1521 දී සිදුවූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන්, කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදුණි. සත්වන විජයබාහු රජ මරා දැමූ ඔහුගේ පුතණුවන් තිදෙනා අතුරින් මායාදුන්නේ බාලයා වුවද කොල්ලයේ නියමුවා වූයේ ඔහුය. කෝට්ටේ රජු බවට පත් වීමට මායාදුන්නේ සිහින මැවූ නමුත් සත්වන බුවනෙකබාහු මුල සිටම මොහු ගැන සැක කරමින් පෘතුගීසින්ගේ උදව් පැතීය. මෙම සිද්ධිය මූලික කරගෙන අභ්‍යන්තර ආරාවුල් සහ රටේ රාජධානියන්හී අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීමට පෘතුගීසින්ට ඉඩ සැලසුණි. ඉතිහාස කතාව ගලා යන්නේ එපරිදිය. කතාව ප්‍රබන්ධයකින් ඔබ්බට ගිය සහ සත්‍ය දෙයක් බව තේරුම් ගැනීමට හැකි බොහොමයක් බාහිර කාරණා ඇත.

රජෙක් ලෙස වෙස් ගත් කෛරාටක නරියෙක්, සිංහයින් මෙන් වෙස්වලා ගත් තීන්ත ඔබාගත් නරි රැලක්, රටේ “සිංහල බෞද්ධකම සහ ඊට බද්ධ කරනු ලැබූ දේශහිතෛශී භාවය,” විකුණමින් තම බලය මෙන්ම රටේ අවධානය දිනා ගෙන ඇති ආකාරය පෙනේ. එමඟින් රටේ නිතී පද්ධතිය තමන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් සඳහා වෙනස්කර ගත්තේය. සියල්ල සිදුවන්නේ එම වෙනස් කරනු ලැබු “නීති ක්‍රමයට” අදාලවය. එකල මායාදුන්නේගේ හීනය දියාරූ කිරීමට සත්වන බුවනෙකබාහුට හැකි වූ ආකාරයේ දෙයක් වත්මන් භූමිකාව කෙන්ද්‍රකර ගනිමින්ද සිදු වනු ඇතැයි ඇතැමුන් සිහින දකිමින් සිටිති. මන්ද බලය හමුවේ සියලුම ආකාරයේ බැඳීම් නැතිවන බවට වූ පැරණි ගෝත්‍රිකවාදී අදහසින් අපගේ මනස් පූර්ව-සංකෝචනයකට ලක් වී ඇති හෙයිණි. මෙය රාජපක්ෂගේ දේශපාලනයෙන් වෙනස්ව දෝලනය වන සංකේතීය වාදයකි. වඩාත් නිවැරදිව කිවහොත්, වෙන කිසිවෙකුටත් වඩා මෙය රාජපක්ෂලා කියවා ඇත්තා පමණක් නොව, පැරණි වැඩවසම් සංස්කෘතියේ ගෙලටීනයට බෙල්ල එබීම අමතක කරනු ලැබූ බණ්ඩාරනායක පවුලේ ඇතැමුන් බේද බින්න කිරීම සඳහාද රාජපක්ෂලා මෙම උපායක් කරගත්තේය. එබැවින් අනෙකාගේ සිහිනයට පෙර රාජපක්ෂ මෙම සිහිනය දුටුවා පමණක් නොව සහ ඔප්පු කොට ඇත.

නමුත්, රාජපක්ෂ කොල්ලය නමැති සිහිනය ප්‍රකාරව රාජපක්ෂ පවුලේ එකිනෙකාට වෙන් වෙන් වූ චරිත සහතික ලබාදීමට බොහෝ පිරිස් මෝහයෙන් කටයුතු කරති. එපමණක් නොව අනෙක් රාජපක්ෂගේ ඇති නුගුණ තවත් රාජපක්ෂ කෙනෙක් අභිමුඛව වමාරනු ලබයි. මෙය තම තමාගේ බුද්ධියේ සීමාව නොහොත් මෝහයේ පැටලී සිටීම හේතුවෙන් උපදින මනෝභාවයකි. තමන්ගේ අඥානභාවය තේරුම් ගැනීම සඳහා පළමුව සිදු කළ යුත්තේ තමා මෝඩයෙකු බව තේරුම් ගැනීමය. ස්ව-මෝඩකම තේරුම් ගැනීම වූ කලී ඉන් නිදහස් වීමේ පළමු සහ අතිශය තීරණාත්මක පියවර වේ. එය නොවන තාක් දුරට අනෙකාට පෙන්වීමට යැයි කියමින් තමාගේ මෝහයේ පරිමාව විවධ ආම්පන්න ඒකරාශී කරමින් ලෝකයට පෙන්විය හැකිය. දේශපාලනය තුළ මෙන්ම මනුෂ්‍ය සංහතිය තම තමන්ගේ ජීවිත වලට අර්ථයක් දීමට යැයි කියමින් තනාගත් සෑම ක්ෂේත්‍රයකම මෙය දැකගත හැකි වූ පොදු ලක්ෂණයකි. එවැනි මෝහයෙන් පිරුණු මිනිසුන් වෙසෙන සමාජයක්, සැබෑ වීරත්වය සහ වීරයින් යටපත් කොට කටයුතු කිරීමට පෙළඹේ. එම සමාජය කටුක මෙන්ම දියාරූ සමාජීය වෙනසකට තල්ලු කිරීමට, සිංහයින් මෙන් වෙස්වලාගත් නරින්ට ඉතා පහසුවෙන් හැකියාව තිබේ.

මේ වනවිට බොහොමයක් දේශාපාලන කණ්ඩායම් රාජපක්ෂ වරිගයේ එක් අයෙක් ඉතා බුද්ධිමත් සහ උපායෙහි දක්ෂ බව කීමටත්, තවත් අයෙක් කිසිම වගතුවක් නොමැති අලුගේත්තෙරුවෙකු යැයි හැඳින්වීමටත් පෙළඹීම ඉහත විස්තර කරනු ලැබූ සමාජ නැමියාවේම ප්‍රවණතාවයකි. මෙය සමාජය පැත්තෙන් අතිශය ශෝකජනක වන නමුත් රාජපක්ෂගේ බලය පැත්තෙන් අතිශය වැදගත් සහ ක්‍රමෝපායකය. මෙය පාලනයට මෙන්ම තමන්ගේ නියම සතුරා හඳුනාගැනීම සඳහා වැදගත් වන්නා සේම, එමඟින් තවදුරත් රාජපක්ෂට අවශ්‍ය ක්‍රමෝපායික පාලනය මුවහත් කළ හැකිය. ජාත්‍යන්තර වශයෙන් කුමන බලපෑම එල්ල වුවත්, දේශීය දේශපාලනය තුළ “ ආඥාදායකයා” වාසනාවන්තයෙකු වන්නේ මෙහිදීය.

රටේ බෞද්ධකම, දේශ-හිතෛශීකම, විමුක්තිය හෝ මොනයම් හෝ සංකලපයක් කියවීමෙන් හෝ අනෙකා කියවන ආකාරය අසා විඳීමෙන් පැනනගින මානසික ආස්වාදයක් මුලික කරගනිමින් එය තමන්ගේ ජීවිතයේ දේශපාලනය ලෙස තෝරාගැනීමට පෙර ඕනෑම මිනිසෙකු නිදහස් විය යුතු මුලික කාරණය ඔහු හෝ ඇය සතු වන මනුෂ්‍යගතියයි. එය යටපත් වූ මොහොතේ සිට ඔබ ඔබේ නිදහස පමණක් නොව ජීවිතයම පාගා දමා එය අනෙකාගේ වෙළඳ භාණ්ඩයක් ලෙස විකුණා ගැනීමේ පුළුල් අවකාශය තනාදී ඇත. දේශීය මෙන්ම ගෝලීය වශයෙන් අඩු වැඩි වශයෙන් සිදුවන මෙම යථාර්තය ලබාදෙන ප්‍රභලම අභියෝගය වන්නේද, තම මනුෂ්‍යගතිය සඳහා ගරුත්වයක් සහ පිළිගැනීමක් දීම පිළිබඳවය.

මෙය ඉතා පැහැදිලිව දක්නට ලැබුණු එක් අවස්ථාවක් වූයේ, චැනල් 4 නාලිකාවේ කැලම් මැක්රේ උතුරට යන විට එම මඟ අවහිර කරනු ලැබූ මිනිසුන්ය. කැලම් එක් මුලික කාරණයක් ඔවුන්ගෙන් ඇසුවේය. ඒ වූ කලී, “ ඔබ එම චිත්‍රපටය බලා තිබේද?” යන්නයි. පිළිතුර නැත මෙන්ම අවශ්‍ය වන්නේද නැත යන්නය. එපමණකට මෝහයේ තත්වය බරපතලය.

තම දෛනික ජීවිතයේ සියලුම කටයුතු අමතකොට කොට අනෙකාගේ කීමට වෙනත් අයෙකු මට්ටු කිරීමට යාම සමාන වන්නේ වෙන කිසිවකටත් නොව, ඔබේ විළි වසා ඇති ඇඳුමේ ඔබම මළපහ කරගැනීමටය. එය ජීවිතයේ සිදුවන්නේ, එක්කෝ ලබාල අවධියේය, නැතහොත් මහලු වියේදී හෝ යම් කිසි රෝගයක් වැළඳුනු විටය. නමුත් තමන්ගේ කටයුතු කරගැනීමට ශක්තියක් ඇති කිසිවෙකුගේ අතින් එය සිදුවන්නේ නැත. මන්ද තම ශරීරය පාලනය කරගැනීමේ මුලික ජෛව-රසායානික යැයි නම් කළ හැකි ක්‍රියාවලීයක් අපට ස්වාභාවිකවම උරුමය. නමුත් රටේ සිදුවන දේශාපාලනය සහ ඊට මහජනතාවගේ සහයෝගය දෙස බැලීමෙන් මතුවන ගැටලුව වන්නේ එම මුලික පාලන ක්‍රමවේදය හෝ අපෙන් ගිහිලී ඇත්තේද යන්නය.

රාජපක්ෂ කොල්ලයක් ගැන සිහින මවන ඕනෑම අයෙකු පැහැදිලිවම නිදහස් විය යුත්තේ රාජපක්ෂ විසින් රටේ සිදු කොට ඇති අස්වභාවයය. එනම් රාජපක්ෂ රටේ ජනතාවට ඔවුන්ගේ ඇඳුමේම මළ පහ කරගැනීමට සිදුවන පරිදි දේශපාලනික වශයෙන් නිර්වින්දනය කිරීමට කටයුතු කළ ආකාරයය. එය තේරුම් නොගන්නා තාක් දුරට, ගලබොඩ අත්තේ ඥානසාර හිමි පමණක් නොව, ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ ධන පරිත්‍යාගයෙන් තම කාර්යාලයේ බිම ඇතිරීමට පිඟන් ගඩොල් ලබාගෙන උලමෙකු මෙන් තම “ප්‍රෝඩාකාරී සමාජවාදය”, තම කථිකත්වයෙන් වැසීමට යන්ත දරන අනුර කුමාර දිසානායක නමැති “ ලාංකික ධනවාදී කොමියුනිස්ට් කැරලිකරුවා,”දක්වා වූ අයවලුන් සිදුකරමින් සිටින්නේ රාජපක්ෂ සහ එම පවුලට අවශ්‍ය දේ පමණි. ඇතැමෙක්, තම වාසීය උදෙසා ගෞතම බුදුන්, රාජපක්ෂලාගේ නෑදැයින් කළා මෙන් මොවුන්ද තම පෞද්ගලික වාසිය කරන කොට ගනිමින් රාජපක්ෂ සහ මාක්ස් අතර ඥාති සම්බන්ධය සොයා ගතහොත් පුදුම විය යුතු නැත.

රාජපක්ෂ කොල්ලයක් දවල් සිහිනයක් පමණක් වන ආකාරයේ සමාජ වෙනස්කම් එම පවුල තුළම සිදු වී ඇත. කොල්ලය සඳහා ප්‍රසිද්ධ වේදීකාවේ රඟදක්වන ප්‍රධාන චරිත දෙකම, ඇමෙරිකානු පුරවැසියන්ය. එසේම එම පවුල කොල්ලයකට යාම කෙසේ වෙතත්, රට සර්ව සම්පූර්ණයෙන්ම කොල්ල කෑමට වඩාත් සුක්ෂමව කටයුතු කොට ඇත. රටක පැවතිය යුතු ආයතන පද්ධතිය රූකඩ බවට පත් කිරීමේ සිට, කාලාන්තරයක් තිස්සේ රටේ දේශපාලනයට තීරණාත්මකව දායක වූ බෞද්ධ ස්වාමීන්වහන්සේලා අතරින්, කිහිප දෙනෙකු තෝරාගෙන ඔවුන්ව, තම සතුරා මෙන්ම තමා සමඟ සිටින නමුත් තමන්ට තරගයක්/අභියෝගයක් විය හැකි පුද්ගලයා මට්ටු කිරීමට භාවිතා කරමින් සිටිනු පෙනේ. කතෝලික පල්ලියේ ඉහළ නායකත්වය දේශීය වශයෙන් දේශපාලනික කාරණා මුලික කරගනිමින් නිවට වූ පමණින් මැද පෙළ නායකත්වය තවමත් වඩාත් සුපරික්ෂාකාරීව මෙහෙයවීම සැලකිය යුතු මට්ටමේ ධනාත්මක කාරණයකි. එහි විනය, බෞද්ධ සංඝ ප්‍රජාවට සාපේක්ෂව තවමත් බරපතල ලෙස පිරිහී නැත.

මේ සියලු කාරණා දැකීමෙන් කිව හැක්කේ මෙපමණය.

නෝනාවරුනි, මහත්වරුණි, එසේම “බුද්ධ චීවරය” පොරවාගෙන සිටින මහත්වරුණි, ලංකාවේ විජයබා කොල්ලය සිදු වූ බව සැබෑය. ඔබ රාජපක්ෂ පවුලේ එවැන්නක් සිදු වන්නේ යැයි හෝ සිදු වීමට නියමිත යැයි බලා සිටියහොත්, ඔබත් බලා සිටින්නේ, අහවල් පුද්ගලයා එළුවාගේ අහවල් ස්ථානයේ පිහිටි අහවල් අවයවය වැටෙන තෙක්, බලාසිටි ආකාරය හා සමාන ක්‍රියාවලිකය. එබැවින් වහාම එම මෝහයේ නිස්පන්නයක් වන අදාළ සිහිනෙන් මිදීම සහ තමන්ගේ සැබෑ මිතුරා සොයා ගැනීම අතිශය තීරණාත්මක වේ. එය තේරුම් ගැනීමට ගතවන කාලය අනුව තවත් වසර 6ක්, ආඥාදායකයා රටෙන් හොරා ගන්නේ හෝ නොගන්නේ ද යන්න තීරණය වනු ඇත.

indexනිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa