සිංහල, Colombo, Democracy, Governance, Human Rights

මහින්ද, ගෝඨාභය සහ සිරිමල්වත්ත – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය
ජනාධිපතිවරණයට පසු දා සිය කර්යාලයට යමින් සිටි ජවිපෙ නායක සෝමවංශ අමරසිංහගේ ජංගම දුරකතනයට ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ජංගම දුරකථනයෙන් කතා කළේ ය. අමරසිංහ පුවත්පත් සාකච්ජාවක් පවත්වා කියා සිටියේ සිය පක්ෂයට සම්බන්ධ ලංකා පුවත්පත ගිනි තියන බවට රාජපක්ෂ එම දුරකථන ඇමතුමින් තමාට තර්ජනය කළ බව යි. ලංකා පුවත්පතෙහි පළ වූ අපහාසාත්මක ලිපියක් සම්බන්දයෙන් තමා අමරසිංහට කතා කළ බව රාජපක්ෂ කියා සිටියේය. ඉන් දින තුනකට පසු ලංකා පුවත්පතෙහි කර්තෘ අත් අඩංගුවට ගැනුණි. ඊට පසුදා ලංකා පුවත්පත් කාර්‍යාලයට කඩා වැදුණු පොලිස් නිලධාරීහු එයට සීල් තබා වසා දැමූහ. ඒ ජනවාරි මාසයේ අන්තිම දවස් වලදී ය.

ඉන් දෙසතියකට පසු පසුගිය පෙබ. 15දා සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දී පුවත්පත් කතුවරුන් සහ හිමිකරුවන් සමඟ සුපුරුදු පිළිසඳර පැවැත්වීය. එහිදී අත් අඩංඟුවට ගෙන සිටි ලංකා පුවත්පතෙහි කර්තෘ චන්දන සිරිමල්වත්ත සිරභාරයේ තබාගෙන සිටීම පිළිබඳ ප්‍රශ්ණය රාවය හිමිකරු ද කර්තෘ ද වන වික්ටර් අයිවන් මතු කළේ ය. “මොනවා, එහෙම දෙයක් මම දන්නේ නැතැ“යි කී ජනාධිපතිවරයා එවේලේම කතුවරන් ඉදිරියෙහි සිය ලේකම් ලවා පොලිස්පතිට දුර කථනයෙන් කතා කරවා සිරිමල්වත්තට ඇප ලබා දීමට පියවර ගන්නැයි නියෝග කළේ ය. එපමණක් නොව මින් පසු ජනමාධ්‍යවේදියකු අත්අඩංගුවට ගන්නේ නම් තමාට දන්වන ලෙස ද පොලිස්පති වරයාට කියා සිටියේ.
ජනමාධ්‍ය මගින් ලොකු ප්‍රසිද්ධියක් ලබා දුන් මෙම කතාව විසින් පුරවැසි සමාජයක ඇසිය යුතු කරුණූ ගණනාවක් පැන නගී.

ජනාධිපතිවරණයෙන් යම්තම් දින හතරකට පසු ලංකා කර්තෘ සිරිමල්වත්ත අත්අඩංගූවට ගැනීම ශ්‍රී ලංකාවෙහි නිල වශයෙන් රාජ්‍ය පාලිත මෙන්ම නොනිල වශයෙන් රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් ද යම් තරමකට වාර්තා කරන ලද සිදුවීමක් විය. පසුගිය 08දා කොළඹ කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට ජනමාධ්‍යවේදී සංවිධාන සිරිමල්වත්ත නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වූ උද්ඝෝෂනය මෙතෙර මෙන්ම එතෙර ජනමාධ්‍ය විසින් ද වාර්තා කරන ලද්දේ බොහෝ කොටම සිරිමල්වත්තගේ බිරිඳ සහ දියණිය වේදනාබර මුහුණින් යුතුව එම උද්ඝෝෂනයට සහභාගි වී සිටින ජායරූප ද ඇතිව ය. ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය සංවිධාන සියල්ල ජනාධිපතිවරයා වෙත යැවු ලිපියක් මගින් සිරිමල්වත්ත අත්අඩංගුවට ගැනීමට විරුද්ධත්වය පළකොට ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ ය. ඒ ලිපිය ප්‍රසිද්ධ කිරීම පිණිස කර්තෘ සංසදයේ ද සහභාගිත්වය ඇතිව මාධ්‍ය සංවිධාන පහ පුවත්පත් සාකච්ජාවක් ද පවත්වන ලදී. එපමණක් නොවේ. ජනමාධ්‍ය නිදහස පිළිබඳ ලෝකයේ ප්‍රධානතම සංවිධාන සියල්ල සිරිමල්වත්ත අත් අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රශ්ණ කරමින් ප්‍රකාශණ නිකුත් කරන ලද අතර ඒවා අන්තර් ජාතික වශයෙන් ප්‍රසිද්ධියක් ද ලබා ගත්තේ ය.

එපමණක් නොවේ. ලංකා පුවත්පත ගිනි තබන බවට තර්ජනය කළ ලාබාල රාජපක්ෂ සිරිමල්වත්ත මාස තුනක් පොලිසියේ රඳවා තබා ගැනීමේ නියෝගයකට ද අත්සන් කළේ ය. ඔහු වෙනුවට නියෝජ්‍ය ලේකම් හෙට්ටිආරච්චි විසින් එම නියෝගය නිකුත් කර තිබුණේ ජනවාරි 29 දාතමිනි. රහස් පොලිස් නිලධාරීන් සිරිමල්වත්තගෙන් ප්‍රශ්ණ කළේ රාජපක්ෂවරුන් ගැන ය. ඔවුන් ගැන ලියන්නේ ඇයි ද කියා ය.

නමුත් දැන් මෙරට පුරවැසියන්ට දැන ගන්නට ලැබෙන්නේ තමන්ගේ ජනාධිපතිවරයා මේ ගැන හාංකවිසියක්වත් දැන නොසිටි බව ය. මේ කිසිදු වාර්තාවක් දැක නොතිබුූණු බව ය. දුසිම් බාගයක් පමණ වන ඔහුගේ ජනමාධ්‍ය උපදේශකයින් කිසිවකු ලංකා පුවත්පතෙහි කතුවරයා අත් අඩංගුවට ගැනීම සහ ඊට එරෙහිව රටතුළ සහ අන්තර් ජාතික වශයෙන් නැගී ආ විරෝධය ගැන කිසිවක් ජනාධිපතිවරයාට වාර්තා නොකළ බව ය. අඩුම වශයෙන් සිය මළයා කරන කියන දේ ගැනවත් ජනාධිපති අයියා දැන ගෙන නොසිටි බව ය.

මේ කතාව ඇත්තක් නම් ඉන් අපට පෙන්වන්නේ භයානක තත්ත්වයකි. ජනාධිපතිවරයා රටෙහි පුරවැසියන්ගේ විරෝධතා ගැන හංකාවිසියක් දන්නේ නැති බව ය. ඔහුගේ උපදේශකයින් සෑම දිනකම උදෑසන එකත්පස්ව සිට “එහෙමයි ස්වාමීනී රට කිරිපැණියෙන් උතුරනවා, මහා ජනයා උදේ සිට රෑ වන තුරුම මහරාජණෙනි ගීතය ගයමින් රාජපක්ෂවරුන්ගේ පින්තූර වන්දනාමාන කරමින් සතුටින් සැපෙන් වාසය කරනවා” කියා කියනවා හැර අන් කිසිවක් වාර්තා නොකරනවා වත්ද?. චීන විප්ලවයේ නායකයා වූ මා ඕ සේතුං ට සිය අවසාන කාලයේ දී හතර දෙනොගේ කල්ලිය විසින් වටකරගෙන චීනයේ සෑබෑ යථාර්තයෙන් ඉවත් කර තිබූනාක් මෙන් ජනාධිපති රාජපක්ෂ වයසට යෑමට පෙරම එවැනි තත්ත්වයකට පත් වෙලා වත් ද? කතුවරුන් ඇසිය යුතුව තිබූ ප්‍රශ්ණය වුයේ නොවේ ද? . (මේ කතාව බොරුවක් නම් ඒ කියන්නේ ජනාධිපතිවරයා සිරිමල්වත්ත අත්අඩංඟුවෙහි සිටින බව දැන සිටියේ නම් තත්ත්වය ඊටත් වඩා භයානක ය. මන්ද යත් එය එසේ වී නම් ඉන් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කතුවරු ගොනාට ඇන්දවීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ බව ය. )

මේ ප්‍රබන්ධය අපට මතක් කර දෙන්නේ යථාර්තයෙන් වියෝ වූ රාජ්‍ය පාලකයා පිළිබඳ විශ්ව ප්‍රබන්ධයක් වන හෙළුවෙන් පෙරහැරේ ගිය රජතුමාගේ කතාවයි. අන්තිමේ දී පාරේ සිටි කොලුවාගේ භූමිකාව කතුවරයකුට පැවරුණි. රජතුමාට ඇහැරුණේ හොදවායින් දෙකක් ද තමන්ටම කියා ගෙන ය. ඒ ගමන්ම පොලිස්පතිට ද දෙකක් කියා නියෝග කළේ වහාම සිරමල්වත්තට ඇප ලබා දීමට පියවර ගන්නා ලෙස ය.

දේශපාලන නායකත්වය අධිකරණ ක්‍රියාවලියට අත නොතබන බවට අමාත්‍ය ජී.එල්. පීරිස් කියා සිටියේ ඊයේ පෙරේදා අත් අඩංගුවට ගත් ජෙනරල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා ගැන සඳහන් කරමිනි. නමුත් සිරිමල්වත්ත සම්බන්ධයෙන් ජනාධිපති කතුවරුන් ඉදිරියෙහි දී ම අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ විය. පොලීසිය සිරිමල්වත්ත අත්අඩංගුවට ගත්තේ කුමණ හේතුවක් නිසා දැයි ජනාධිපති විමසුවේ නැත. එම හේතුව සාධාරණ හේතුවක් වී නම් ජනාධිපතිවරයාට ඔහුට වහාම ඇප දෙනු කියා පොලිස්පතිට නියෝග කිරීමට අයිතියක් ද නැත. නමුත් නියෝගය කෙරුණි. ඒ බව ප්‍රසිද්ධ කෙරුණි. සිරිමල්වත්ත ඇප පිට නොව සම්පූර්ණයෙන්ම නිදහස් විය. ආරක්ෂ ලේකම්ගේ නියෝගයක් මත රඳවා සිටින කිසිවකු මහේස්ත්‍රාත් අධිකරණයකින් නිදහස් කළ නොහැකි නමුත් රහස් පොලීසිය ඒ බව නොදන්වා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහු නිදහස් කළේ ය. ඒ ද පුදුමයකි.

එමෙන්ම මේ වනාහී ජනාධිපතිවරයාගේ “ඇප දෙනු“ නියෝගයට වැඩි දෙයකි. රහස් පොලීසිය අධිකරණයට කියා සිටියේ ලංකා පුවත්පතට දෙස් විදෙස් ත්‍රස්ත සංවිධානයන්ගෙන් අරමුදල් ලැබෙන්නේ දැයි පරීක්ෂා කල බවත් එවැනි කිසිදු සාක්ෂියක් නැති බැවින් ලංකා කතුවරයා අත් අඩංගුවේ තබා ගැනීමට අවශ්‍ය නැති බවත් ය. දෙස් විදේස් ත්‍රස්ත සංවිධානයන්ගෙන් ලංකා පුවත්පතට අරමුදල් ලැබුණේ ද යන්න සොයා බැලීමට එහි කර්තෘ අත් අඩංගුවට ගෙන ආරක්ෂ ලේකම්වරයාගෙන් දින 90ක රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට පොලීසියට අවශ්‍ය වුයේ ඇයි? එම පරීක්ෂනය සිරමල්වත්ත අත් අඩංගුවට නෙගෙන කළ හැකිව තිබුණි. නමුත් පොලීසිය ලාබාල රාජපක්ෂගේ ගෝරනාඩුවෙන් තෙදිනකට පසු ඔහු අත් අඩංඟුවට ගත්තේ ය.

ජනවාරි 30 දා රහස් පොලීසිය විසින් වසා දැමූ ලංකා පුවත්පත් කාර්යාලය විවෘත කිරීමට සිරමල්වත්ත නිදහස් වීමට පෙර පෙබරවාරි 02 දා අධිකරණය නියෝග කළේ ය. ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් නියෝගයක් ලබා ගැනීමට කිසිඳු කතුවරයකුට අවස්ථාවක් ලැබුණේ නැත. රහස් පොලීසිය ලංකා කාර්යාලය දිගටම වසා දැමිය යුතු බවට අධිකරණයෙහි තර්ක කළේ ය. නමුත් අධිකරණය එම තර්ක විසිකර දමා පුවත්පතට නිදහස දුන්නේ ය.

ඉන් පසු සිරිමල්වත්ත රඳවා තැබීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ පෙබරවාරි 15 දිනය. කතුවර – ජනාධිපති සාදය පැවැති දිනට පෙරදා ය. සාදය දා පුවත්පත්හි එම පෙත්සම පිළිබඳව පළ වී තිබු අතර එම පෙත්සමෙහි අන් අය අතර ආරක්ෂ ලේකම් ගොඨාභය රාජපක්ෂ ද වග උත්තරකරුවකු ලෙස සඳහන් කර තිබුණි. එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුයේ විභාගයට ගැනුණි නම් සිරිමල්වත්ත අත්අඩංඟුවට ගැනීම මානව හිමිකම් කෙළෙසීමක් බවට තීන්දු වීමට හොදටම ඉඩ තිබුණි. ඔහුගෙන් ප්‍රශ්ණ කළ රහස් පොලීසියට දැන ගන්නට ලැබුණු දෙයක් ද නැත.

නිදහස ලැබීමෙන් පසු පුවත්පත් සාකච්ජාවක් ඇමතූ ලංකා කර්තෘ කියා සිටියේ සිය පුවත්පතට එල්ල වන තර්ජන තවමත් එළෙසම ඇති බවත් පුවත්පත නතර කිරීම සඳහා පුවත්පත මුද්‍රණය කරන මුද්‍රණාලවලට බලපෑම් කරමින්, බෙදාහැරීම් කටයුතු සහ වෙළෙඳ නියෝජිතයින්ට තර්ජනය කරමින්, වෙනත් ආකාරයක මර්දනයක් දියත් කර ඇති බවත් ය.

සිරිමල්වත්ත නිදහස් කැරුණේ ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමට බැරි වීම, ඔහු විසින් පවරණ ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට බිය වීම සහ අත් අඩංඟුවට ගැනීමට එරෙහිව මෙතෙරත් එතෙරත් නැගී ආ විරෝධයත් නිසා ද? නැත්නම් මේ මර්දනය ගැන අබැටක්වත් නොදැන සිටි අපේ ජනාධිපතිතුමා හදිසියේ ම මේ අසාධාරණය ගැන දැන ගත් නිසා ද?

මෙරට පුරවැසියකු වශයෙන් ඔබ බැස ගන්නා තීරණය කුමක්ද?