හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (අවසාන කොටස) | Image Credit: ctya

හැට ගණන්වල රැඩිකල් දේශපාලනයට පිවිසුණු පිරිස අද වන විට තම ජීවිතවල අවසාන වකවානුවට ලගා වී සිටිති. ලංකාවට නිදහස ලැබී වසර 20 ක් යාමටත් ප්‍රථම රටේ පාලකයන්ගේ අදූරදර්ශී, අදක්ෂ, අසාර්ථක බව හමුවේ අලුත් ජවයකින්, අලුත් ලංකාවක් තැනීමේ අරමුණ පෙරදැරි කරගෙන පෙළ ගැසුන අපි (විවිධ විප්ලවවාදී පක්ෂ සහ කණ්ඩායම් තුලින් වාම දේශාපාලනයක් කළ) බොහෝ දෙනෙකු අද වන විට ලංකා සමාජය, ලංකා දේශාපාලනය එදා හැට ගණන්වනවිට පැවතුණු ප්‍රමාණයට වඩා එක අතකින් දියුණුවක් (තාක්ෂණ) ලැබුවා වුවත් මුළු එකක් වශයෙන් විශාල ගුණාත්මක පිරිහීමකට පත්වී ඇතිවා යැයි සිතන බව මගේ වැටහීමයි. එදා රට තුල පැවති ප්‍රජාතන්ත්‍රීය අයිතීන්, සමාජය තුල පැවති හික්මීම (මෙයින් මා අදහස් කරන්නේ බලය ඇති අයට යටත් වී එහෙයියන් වීමේ හික්මීම නොවේ) සමාජයක් තුල අනෙක් පුද්ගලයාට ගරුත්වයක් දීම, ආගම් ඉදිරියේ අනවශ්‍ය විදිහට වැඳ වැටීමක් නොකිරීම (මෙයින් මා අදහස් කරන්නේ වැලමිට දක්වා පිරිත් නූල් බැදීම, දකින දකින බෝ ගහට වැදීම, ඉවරයක් නැතිව බුදු සරණයි! දළඳා සමිදු සරණයි! ආදිය කීම, මුස්ලිම් ලමුන් පවා හිස් වසා පරදාව ඇදීම ආදියයි.), ජනවර්ගයක් අතර නිමක් නැති වෛරයකින් සැකයකින් නොපෙලීම, දේශපාලන නායකයින් ඉදිරිපිට දණ බිම ඇණ නොවැටීම, ආදී ගුණාත්මක හරයන් විනාශ වී ගොස් ඇති බවයි.

හැට ගණන්වල රැකියා හිඟයක් පැවතුණි. අද එය ඊට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි වී ඇති අතර උගත් තරුණ තරුණියන්ගෙන් වැඩි දෙනෙකුගේ එකම අභිලාශය වී ඇත්තේ රට හැර බටහිර රටකට සංක්‍රමණය වීමයි. මෙය මා ඉදිරිපත් කරන්නේ හැට ගණන්වලට වඩා අද සමාජ දේශාපාලන තලයේ ප්‍රශ්න උග්‍ර වී ඇති බව වටහා ගැනීමටයි.

අද ලංකාව මෙතරම් ප්‍රමාණයක පිරිහීමකට ලඟාවීමට හේතු වන්නේ ලංකාවේ අසාර්ථක පාලකයන් පමණක් නොව අනෙකුත් දේශපාලන පක්ෂ, වමේ කණ්ඩායම්, විප්ලවවාදීය කියා ගන්නා දේශපාලන පක්ෂ සහ බලවේග තුල ගොනුව සිටි අප ද මේ තත්වය මෙතැනට ගෙන ඒමට අඩුවැඩි වශයෙන් වගකිවයුතු බව මගේ හැඟීමයි. මේ ලිපිපෙල තුලින් මා උත්සාහ කලේ ඒ අතීත සිදුවීම් මා දන්නා සහ මගේ මතකය අනුව ඉදිරිපත් කර එම වැරදි දෙස, එම වැරදිවලට බලපෑ ඓතිහාසික සිදුවීම් දෙස සංයමකින් බලා ( අපි අපගේ වැරදි දැකීමට හුරු වී හෝ පුරුදු කර නැති කොටසක් වන නිසාවෙන් ‘අපි වැරදි කර නැත’ යන ආස්ථානයට යමින් අපව ආරක්ෂා කර ගැනීමට, බැමි බැඳ ගැනීමට පුහුණුවක් ඇත්තන් නිසාවෙමු. එහෙත් මෙහි මා අදහස් කරන්නේ අප රටක් සහ සමාජයක් වශයෙන් මෙතරම් පිරිහුණු යුගයක් මින් පෙර ලංකා ඉතිහාසයේ නොතිබූ හෙයින් අප අතින් වුණු සහ කරමින් තිබෙන වැරදි [චෝදනාවක් කිරීමකට නොව]වැරදි ගැන සිතා බලා ඒවායින් ඉගෙන ගැනීම සඳහාය.) අද තත්වයට විසදුම් සෙවීමේ අරමුණිනි.

පැරණි වමේ නායකයින් 1956 බණ්ඩාරනායකගේ ‘සිංහල පමණයි පනතට’ එරෙහි වූ අතර සම සමාජ පක්ෂ නායක කොල්වින් ආර් ද සිල්වා මෙසේ තිර ප්‍රකට ප්‍රකාශයක් කරමින් ‘එක භාෂාවක් නම් රටවල් දෙකයි. භාෂා දෙකක් නම් එක රටයි’ පැවසීය. නමුත් මෙම කොල්වින්ම මින් වසර 16 කට පසුව 1972 ව්‍යවස්ථාව සකස් කරමින් සිංහල පමණක් රාජ්‍ය භාෂාව කලා පමණක් නොව ලැජ්ජා විරහිත ලෙස රාජ්‍ය ආගම ලෙස බුද්ධාගමද නම් කරනු ලැබීය.

හැට ගණන්වල තරුණ බලවේග පැරණි වමෙන් එනම් කොල්වින්ලාගෙන්, වික්‍රමසිංහලාගෙන්, ශන්මුගදාසන්ලාගෙන්, ඉගෙන ගත් අප වන්නෙමු. ගුරුවරුන්ගේ හිටගෙන මුත්‍රාකිරීම විවේචනය කරමින් සංවිධාන ගත වන අපි ඉන්පසුව කරනු ලබන්නේ දුව දුව මුත්‍රා කිරීමයි.

කොලනි මාස්ටර්ලාගේ හිතවතුන් වූ බලයේ සිටි දේශපාලන ප්‍රභූන්ව විවේචනය කරන අපි කතා කලේ මේ අයගෙන් බලය ජනතාව (ජනතාව යනු අපි) අතට ගත යුතු බවයි. එතුලින් සමාජවාදී ලංකාවක් (අපට අනුව රතු ලංකාවක්, මෙය පොල්පොට්ලාගේ හෝ ප්‍රභාකරන්ලාගේ මෙන් ලේ වැගිරෙන එකක් වීමට බොහෝ ඉඩකඩ තිබුණි.) ගොඩ නැගූ විට ලාංකීය සමාජය තුල ඇති සියළු ප්‍රශ්න විසදෙනු ඇති බවයි. මෙසේ සමාජවාදය උදා කිරීමේ දී එක එක කණ්ඩායමට, එක එක පක්ෂයට වෙනත් වෙනත් ක්‍රම සහ විධි පැවතුණි. කෙසේ වුවත් සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සභාගයකට යමින් හැත්තෑවේ මැතිවරණය කළ අතර මෙම විප්ලවාවාදී පක්ෂ සහ කණ්ඩායම් වල සහාය එයට ලැබුණි. (අපි බොහෝ දෙනෙකු මැතිවරණ වේදිකාවන්හි සභාගය දිනවීමට කථාකළ කථිකයන් වූයෙමු.)

බලයට පත් සභාගය ඔවුන්ගේ සමාජවාදී ක්‍රමය අරඹමින් ලංකාවේ ප්‍රභූන් සහ උගතුන් අත තිබූ ආර්ථිකය සහ පරිපාලනය මෙහෙයවීම ජනතාව අතට පත්කළ අයුරු බලමු (අපි 71 දී ඔවුනට එරෙහිව කැරලි ගසා සිරගත වී සිටියෙමු). තම දේශපාලන පක්ෂ සාමාජිකයන්ගෙන් ‘‘ජනතා කොමිටි” මෙම සභාග රජය මගින් ගොඩ නගන්නේ ‘‘සෝවියට් සභා” අනුකරණය කරන බව පවසමිනි. මෙම ‘ජනතා කොමිටි’ වලට පත්වන පක්ෂ සාමාජිකයන් බොහෝ විට කිසිදු පරිපාලනයක් ගැන දැනුමක් හෝ උසස් අධ්‍යාපනයකට හිමිකම් නොකී ‘‘ විප්ලවවාදී මනසකින්” ( විනාශයකින් තොර ගොඩ නැගීමක් නැත) පරල වී සිටි කොටසකි. ධනපති පන්තියට ඕනා විදිහට කම්කරු පන්තිය පෑගීමට ඉඩ නොදෙමුයි පැවසූ ඔවුන් බලය සමග ආවේශ වූ ‘පන්ති වෛරයකින්’ සමාජවාදී ක්‍රියාවන් ඇරඹීය. මෙම ජනතා කොමිටි සාමාජිකයින්ව සංස්ථාවන්හි, දෙපාර්තමේන්තු, සමූපකාර සංගම්, සතොස, ෆැක්ටරි, වතු, ආදී මෙකී නොකී රාජ්‍ය ආයතනයන්හි පරිපාලන නිලධාරීන්ට ඉහළින් පත් කරනු ලබයි. හරිහැටි අධ්‍යාපනයක් හෝ පරිපාලනය ගැන අඹමල් රෙණුවක දැනුමක් හෝ වෙනත් කිසිදු දැනුමක් පවා නොමැති කොටස් පරිපාලනයට අණදෙන කොමිට බවට පත්වූවායින් පසු සිදු වන්නේ පිස්සා කඩු ගත්තා වැනි ක්‍රියාදාමයකි. ෆැක්ටරි පාඩු ලබන්නට වූ අතර සංස්ථා අවුලෙන් අවුලට යනු ලැබීය. සමහර ආයතන වසා දමන්නට පවා සිදුවන තත්වයක් ඇතිවිය. ලංකාවේ ප්‍රධාන විදේශ විනිම ආදායම් මාර්ගයක්ව පැවතුනු තේ වතු පාඩු ලබන මට්ටමකට පත්වූවා පමණක් නොව සමහර වතු වල්බිහි වන්නට පටන් ගැණුනි. 56 දී කියන ජනතාව (සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු) අතට බලය මාරු කිරීමේ මුල්ම පියවර මෙයයි. මර්වින් සිල්වලා වැනි අයගේ දේශපාලන අධිකාරිය හෙබවීමේ ආරම්භයද මෙයයි.

එයින් පසු විශාල භීෂණ ගණනාවක් තුලින් ලංකා සමාජය මේ වන තුරු ගමන්කර ඇත. අඩුවැඩි වශයෙන් උතුරේ සහ දකුණේ විශේෂයෙන් තරුණ තරුණියන් ලක්ෂ 2 ක් පමණ ඝාතනය වී ඇත. සමාජය තුල ප්‍රශ්න උග්‍ර වී ඇති අතර ඒවා විසදීමේ මුවාවෙන් ඉදිරිපත් වන දේශපාලන කණ්ඩායම් සහ බලවේග වපුරන්නේ වෛරය වන අතර ජනාධිපතිගේ සිට මහජන නියෝජිතයින්ද වෛරයම ප්‍රචලිත කරයි. ඒ මදිවාට බුදුන්ගේ ශ්‍රාවකයින් යැයි කියා ගන්නා චීවරධාරීන්ද වෛරයම වපුරනු ලබයි. තල වැපුරූ විට මුං අස්වැන්න නොලැබෙන බව අපි දනිමු!. වෛරය වැපුරුවා නම් ප්‍රචන්ඩත්වය සහ මරණය අස්වැන්න වන බව සහතිකය. ඉතින් මෙය අද සමාජ තත්වය නම් මෙම ගමන අවසාන කිරීමට කළ යුතු කුමක්ද කියා සොයා බැලීමට පමා නොවිය යුතු අතර එය සාමූහික ක්‍රියාදාමයකි. එසේ නතර කර ගත නොහැකි වුවහොත් තවත් වරක් ලංකා සමාජය මළමිනී සහ ලේ ගංඟා තුල ගිලී යාම වලකනු නොහැක.

මා ලංකාවෙන් පිටවී වසර 33 ක් ගතවී හමාරය. එදා මා සමග ගුවන් තොටුපොළට පැමිණි සොයුරන් ගණනාවක්ම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් සාපරාධී අයුරින් ඝාතනය කරනු ලැබීය. ඒ ඔවුන් ලංකාවේ දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් කතා කළ බැවිනි. මිනිසුන් කෙරෙහි ආදරයක් නිසා දේශපාලනයට පෙළඹෙන බොහෝ දෙනෙකු පක්ෂ සහ කණ්ඩායම්වල වෛරී දේශපාලනයට හසුවන අතර වෙනත් මතයක් දරණ අනෙකාට වෛර කිරීමට පොළඹවනු ලබයි. උතුරේත් දකුණේත් එය සිදුවිය. එනිසා විශාල ජීවිත සංඛ්‍යාවක් අකාලයේ විනාශ කර දමනු ලැබීය. අදටත් මේ වෛරී දේශපාලනය මේ පක්ෂ කණ්ඩායම් සීතල යුද්ධයක් ලෙස කරනු ලබයි. සතුරු ආකල්පයන් මෙසේ ප්‍රගුණ කිරීමෙන් යම් දිනක මොවුන් දේශපාලන බලය හෝ ආයුධ බලය ලත් විගස අනෙකා මත ප්‍රචන්ඩ බව පතුරුවනු ඇත.

මම ලංකාවෙන් පිටවී වසර 2 කට පසු මගේ පියා මිය ගිය අතර එදා ජේ.ආර්. ගේ රජය යටතේ පියාගේ මළගමට සහභාගි වීමට ඉඩ නොදෙනු ලැබුණි. පියාගේ මළ ගෙදර පුරා රහස් පොලිස් නිලධාරීන් පිරී සිට ඇත. ඉන් වසර 28 කට පසු 2010 අප්‍රේල් මස මගේ මව මියයන විට රජ කරන්නේ මා හොඳින් දන්නා හඳුනන ජනාධිපතිවරයෙකි. ඇමති මණ්ඩලයේ සිටින ගුණරත්න වීරකෝන්ලා ඇතුළු බොහෝ දෙනෙකු 71 ට ප්‍රථම මගේ මවගේ බත් මුට්ටියෙන් බත් කෑ අයයි. එත් මගේ මවගේ මරණය දැක ගන්නට ඉඩක් නොදෙන ඔවුන් රහස් පොලීසිය පුරවා මළගෙදර හැඩ කරති. ඉනුත් දින 10 කට පසු මගේ සහෝදරයා මියයයි. මගේ මව මෙන්ම මගේ සොයුරාද මා ඔවුන්ගේ මළ ගමට නොඑන බව දැන සිටියහ. මේ සටහන මා මෙහි තබන්නේ මෙය මට පමණක් නොව තවත් දස දහස් ගණනක් ලංකාවේ ඉපදුන මිනිසුන්ගේ ඉරණම වී ඇති බැවිනි.

ලංකා දූපත යුද්ධයෙන් විශාල ලෙස තුවාල ලැබූ එකකි. එය සුව කර ගැනීම කළ හැක්කේ දේශපාලන වශයෙන් කරන දේශපාලන ඔසුවලින් පමණි. නමුත් ඉක්මනින් එය සුව කර ගැනීමට නොහැකි වුන හොත් මෙම තුවාල පැසවා ඔඩු දුවනු ඇත. බලයේ සිටින කණ්ඩායම තම මමත්වයෙන් එහා නොසිතන පටු ආත්මාර්ථකාමීත්වකින් පිරී ඇති කොටසක් නිසාවෙන් එයට ප්‍රතිවිරුද්ධව සිටින අය එකට එක්වී මෙම විනාශකාරී ගමන නතර කර ගත යුතුව ඇත.

එහිදී අපට ඇති ලොකුම බාධාව අප අතර ඇති පුංචි ප්‍රතිවිරෝධ මුල්කරගෙන එකිනෙකාට චෝදනා කරමින්, අවලාද නගමින්, පැරණි සුපුරුදු දේශාලනයම තවදුරටත් කරගෙන යාමයි. තවත් ප්‍රධාන බාධකයක්ව ඇත්තේ මේ සාපරාධී පාලනය පෙරලා දැමූවා කියා වෙනසක් ඇතිවේද? පවතින බලවේග විකල්පයක්ද? පෙර පැවතුනේත් මේකම නේද? ලංකාවේ මීට වඩා ඉස්සර හොඳ දෙයක් තිබුණාද? මොකද ඉස්සර ප්‍රජාතන්ත්‍රවාදය තිබුණාද? මුන් එක්කද එකතු වෙන්න කියන්නේ? මුන් වගේ අය එක්ක එකට ගමනක් යන්නෙ කොහොමද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් ප්‍රගතිශීලීන්ගේ මුවින් මතුවේ.

මේ ප්‍රශ්නවලට මගේ පිලිතුර වන්නේ: ඔව්, එදා හැට ගණන්වන විට ලංකාව අදට වඩා විශාල ගුණාත්මක අගයක් තිබූ රටකි. එදා ප්‍රජතන්ත්‍රවාදය අද මෙන් සිය ගුණයක් තිබුණි. පෙර පැවති සමාජයේ දුර්වලකම් පැවතුනා වුවත් අද මෙන් පසුගාමී ෆැසිස්ට් ලක්ෂණවලින් හෙබි රාජ්‍යයක් එදා නොතිබුණි. රජවරුන්ට මෙන් දණ ගසා හෝ බිම දිගා වී වදින ජනතාවක් එදා නොවීය. එක්වීමට බෑ කියන ‘මුන්’ යන හැමගේම කිල්ලෝටවල ටික ටික හුණු ඇත. වසර 40 ක ලංකා දේශපාලනය ලේ ගංඟා, මරණය, සහ මිනී කුණු ගදින් පිරි ඉතිරී ගිය එකකි. අඩුවැඩි වශයෙන් හැමෙකාගේම අත්වල ලේ ගැවී ඇත. ලේ නොගෑවුණු අත් සෙවීම මරණයක් නොවුන ගෙදරකින් අබ ඇට සෙවීමට සමානය. එනිසා ‘මුන්’ ‘මුන්’ සමග එක්වී ෆැසිස්ට් රාජ්‍ය පෙරළීම මේ මොහොතේ ඇති දේශපාලන කාර්‍යයයි. ඉන්පසු සියල්ල නොවිසදෙන බව තරයේ මතක තබා ගත යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා සටන අත නොහැර කර ගෙන යා යුතු බව මගේ වැටහීමයි. එසේත් නැතිව අද පවතින තත්වය අමතක කර අනාගතයේ ඇති කරන පිරිසිදු සමාජවාදී විප්ලවය තුලින් සෞභාග්‍යමත් සමාජයක් ඇතිකරන තුරු බලා සිටීම, ගෝඩෝ එනතුරු බලා සිටීම ( ග්‍රාමීය භාෂාවෙන් එළුවාගේ බිජ්ජ වැටෙන තුරු පිටුපසින් ගිය නරියා සේ බලා සිටීම) වන බව නම් නොසැකය. ඒ අන්කිසිවක් නිසා නොව අද බලයේ සිටින කණ්ඩායම රටෙහි සම්පත් කොල්ලකන්නේ එම සම්පත් වලට පමණක් සීමා නොවී පරිසරයද විනාශ කරමිනි. අවසානයේ ඔවුන් ඉතුරු කරනු ඇත්තේ කාන්තාරයක් බවට පත් කළ දූපතකි.

රටක් ලෙස පිරිහී ඇති මට්ටම, සමාජයක් ලෙස පිරිහී ඇති මට්ටම වටහා ගැනීමට හැට ගණන්වල සමාජයේ මිනිසුන් වදින ආකාරය ගැන සිතා බලන්න. (පන්සලේ හාමුදුරුවන්ට, මවට සහ පියාට- ඒත් අවුරුද්දට හෝ දිගු කලකට ගෙදරින් පිටවී යන විට, වසර ආරම්භයේදී ගුරුවරයාට- ඒත් කුඩා පන්තිවල පමණක් ආදී අවස්ථාවන්වලදී) නමුත් අද සමාජය තුල වැදීම භාවිතා වන අයුරු බලන්න. සමහරු උදේ හවා දෙමාපියන්ට පමණක් නොව ගෙදරට එන වැඩිහිටියන්ටද වන්දනු ලබති. පාසලේදී කුඩා ලමුන් ලවා දිනපතා උදේ හවා ගුරුවරුන්ට වන්දවනු ලබති. වැදීම යනු යටහත්භාවය පෙන්වන ලක්ෂණයකි. මෙහි ඇත්තේ ගෞරවයයැයි කිව්වා වුවත් එතුල ඇත්තේ ගැති බවයි. පෙරදා කිසිදු මන්ත්‍රී කෙනෙකු හෝ ඇමති කෙනෙකු රටේ අගමැතිවරයාට වැන්දේ නැත. රටේ වැසියෙකු පවා අගමැතිට අත්දෙක එක්කර ආයුබෝවන් කීවා මිස වදිනු නොලැබුණි. නමුත් අද වන විට මන්ත්‍රීවරු පමණක් නොව ඇමතිවරුද ප්‍රසිද්ධ වේදිකාවේ බිම දිගාවී හෝ දණබිම ඔබා ජනාධිපතිවරයාට හෝ ඔහුගේ පවුලේ අයට වදින දසුන් දකින අපට නම් හිරිකිත උසුලා ගත නොහැක. මෙතුලින් මා පවසන්නේ හැට ගණන්වල සමාජය තුල තිබූ ප්‍රජාතන්ත්‍රවාදී දියුණුව අද වැඩවසම් ගැතිත්වයක් කරා ආපසු ගමන් කර ඇති ආකාරයයි. ලෝකයේ 21 වැනි සියවසට ගමන් කර ඇති අවධියක එසේ 21 වන සියවසේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ භාවිතා කරන මොවුන් 18 වන සියවසයේ බර කරත්ත මානසික මට්ටමකට ගොස් සිටීම සමාජයකට මොන තරම් සාපයක්ද?

තඹ කොල සුර කර වටා ඉණ වටා බැඳගෙන, ජප කරපු ගුලි මිරිකන රටේ නායකයින් පෙරදා සිටියේ නැත. දේශපාලන අදහස් ලීවාට මාධ්‍යවේදීන් අතුරුදහස් කලේද නැත. ඔවුන්ට තහංචි දැමුවා වුවත් රැකියාවෙන් නෙරපූ අවස්ථාවක් තිබුනානම් තිබුනේ ඉතා කලාතුරකිනි. එපමණක් නොව මේ ෆැසිස්ට් ආකාරයේ තගරි දේශපාලනය මුස්ලිම් ජනයාට එරෙහිව කරගෙන යන සාපරාධී මත ප්‍රචාරය, ඔවුන්ගේ නිල නොලත් රාජ්‍ය අනුග්‍රහය ලබන කණ්ඩායම් සහ බෞද්ධ යැයි කියා ගන්නා කණ්ඩායම් ලව්වා කරගෙන යන අඩම්තේට්ටම්වල අවසානයට ලගා විය හැක්කේ, එයට එරෙහිව ප්‍රචන්ඩත්වයක් නැගී ඒමෙනි. එසේ වූ දාට නැවත අප සමාජයට විශාල ජීවිත සංඛ්‍යාවකින් මේවාට වන්දි ගෙවීමට සිදුවනු ඇත.

සිංහල සමාජය පෙරදා පූර්ණ සිංහල ජාතිවාදී සමාජයක් නොවීය( එතුල සිංහල ජාතිකත්වය පවත්වා ගැනීම අපේ පාසැල් ඉගැන්වීම් තුල තිබුනා වුවත්). නමුත් එය පූර්ණ සිංහල ජාතිවාදී සමාජයක් බවට ඇද දැමීම, පෙරලීම කරන්නේ සිංහල ජාතිවාදී රාජ්‍යය, ජනතා විමුක්ති පෙරමුණ, සිහළ උරුමය, හෙළ උරුමය ආදී පක්ෂ සහ කල්ලි මෙන්ම එල්ටීටීඊ සංවිධානයද එක රැලකට එකතුවීම තුලිනි.

නැවතත් එම ජාතිවාදය නගා සිටුවීම, ජන කණ්ඩායම් අතර වෛරය පැතිරවීම විශාල ලෙස සිදුවෙමින් පවතී ඉතිහාසය නැවත නැවත පුනරුච්චාරණය කර එකම ඛේදවාචකයක් පුනර්ජීවනය කරනවාද නැතිනම් මේ ෆැසිස්ට් බලයට එරෙහිව අනෙක් සියලු කණ්ඩායම් සහ පුද්ගලයින් සමග තම අවශේෂ ප්‍රතිවිරෝධ ඉවත දමා එක්වනවාද යන්න අද අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි.

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarachchi