දකුණු අප්‍රිකානු නිදහස් සටනේ පුරෝගාමියා වූ නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත විය. මිය යන විට 95 වියේ පසු වූ (1918 ජූලි 18 වැනිදා උපත ලැබූ) මැන්ඩෙලා, ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගැනුන දකුණු අප්‍රිකාවේ පළමු ජනාධිපතිවරයා විය. ඒ සිය ජීවිතයේ තුනෙන් එකක් පමණ වර්ණභේදවාදී පාලනයක් යටතේ ගත කිරීමට බල කරනු ලැබීමෙන් පසු, බන්ධනාගාරයෙන් නිදහස් වී වසර හතරකට පසුව ය.

ලෝකය යහපත් ලෙස වෙනස් කිරීම වෙනුවෙන් සිය ජීවිතයම කැපකල, දකුණු අප්‍රිකානු කළු ජාතික සලකුණ ලෙස ලොවට නොමැකෙන ලෙස සටහන් තැබූ දේශපාලන පිටියේ නෙල්සන් මැන්ඩෙලා නැමැති යුග පුරුෂයා ලොවෙන් සදහටම සමුගෙන ඇත.

නෙල්සන් මැන්ඩෙලා පිළිබදව, ඔහු ජීවත්ව සිටියදී, ලයනල් බෝපගේ විසින් ලියූ පහත කවිය 2013 ජූනි මස ‍ෙ‘විකල්ප‘ වෙබ් අඩවියේ පළ වූ අතර නැවතත් මේ මොහොතේ අප එය නැවත පළතරන්නේ නෙල්සන් මැන්ඩෙලා නැමැති යුග පුරුෂයා ට ගෞරවයක් ලෙසය.

Nelson-Mandela-Edit-copy

සදාතන පැතුමක් ය, මැන්ඩෙලා

කවි පෙළේ සිංහළ පරිවර්තනය – ගාමිණී වියන්ගොඩ

ලයනල් බෝපගේ
ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවරදී
2013 ජූනි 25 වන දා
—————————–
සදාතන පැතුමක් ය, මැන්ඩෙලා

මෙලොවින් ඔබ සමුගනී ද විගසින්?
සමහර විට,
නොවිය හැක ඇතැම් විට.
ඒත් ඔබේ එළිය නිවන්නට
නුපුලූවන අඳුරට
හැම හදකම අපේ ඔබ වෙසෙන නිසා
අපව සාඩම්බර කළ.
සිරකරුවෙකු, රටක නායකයෙකු
හඩක් නැති සුවහසකගේ රාජදූතයෙකු ලෙස
ඔබ අප අතැ’ර යන්නේ අභිමානයෙන්.

විසිහත් වසක් කූඩු කළ වහලෙක්,
බරපතල වැඩ ඇතිව ගල් කැඩූ.
ඒත්,
කිසිවෙකුට බැහැ බිඳින්නට
ඔබේ අභිමානය සහ මිනිස්කම.
ඒ වෙනුවට,
කැඩුවෙහි ය ඔබ වර්ණ භේදය සදහටම
පිට කොන්දක් ඇතිව සෘජුව සිටගෙන
ඔබේ ඉරණමේ අධිපතිව !
ඔබේ ආත්මයේ සෙන්පතිව!!

ඔබ මෙන්ම මා ද
හිංසා, පීඩා, ප‍්‍රයෝග පරයමින්
දශකයක් ගෙව්වා තනියෙන්ම,
දඟගේක.
යටත් නොවෙමින් හිස කෙලින් තබාගෙන
අපේක්ෂා සහ ප‍්‍රාර්ථනාවන් ගෙන් පිරිපුන් ව
මානව ප‍්‍රජාවේ
වඩා යහපත් හෙටක් සහ යුක්තිය ගැන
සිහින මවමින.

සුරකිමින් ඔබේ පරමාදර්ශ
අධිකාරයේ සිට සුසිරිතටත්
අවි බලේ සිට සුසංවාදයටත්
විතැන් විය ඔබ.
ඒත්,
නිදහසේ සහ අභිමානයේ ඉමට
ඔබේ ජනයා කැන්දන
සාමයේ අරගලය අත නොහැර.

පිවිස සුසිරිතෙන් අධිකාරයට
නසා අපේ පුරුෂාර්ථ
කඳුළ සහ උදහසින් පිරි දේශයක් තනන්නට
මගේ සගයන් තතනනු දකින සඳ
මගේ දිවියම නාස්තියක් දැ යි
සිතෙයි සමහර විටෙක.

පැතිරේ අන්ධකාරයේ වළාකුළු
භීතියේ ඝන මීදුම්
මගේ දේශය වසා.
විනාශයේ සහ භීතියේ
කාලයක ඇවෑමෙන්
හදා ඇත වර්ණභේදවාදයේ දේශයක්්.

යහපත් හෙටක් ගැන දෑස් දැල්වූ
මහා පුරුෂයෙකු වූ ඔබ
වැනසුවෙහි ය වර්ණභේදවාදය
ඔබේ දේශයේ.
පැතුම් දේශයක් කෙළෙහි ය
ඔබේ ජනයාට.
ඒත්,
ඔබ නැති දකුණු අප‍්‍රිකාවක
ඔබේ සගයන් වේ ද සත්‍යවාදීන්
ඔබේ පරමාදර්ශයන් හට?

අපෙන් මතු පරම්පරාවෝ සුදුස්සෝ විය යුත්තෝය
වඩා යහපත් විනීත හෙටකට.
නූපන් ලොව ද අනුප‍්‍රාණ කරවන
ඔබේ පරමාදර්ශ මතුවට ද දිදුළන නිසාවෙන්
ඔබේ නාමය නොමැකේවා ය යන්න
වෙයි මගේ ආශාව, වෙයි මගේ පැතුම.

සූරාකෑමෙන් සහ අසාධාරණයෙන්
අපව ගෙන යන්නට
නිදහසේ සහ යුක්තියේ මාවතට,
කොපමණ නම් මැන්ඩෙලාවන්
ඕනෑ වේ ද ලෝකයාට?
මැන්ඩෙලා, අපේ මැන්ඩෙලා
සදා වැජඹේ මතකයේ ඔබ!
ඔබේ පරමාදර්ශය කිසිදා හැර නොදමත්වා යන්න
සදාතන පැතුමය, අපේ ජීවිතයේ!!

#
ඔබට සුභ ගමන් යුග පුරුෂයානෙනි.!!!