමන්ට නිකම්ම බලයට පත් විය හැකි බවත් එවැනි අර්බූදයක් නැත්නම් කොතරම් ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ඇති කළත් මැතිවරණයකින් බලය ලබා ගත නොහැකි යැයි යන්න ඔහුගේ කල්පනාව ය. ප්‍රබල පක්ෂයකට නායකත්වය දී ගොඩ නැගීමට අවශ්‍ය සන්ධානකාමී නම්‍යශීලි බව වික්‍රමසිංහට අවශ්‍ය නොවන්නේ ඒ නිසා ය.

එජාපයේ අභාග්‍ය රනිල් වික්‍රමසිංහ නායකත්වය පමණක් නොවේ. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තමන් යැයි තමා විසින්ම පත් කරගෙන ඇති සජිත් ප්‍රේමදාස එජාපයේ ඛේදවාචකය දෙගුණ කරවයි. තමාට පක්ෂයේ නායකත්වය ඇතොත් තමා එජාපය ජයග්‍රහණය කරා ගෙන යන බව ප්‍රේමදාසගේ කයිවාරුව ය. ඒ සා හැකියාවක් ඇතැයි කියන ප්‍රේමදාසට දකුණූ පළාතේ මහ ඇමැති අපේක්ෂකයා වන්නැයි ඉල්ලීමක් කළ විට ඔහු දක්වන්නේ ජනාධිපති අපේක්ෂකයකුට නොහොබිනා නෑසූ විරෑ පහත් මට්ටමක බැණ වැදීමකි.

එම යෝජනාව ගෙන ආ පිරිස්, ප්‍රේමදාස හදුන්වන්නේ(දේශපාලන) කුජීත අවජාතක නපුංසකයින් පිරිසක් ලෙස ය. එම යෝජනාව ඔහු හදුන්වන්නේ නින්දිත කුමන්ත්‍රණයක් ලෙස ය. විදේශ බලවේගයන්ගේ දේශීය අතකොලුවල වැඩක් ලෙස ය. කොටි බළල් අත්වල යෝජනාවක් ලෙස ය.

මහ ඇමැති අපේක්ෂකයා වන්නැයි කරන ලද යෝජනාවට මෙම ඊළඟ නායකයා බියට පත්ව ඇති තරමින් පෙනෙන්නේ දකුණූ පළාතේ දී එජාපය ලබන්නට නියමිතව ඇති දරුණු පරාජයේ තරම ය. අඩුම වශයෙන් රාජපක්ෂවරුන්ට විරුද්ධව හොඳ තරඟයක් හෝ දීමට හැකියාවක් තිබුනේ නම් ප්‍රේමදාස මහතා මෙම යෝජනාව ඉති සිතින් බාර ගන්නට තිබුණි. එමෙන්ම එවැනි වාසිදායක තත්ත්වයක් තිබුණි නම් රනිල්වාදී පිරිස් විසින් ප්‍රේමදාසට කිසිසේත්ම මෙවැනි යෝජනාවක් කරන්නේ ද නැත.

දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙරම එජාපය තුළ ඇති වී තිබෙන මෙම කළබගෑනියෙන් ද තහවුරු වන්නේ එහි ජන්ද පදනම කොතරම් දෙදරා ඇත්තේ දැයි එම පක්ෂයේ ම අභ්‍යන්තරයේ ඇති පිළිගැනීම යි. එක් පාර්ශවයක් පරදින මහ ඇමැති තරඟයට ප්‍රේමදාස කොටු කර අමාරුවේ දැමීමට සැළසුම් කරන අතර බියට පත් ප්‍රේමදාස පහත් පෙළේ වාග් ප්‍රහාර මගින් එම තරඟයෙන් ලිස්සා යයි.

ප්‍රේමදාසගේ එම කතාවේ ස්වරය ද එක්කළ කල මෙම වාග් ප්‍රහාරය යෝග්‍යවන්නේ අනාගත ජනාධිපති අපේක්ෂකයකුට වඩා අද මර්වින් සිල්වා දරන මහජන සම්බන්ධතා ඇමැතිධූරය වැනි එකකට ය. ප්‍රේමදාස පාවිච්චි කරන අවජාතක නපුංසක වචන සමාජයේ කොන් කරනු ලබන පුද්ගලයින් පහත් කොට සැළකීමට යොදා ගන්නා වචන ය. එම වචන යොදා ගැනීම මගින්ම සමාජයේ ඇති විශම සැලැකීම් තහවුරු කරයි. ඊටත් වඩා එම කතාවෙන් පෙන්නුම් කැරෙන්නේ සන්සුන් සහ මානවවාදී ඉවසිළිවන්ත දේශපාලනඥයතුගේ චරිතය නොව හදිසිකාරී දේවදත්තයකුගේ බියකරු මුහුණුවර ය. තමාට මහ ඇමැතිධුරයට තරඟ කරන්නැයි කරන ලද ඉල්ලීමට මෙතරම් ආක්‍රෝශ පරිභව භාෂාවක් යොදා ගනිමින් ප්‍රහාරයක යෙදෙන ප්‍රේමදාසට විධායක ජනාධිපතිධුරය ලැබුනොත් කෙහොමට සිටිනු ඇත් ද? පළිගැනීම අතින් ඔහු සිය පියා වූ ජනාධිපති ප්‍රේමදාස පරයා යෑමට හොඳටම ඉඩ තිබේ.

ප්‍රේමදාසගේ දේශපාලනය කොතරම් පහත් මට්ටමකට වැටී ඇත්ද යත් තමාගෙන් කරන ලද එම ඉල්ලීමෙන් පලා යාම පිණිස ඔහු රටට විරුද්ධ විදේශ බලවේග සහ කොටි බළල් අත් යනාදී රාජපක්ෂවාදී ජාතිකවාදී දේශපාලන සංකල්පයන් යොදා ගැනීමෙන් පෙනී යයි. ඉන්දීය සාම සාධක හමුදාව අතින් පරාජය වී යාමට ඔන්න මෙන්න කියා සිටි එල්ටීටීඊ සංවිධානයට ලොරි පිරවූ අවි ද මළු පිරවූ මුදල් ද ලබා දුන්නේ සිය ජනාධිපති පියා බව සජිත් ප්‍රේමදාස අමතක කරයි. පසුව ජේ. ආර්. කී පරිදි එල්ටීටීඊයට ඔක්සිජන් ලබා දුන්නේ ජනාධිපති ප්‍රේමදාස ය. විදේශ ගතව සිටි ප්‍රභාකරන්ගේ බිරිඳ සහ දරුවන් කටුනායක ගුවන් තොට හරහා ගෙන්වා වන්නියේ සිටි ප්‍රභාකරන් වෙත යැවූයේ සිය පියා වූ ජනාධිපති ප්‍රේමදාස විසින් බව සජිත් ප්‍රේමදාස අමතක කරයි. කොටි අත තිබුනේ කොහි ද?

සිය සංවිධානාත්මන සහ ප්‍රචාරාත්මක දේශපාලන හැකියාව පෙන්වීමට කැමැති කවර දේශපාලනඥයකු වුව පරදින මහ ඇමැති තරඟයක් හෝ සළකනු ඇත්තේ අත නොහැරිය යුතු අවස්ථාවක් ලෙස ය. ජනාධිපති තරඟයට තමා ලැහැස්තියැයි කියන නමුත් දකුණේ මහ ඇමැති තරඟයට බැහැ යැයි කියමින් යට කළිසම තෙමා ගත් ළදරුවකු සේ කැමොර දෙන ප්‍රේමදාස පෙන්වන්නේ එජාපයේ ඊළඟ නායකත්වයේ නොමේරු ස්වභාවය යි.

රනිල් වික්‍රමසිංහ නායකත්වයේ එල්බ ගෙන සිටීමෙන් සහ පක්ෂයේ නැගී එන නායක පිරිස් පළවා හැරීමේ විපාකය නම් ඊළඟ නායකයා බවට සජිත් ප්‍රේමදාස පත්ව තිබීමයි. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වූයේ ජනාධිපති වන්ද්‍රිකා කුමාරතුංග ගේ කණගාටුදායක අසාර්ථකත්වය හමූයේ ඇය වටා සිටි නැගී එන දේශපාලනඥයින් පක්ෂය තුළ ජනප්‍රියත්වයෙන් ගිලි හී ගිය නිසා ය. අද එජාපයට ද සිදු වෙමින් ඇත්තේ එය යි. පරාජික රනිල් වික්‍රමසිංහවාදී පිරිස් පක්ෂය තුල දුර්වල වනු ඇති අතර අප කැමැති වුවත් නැතත් එහි අනාගත නායකයා වනු ඇත්තේ නපුංසක අවජාතක ශබ්ද කෝෂයක් සහිත ජාතිකවාදී වියරු දේශපාලනඥයකු වන සජිත් ප්‍රේමදාස ය. රනිල් වික්‍රමසිංහ පරදවන එජාපයේ ඛේදවාචකය වනු ඇත්තේ එය යි.

අනිච්චාවත සංඛාරා! අහෝ දුකකි!!

sd 120සුනන්ද දේශප්‍රිය | Sunanda-Deshapriya