Image: Screen Shot, Hon; President Mahinda Rajapaksa Facebook Page

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ Facebook ගිණුමට like 175000ක් ලැබීම නිමිත්තෙන්, ජනාධිපතිවරයාගේ Tweeter ගිණුම හරහා පසුගිය 19 දා පස්වරැ 05.34ට ස්තූතිය ප්‍රකාශ කර සිටියේ මෙසේ යි. ‘‘Thank you, everyone! President Rajapaksa’s @facebook page https://www.facebook.com/PresidentRajapaksa … hit 175,000 likes.‘‘ [එම twitter ය පහතින් දැක්වේ.]

ලෝකයේ මිලියන ගණනක් භාවිතා කරන සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාජ ජාලයට එක් වී සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, එවැනි ම සමාජ ජාලයක් වන ට්විටර් හරහා, තම ෆේස්බුක් සාමාජිකයන්ට ස්තූති කිරීම ගැන සතුටු වෙමු. නමුත් ගැටලුව වන්නේ තම ෆේස්බුක් ගිණුමේ සාමාජිකයින් ගනණ 175000ක් ඉක්ම යන මොහොතේ ෆේස්බුක් ගැන සතුටු වන ඒ ජනාධිපති තුමා ම, ෆේස්බුක් ‘වසංගතයක්‘ යැයි කීමයි.

මොකද්ද මේ දෙබිඩි පිළිවෙත?

එක වේලාවක දී ෆේස්බුක් සමාජ ජාලය වසංගතයක් යැයි කියන ජනාධිපතිවරයා, තවත් විටෙක එයට ස්තූතියි කරයි. එහි සමාජිකයන් 175000ක් වූ විට එයට ස්තුතියි කරයි. එකම ‘දෙයක්‘ සම්බන්ධයෙන් රටක ජනාධිපතිවරයෙකු දක්වන දෙබිඩි පිළිවෙත එම එටේ ජනයා විසින් තේරැම් කර ගැනීම රටේ අනාගතයට ඉතා වැදගත්.

දැන් මෙම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ම පසුගිය ඔක්තෝබර් 09 වනදා, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ උත්සවයකදී, ‘‘‘ෆේස්බුක් එක අපිට වසංගතයක්. දරුවන්ගේ වසංගතයක්. අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක‍්‍රම තිබෙනවා. ෆේස්බුක් විශ්වාස කරන්න එපා. ඔය ෆේස් බුක් එකේ නොපෙනෙන අයට වඩා ගෙදර ඉන්න අය ගැන විශ්වාසය තබන්න. එක ගීතයක් තියෙනවා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා කියල. ආදරය තියෙන්නේ ගෙදර ෆෙස්බුක් එකේ නෙමෙයි‘‘(ලංකා සී නිව්ස් – 2013 ඔක්තොබර් 10) යනුවෙන් පවසා සිටියේ ය.

කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විශේෂයෙන් නව මාධ්‍ය, මානව හිමිකම්, රාජ්‍ය තාන්ත්‍රික සබදතා… වැනි ලෝකයත් සමග වඩා සහසම්බන්ධයක් ඇති මොනම විෂයක් සම්බන්ධයෙන් වත් විදේශ රටක දී හෝ මෙවැනි සමාජ ජාලයක දී තමන්ට රාජ්‍යතාන්ත්‍රික ලෙස අවාසි විය හැකි ප්‍රකාශ නොකිරීමට පරෙස්සම් වන බවක් දැකිය හැකියි. උදාහරණයක් ලෙස, පසුගිය පසුගිය සැප්තැම්බර් 24දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම සදහා නිව්යෝක් ගොස් සිටිය දී, එහි සිට ජනාධිපතිවරයා විසින් පැය දෙකකට ආසන්න කාලයක් සිය ට්විටර් ගිණුම හරහා ඕනෑම අයෙකුට විවෘතව ප්‍රශ්ණ ඇසීමට ඉඩ ලබා දුන්හ. ඒවා ජාත්‍යන්තර මාධ්‍ය යේ ප්‍රසිද්ධ කිරීමට ද යුහුසුලු වූ බවක් ආරංචි විය.[එය හොද දෙයකි. පහත දැක්වෙන්නේ ප්‍රසිද්ධ කර තිබූ එම ට්වීටර් පණිවිඩයි.]

නමුත් අඩුම වශයෙන් ලංකාවේ දී සෑම සතියකම උදෑසන ආහාරය සදහා අරලිය මැදුරට යන ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය වල කතුවරැන්ට වත්, ට්වීටර් හරහා ඇසු ප්‍රශ්ණ ගණයේ ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලැබේදැයි සැක සහිතය? යම් කෙනෙක් එසේ ඇසුවත් එම ප්‍රශ්නයත් ලැබුනූ පිළිතුරැත් පළ කිරීමට හැකි ද යන්නත් සැක සහිත නොවන්නේ ද? අනෙක් උදාහරණය නම් එම නිව්යෝක් සංචාරයේ දීම, ලංකාවට පැමිණීමට වීසා ලබා ගැනීමට පවා එක් අවස්ථාවක අපහසු වූ වා යැයි පැවසෙන අල්-ජසීරා රෑපවාහිනී නාලිකාවට ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේය. එමපණක් ද නොවේ පසුගිය කාලයේ ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ලංකාව පිළිබදව වූ ඇමරිකන් යෝජනාව නිසා ඇමරිකාවට විරැද්ධව, ලංකාවේ බිත්තිවල, මහපාරේ, කොකා කෝලා සිට පාන්පිටි දක්වා රාජපක්ෂ පාලනය සහ එයට සම්බන්ධ ජනයා මරණිය විරෝධයක් ගෙන ගියේ ය. ‘ඇමරිකන් පිටි අපට එපා‘, ‘කොකා කෝලා අපිට එපා‘, ‘ඔබාමා අපිට එපා‘ යනුවෙන් බිත්ති,පාරවල් පුරා ලියවා ගත්තේය. කොළඹ පුරා විරෝධතා පැවැත්වීය. නමුත් ඒ නිව්යෝක් සංචාරයේදීම ඇමරිකාවේ ජනාධිපති ඔබාමා පවුල සමග ලංකාවේ ජනාධිපති පවුල එකට හිද ඡායාරෑපයකට පෙනී සිටින අයුරැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරාගේම ට්වීටර් ගිණුම හරා ප්‍රසිද්ධ කළේ ය.[එම ට්වීටය පහත දැක්වේ]

දෙබිඩි හැසිරීමේ නිරීක්ෂණයන්

නමුත් සුවිශේෂි නිරීක්ෂණයන් කිහිපයක් ජනාධිපතිවරයාගේ මේ ‘දෙබිඩි‘ හැසිරීම තුළ දැකිය හැකිය. එනම්, නව මාධ්‍ය මගින් ලෝකය සමග ගනුදෙනු කළත්(බොහෝ විට ඉංග්‍රීසියෙන්), ඔබාමාට බැන බැන ඔබාමා සමග පෙනී සිටියත්, ෆෙස්බුක් වසංගතයක් යැයි කියමින් එයට ස්තූති කළත් : ඒ පිළිබදව එළෙසම ලංකාව තුළ වේදිකාවල හෝ මාධ්‍යවල නොකීමට තරම් පරිස්සම් වීමයි. ඒ වෙනුවට ලංකාවෙන් පිටට ගොස් බොහොම පරිස්සමින් ඒවා පිළිබදව ගුණ කෙසේ වෙතත් ඒවා තමන් භාවිතා කරන බවත්, එ සමාජ මාධ්‍යන් තමන් නිරන්තරයෙන් ඇසුරැ කරන බවත් පෙන්වීමට උත්සහ දරයි.(අඩුම තරමේ, ‘ඔවු මමත් ෆේස්බුක්, ටිව්ටර් සාමාජිකයෙක්‘ යැයි ලංකාව තුළ කියූ කතාවක් සොයා ගැනීමට අපහසුය.

එහි දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමාජ ජාලවලට විරැද්ධ නැති, අල්ජසීරා වැනි මාධ්‍යන් සමග හොද සබදතාවයක් පවත් වන, අන්තර්ජාල මාධ්‍ය පිළිබදව සාධනීය ආකල්පයක් දරණ, ඇමරිකන් විරෝධයට එරෙහි…ආදී විවිධ චරිත විශාල ප්‍රමාණයක් එකවිට රඟපානු දැකිය හැකියි.

නමුත්, ලංකාවට පය ගැසු සැනින් එය වෙනස් කරයි.

ලංකාවේදී මේ කියු කාරණා ගැන හැසිරෙන්නේ එහි ‘විරැද්ධ‘ අර්ථයෙනි. මේසේ වන්නේ ඇයි? එක් කරැණක් හොදින් පැහැදිලිය.

සිංහලයා, සිංහල ජාතිය, අපේකම, බෞද්ධ කම, සිංහල බෞද්ධකම(?), දේශප්‍රේමය, නිදහස…වැනි සියලු දෑ දකුණේ සිංහලයා මත පටවා, පසුගිය කාලයේදී(තවමත්) දකූණේ බොහෝ සිංහලයින් ව ඇන්දවීය. එයට ජනතා විමුක්ති පෙරමුණත් මානෙල් මල් රැගෙන පෙරමුණේ ගමන් ගත්තේ ය. අවසානයේ දේශප්‍රේමයේ නාමයෙන් දෙමළාව කුඩු පට්ටම් කළේ ය. පසුව රාජපක්ෂලාට අවැසි දෙමළුන් පමණත් සිප වැලඳ ගත්තේ ය. ඉන් පසු යුදවාදීන් සමග එක්ව රාජපක්ෂ පාලනය විසින් ‘ජාතිවාදයෙන් මෝහනය‘ කර සිටි දකුණට නිදහස දිනා දුන් එකම නායකයා මහින්ද රාජපක්ෂ බවට ජාතිවාදී ඔලුවල නිධන් කිරීම සදහා “ආයූබෝවේවා මහරජාණිනි” වැනි සිංදු(?) පවා කියවා ගැනීමට තරම් ‘ජාතිවාදී මෝහනය‘ ප්‍රභල කාර්යයක් ඉටුකරන ලද්දේ ය. ඒවා ලංකාවේ බොහෝ කලාකරැවන්, ඊනියා ඉතිහාසඥයින්, බුද්ධිමතුන් යැයි කියා ගන්නා පිරිස් ලවා ඔප මට්ටම් කර ජාතිවාදයෙන් මෝහනය කර සිටි ජනයාට තව තවත් ගිල්ලවීය. එහි ප්‍රථිපලයන් ලෙස එතෙක් නමට හෝ පැවති ප්‍රජාතන්ත්‍රවාදී අගයන්, සීග්‍රයෙන් හැකිලී ගොස් රාජාණ්ඩු ලක්ෂණ පෙන්වන්නට පටන් ගත්තේ ය.

එය කෙතරම් ද යත් ජනාධිපතිවරයාට ‘මහ රජතුමා‘ යැයි කියන්නට තරම්, මෝහනය කර සිටි දකුණේ ජනයා පොළබවනු ලැබීය. එය සමාන්‍ය ජනයා අතික්‍රමණය කරමින් පාර්ලිමේන්තුව ද, ඇතැම්විට සිවිල් සමාජයේ ඇතැම් කොටස් ද පරයා යමින් ඒ ‘මෝහනයෙන් හිරිවැටුනු අවස්ථාවෙන්‘ ඒකාධිපති ලක්ෂණ පෙන්නුම් කරන ‘පාලනය‘ පහසු කරවන ‘18වන සංශෝධනය‘ ද කිසිදු අපහසුවකින් තොරව සම්මත කර ගැනිමට රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකියාව ලැබිණි. ඒ කිසිවක් නිසා නොව 2009 දී තමන් සහ ජවිපෙ එක්ව දියත් කල මෝහන විජ්ජාවේ අනුහසිනි.( එයින් තමන්ට එතරම් වාසියක් නැති සේයක් පෙනුනු හෙයින් ජවිපෙ, ඉන් ඉවත් වී, හුදකලාව නැවතත් තමන් පෝෂණය කළ ජාතිවාදී විජ්ජාවේ ප්‍රතිඵලයට පහර දෙමින් සිටින්නේ තමන් අවුලුවා ලු ගිනි නොවේය යන හැඟීමකිනි.)

ඒ නිසා ඒ මෝහනයෙන් ජනතාව මිදුන හොත් තමන් ගොඩනැගූ සියල්ල පොළවට සමතලා වන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුලු රාජපක්ෂ රෙජීමය හොදින්ම දනී.

නමුත්, එම මෝහණිය, හිරි වැටී ඇති ත්ත්වයෙන් ජනයාට ගැලවීමක් ලබා ගත හැක්කේ ජනයා විසින්ම පවතින පාලකයා සහ පාලනය පිළිබදව, මෝහනයෙන් ඉවත්වී ‘කියවීමෙන්‘ පමණි. එසේ ‘කියවා ගැනීමට‘ ජනයාට නිවැරදී තොරතුරැ අවශ්‍යය. නිවැරදී දත්ත අවශ්‍ය ය. නිවැරදි අදහස් අවශ්‍ය ය. ලෝකය පිළිබදව අලුත් ප්‍රවණතාවයන් අවශ්‍ය ය. අලුත් දැනුම අවශ්‍ය ය. වෙනස් විදිහකට සිතීමක් අවශ්‍යය. මෙය ලබා දිය හැකි/ලබා ගත හැකි, එක් විධික්‍රමයක් ලෙස ජනමාධ්‍ය සැලකිය හැකිය. එය දන්නා රාජපක්ෂ ජනාධිපතිවරයා ලංකාවේ පවතින සියලු මාධ්‍යන් සෘජුව හා වක්‍රව සිය පාලනයට හෝ සිය සමීපතමයින්ගේ පාලනයට නතු කර ගෙන ඇත. එමගින් ඔහුට අවශ්‍ය දෑ පමණක්, ඔහු වෙනුවෙන් කියවා ගැනීමට සහ ලියවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරගෙන තිබේ.(එයට වෙනස්ව මාධ්‍යන් ස්වල්පයක් ඇතත්, ඒවා ද වක්‍රාකාරයෙන් බිලි බා ගැනීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බවක් දැකිය හැකිය.ඒ උපක්‍රම මොනවා දැයි ලංකාවේ ඕනෑම සිහිබුද්ධි පාඨකයන් දන්නා බැවින් ඒවා ගැන මෙහි සටහන් නොකෙරේ)

නමුත්, රාජපක්ෂවරැන්ට සහ එම රෙජීමයේ හිතවතුන්ට ‘පාලනය කළ නොහැකි‘ එකම මාධ්‍ය, අන්තර්ජාලය හා බැදි වෙබ් මාධ්‍ය ය පමණකි. ඒවායිනුත්, වර්තමානයේ පහසුවෙන්, නොමිළේ පිවිසිය හැකි ජනප්‍රිය මාධ්‍ය, සමාජ ජාල වේබ් අඩවි බව පාලකයින් විසින් තේරැම් කර ගෙන තිබේ.(මක් නිසා ද යත්, ප්‍රවෘත්ති වෙබ් අඩවි හෝ වෙනත් එවැනි ආරක් සහිත වෙබ් අඩවි බොහෝ ප්‍රමාණයක් තමන්ගේ අන්තර්ගතයන් සමාජ ජාල මත පතුරැවා හරිමින් කිසියම් සංවාදයක් ඒ තුළ මතුකරමින් තිබේ) එසේම ඒවා තුළ සැලකිය යුතු ලෙස සාධනීය දේවල් සාකච්ඡා වන බවත්,(නිශේධනීය දේවල් තිබුණත්) ඒවා ඉතා වේගයෙන් එකිනෙකා අතර හුවමාරැ වන බවත්, ඒ අන්තර්ගතයන් හුවමාරුවේදී, ලැබෙන වේගයට සාපේක්ෂව ප්‍රතිචාර දැක්වීමේ එයටම ආවේණික වූ වේගයක් ඇති බවත්, අභ්‍යාසයෙන්ම රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ගෝලබාලයින් දනී.

එබැවින් පෙර සදහන් කළ, සිංහල ජනයාගේ මණස තුළට ගිල්ල වූ දෙමළ ජනයා සම්බන්ධයෙන් වන ජාතිවාදී ‘රාජපක්ෂ-ජවිපෙ තරලයම‘ අද ‘රාජපක්ෂ තරලය‘ ලෙස වංසගතයක්, ජාතික ආරක්ෂාවට තර්ජනයක්, අපේ සංස්කෘතියක්, ‘හැදියාව, සංවරකම‘, ‘ආදරය තියෙන්නේ ගෙදර, ෆේස්බුක් එකෙන් එන අය විශ්වාස කරන්න එපා‘, වැනි වචන වලින්, ජාතිවාදයෙන් මෝහනය වී සිටින ජනයාට අලුත් වටයකින්, අලුත් සාංද්‍රණයකින් එයම පොවමින් සිටී. මහා ව්‍යසනයකින් පසුවද ජනයාට එම මෝහනයෙන් මිදීමට නොදී තව තවත් මෝහනයේම ගිල්වීමට උත්සහ දරයි. මේ උත්සහය තුළ ඇත්තේ සැබැවින්ම තම බලය අහිමි වේයැයි යන බිය ජනක සැකයයි. නමුත් එම හිරිවැටුනු තත්ත්වයෙන් ජනයා මිදුනහොත් පවතින තත්ත්වය රාජපක්ෂලාට එතරම් යහපත් වන්නේ නැති බව රෙජීමය හොදින්ම දනී. එබැවින් එම හිරිවැටුනු තත්ත්වයන් වෙනස් කරන කුමන හෝ සංන්නිවේදන ක්‍රමයකට රාජපක්ෂලා තුළ ඇත්තේ බියකි.

එම නිසා දැන් මේ වර්ධනය වෙමින් පවතින නව මාධ්‍ය ප්‍රවාහයන් ‘වසංගතයක්‘ ‘ජාතික ආරක්ෂාවට තර්ජනයක්‘ යැයි කියමින්, කරමින් සිටින්නේ, පසුගිය කාලයේද, වර්තමානයේද, අතැම් රාජ්‍යන්, වේබ් අන්තර්ගතයන් සම්බන්ධව ගත් ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවන්ට සමාන ක්‍රියාවන් ඉදිරියේදී සිදු කරන බට පෙර නිමිතිය. එසේම ඒවා සිදු කළ පසු ජනයා විසින් ම ඒවා සාධාරණීකරනය කිරීමට දැන් සිටම ජන මණස සකස් කිරීමයි. එය වඩාත් පහසුවෙන් තේරැම් ගැනීමට ලියන්නේ නම්, 2009 වන විට යුද්ධයේ ඇති අයුක්ති සහගත බව ‘මානුෂික මෙහෙයුම‘ නමින් ඊනියා යෙදුමක් යොදවා ජාතිවාදී සලුවකින් ඔතා එම ‘යුද්ධය‘ සාධාරණීකරනය කර ගත්තා සේ, ඉදිරියේ දී මේ කියන ‘වසංගතය‘ ඉවර කර ගත යුත්තේ ‘මර්දනය‘ කිරීමකින් යැයි පවසා, විමලුන්.. චම්පික වැන්නන් සහ ඥාණසාර වැනි භික්ෂූන් ඉදිරියට දමා අන්තර්ජාල වෙබ් අඩවි ලංකාව තුළ, නිළ හෝ නොනිළ ලෙස, අවහිර කිරීමට, මර්ධනය කිරීමට, පසුබට නොවනු ඇත.

අනෙක් පසින් එසේ මර්දනය කිරීමට කිසිදු ලෙසකින් පසුබට නොවනු ඇත්තේ, තමන්ට උවමනා පරිදි හිරවට්ටා සිටින ජනතාව පෙර මෙන්ම, එදාටත්, ‘රජතුමා හරි‘ යැයි කියනු ඇති බැවිනි. නමුත් අන්තර්ජාල මාධ්‍ය අවකාශයන් අවහිරකිරීම්, වාරණය කිරීම් සිදු කිරීමට උත්සහ කරන සෑම විටම එම අවහිරකිරීම් සහ වාරණයන්, සිය දහස් ගුණයකින් අතික්‍රමණය කරමින් ඒවා මග හැර යාමට නවීන සමාජය ‘දේවල්‘ සොයා ගනු ඇත. එවිට ශිෂ්ඨ සමාජයන් ඉදිරියේ Delete වන්නේ ඒ පසුගාමී, ප්‍රජාතන්ත්‍රවිරෝධී මෙන්ම අදහස් පළකිරීමේ නිදහසට විලංගු දමන ‘රජතුමා‘ සහ රජුට දාසකම් කරන ‘වැසියන්‘ පමණි. එදාට ඇත්ත ‘වසංගතය‘ ‘වසංගතය කුමක්ද?‘ සහ ‘වසංගතය කවුද?‘ යන්නට සත්‍ය Likes වඩා හොදට හඳුනා ගත හැකි වනු ඇත.