1971 දී බංගලාදේශය නිර්මාණය කිරීමට එවකට පැවති නැගෙනහිර පකිස්ථානය කඩාබිඳ දැමීම සඳහා ඉන්දියාවට පමණක් නොව නැගෙනහිර පකිස්ථානය තුළ හටගත් බොහෝමයක් ව්‍යාපාර එක්ව කටයුතු කළ බව නොරහසකි. සැබවින්ම ඉන්දියාව සිදුකළේ එම ව්‍යාපාරවලට සහයෝගය දීම පමණි. අදාළ අර්බුදය හේතුවෙන් මිලියන දහයකට වැඩි පිරිසක් අවතැන් වූ අතර මිලියනයකට අදික පිරිසක් ඝාතනයට ලක් වූහ. අදාළ ජන ඝාතනය බොහෝ දුරට සමාන වන්නේ රුවන්ඩාවේ 1994 දී සිදු වූ සමූල සංහාරයටය. මෙම සංහාර දෙකටම බටහිර රාජ්‍යයන් දෙකක් පිටුපස සිටියහ.

රුවන්ඩාවේ ජනාධිපති ජුවනෙල් හබිරමානා, ප්‍රංශයේ ජනාධිපති ෆ්‍රැන්කොයිස් මිටෙරෑන්ඩ් විසින් ත්‍යාගයක් ලෙස ලබාදුන් ගුවන් යානාවේ යමින් සිටියදී එය හදිසි පහර දීමකට මුහුණ දී අනතුරට ලක් විය. ඒ 1994 අප්‍රේල් මස 06 වැනි දිනය. අදාළ ගුවන් යානය අනතුරට ලක්වීමෙන් රුවන්ඩාවේ ජනාධිපතිවරයා පමණක් නොව ඔහු සමඟ ගමන් ගනිමින් සිටි බුරුන්දී හී ජනාධිපති වරයා මෙන්ම ආණ්ඩු නියෝජිතයින් රැසක් මරුමුවට පත් වූහ. අදාළ ප්‍රහාරය රුවන්ඩාවේ මිලිටරිය විසින්ම සිදු කළ දෙයක් බව පසුව වාර්තා විය. ඊට හේතුව වූයේ ජනාධිපතිවරයා, එරට කරලිකරුන් සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම නිසා යැයි පසුව හෙළිදරව් විය. ඒ පැවති වටපිටාව හමුවේ මතුපිටට පැමිණි කාරණාය.

අදාළ අනතුර රටේ ජන සංහාරයකට මුලික සිදුවීම වූ අතර ජනාධිපතිවරයාගේ මරණින් පසු එරට මිලිටරිය සහ ඊට සම්බන්ධ වී සිටි අන්තවාදී කණ්ඩායම් රටේ සිදුකළ ජන ඝාතනය කෙලවර වූයේ මිලියන 01 කට ආසන්න පිරිසකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමෙනි. අදාළ සිදු වීම සිදු වී වසර 10 ක් සම්පූර්ණ වූයේ ඉකුත්දාය. ජාතින් අතර සහයෝගය, සහජීවනය මෙන්ම ගැටුම් නිරාකරණය ගැන විවිධාකාරයේ කතන්දර එරට සිදුවන බව වාර්තා වී තිබුණත් ප්‍රංශය මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයත් අදාළ සමූල ඝාතනයේ නියම වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා කටයුතු නොකළහ. මන්ද එය ඔවුහු යුක්තිය පසිඳලීම වෙනුවෙන් අවංකව කටයුතු කළේනම් නම් එම රටවල් අදාළ සමූල ඝාතනය පිටුපස සිදුකළ සියල්ල හෙළිදරව් වනු ඇත. මෙය වත්මන් ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව පසුගියදා හෙළිදරව් කරනු ලැබීය.

බංගලාදේශය සම්බන්ධයෙන්ද තත්වය මේ හා සමානය. සැබවින්ම බංගලාදේශයේ සිදුවීම රුවන්ඩාවේ සිදුවීමට දශක දෙකකට වඩා වැඩි කාලයකට පෙර සිදු විය. නමුත් රුවන්ඩාවේ සංහාරය තරම්වත් ප්‍රභල මාධ්‍ය ආවරණයක් ලබා ගැනීමට නොහැකි වූ මෙම සිදුවීම බොහෝ ප්‍රධාන මාධ්‍යන් මඟින් යටගැසීමට උත්සහ කළහ. ඊට සාධාරණ හේතු තිබිණි. එනම් බංගලාදේශයේ සංහාරය අතිශය ක්‍රමොපයිකව සැලසුම් කළ එකක් වූ හෙයිණි.

අන්තවාදීන්ගේ වැඩපිළිවෙලක් හෙවත් ජනඝාතනයක් ලෙස බැලූ බැල්මට පෙනුණත් ඊට සම්බන්ධ වූ අතිශය සංකීර්ණ දේශපාලනික වුවමනා එපාකම් ඊට තිබුණි. එසේම ඇමෙරිකානු මැදිහත් වීම සහ එවකට ඇමෙරිකාව භූ දේශපාලනික වශයෙන් කලාපයේ නායකයින් භාවිත කළ ආකාරය මනාව හඳුනා ගත හැකි වූ මෙම බරපතළ අපරාධය මේවන තෙක් සාදාරණය ඉටුවී නැති ගැඹුරු ඛේදවාචකයකි. ඒ වෙනුවට බලයට පත් වූ ආණ්ඩු මෙන්ම ආගමික කණ්ඩායම් රටේ අන්තවාදය පෝෂණය කිරීම වෙනුවෙන් කටයුතු කළහ. එක් අතකින් චිතගොන් කඳු වළල්ල වාසභූමි කරගත් බෞද්ධ ජනතාව දිනපතා ඉලක්කයක් බවට පත් වී ඇති අතර අනෙක් අතින් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් රටේ මුස්ලිම් ජනතාවද ඉලක්ක කරගනිමින් සිටිති.

ඇතැම් වාර්තා වලට අනුව, පකිස්ථාන මිලිටරිය එවකට නැගෙනහිර පකිස්තානයේ ජීවත් වූ බුද්ධිමතුන් ධකා විශ්ව විද්‍යාලයට කැඳවා සමූහ වශයෙන් මරා දැමූහ. එම ඝාතනය පිළිබඳව එවකට නැගෙනහිර පකිස්ථානයේ සේවය කළ ඇමෙරිකානු ආණ්ඩුවේ නොයෝජිතයා වූ ආචර් බ්ලූඩ් ඉතා නිවැරදිව දැන සිටි නමුත් මිලියන ගණනක් වූ වැසියන් මරා දමන තෙක් ඔහුට නිරුත්තරව සිටීමට හේතුවක් තිබිණි. අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ඔහු ජනාධිපති නික්ෂන් සෑම මොහොතකම දැනුවත් කිරීමට අමතක නොකළේය. නමුත් ඇමෙරිකානු ආණ්ඩුව ඊට එරෙහිව කිසිවක් නොකළේය. ඒ වෙනුවට පකිස්ථාන මිලිටරියට කොන්දේසි රහිත විමුක්තියක්, අදාළ ජන ඝාතනය සිදුකිරීම සඳහා ලබා දුන්නේය. ජනාධිපති නික්ෂන් සහ ඔහුගේ ආරක්ෂක උපදේශක හෙන්රි කිසින්ජර් පකිස්ථාන මිලිටරි ඒකාධිපතියා වූ යහයා කාන් සමඟ පැවැත්වූ කිට්ටු මිත්‍ර සම්බන්ධය ඊට මුලික හේතුව වූ අතර එය දේශපාලනික වශයෙන් දෙපාර්ශ්වයම වඩාත් සූක්ෂමව භාවිතා කළහ.

පකිස්ථානයේ තෙවැනි ජනාධිපති ලෙස බලයට පත් වූ , තරු හතරේ ජනරාල් වරයෙකු වූ යහයා කාන්, චීනය සමඟ වඩාත් කිට්ටු සම්බන්ධයක් පැවැත්වූයේය. එසේම මෙරට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකද කිට්ටු සම්බන්ධයක් චීනය සමඟ පවත්වාගනු ලැබුවාය. එය මුලික කරගනිමින් චීන ආණ්ඩුව පකිස්ථාන මිලිටරියේ ගුවන් යානා නැවතුම් ස්ථානයක් සහ ඉන්දන ලබාගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව භාවිතා කිරීමටඅවශ්‍ය වටපිටාව සකස් කිරීමට සමත් විය. සැබවින්ම එකල ලංකා ආණ්ඩුව වඩාත් ක්‍රමෝපායික යැයි සිතා සිදුකළ එම කටයුත්ත මඟින් ඉන්දියාව තවදුරටත් ලංකාව සම්බන්ධයෙන් පැවති විස්වාශය, ක්‍රමෝපායික ගනුදෙනුවක් දක්වා පරිණාමය කරගත් අතර එය දෙමළ ජනතාව සම්බන්ධයෙන් හැරවුම් ලක්ෂයක්ද විය.

යාපනය පුරපති දොරේ අප්පා මරා දැමීම හෝ 80 දශකයේ මුල් භාගයේ ඇති වූ කෝළාහල කොටි සංවිධානයේ ප්‍රගතියට ඉවහල් වූ බව සැබෑය. නමුත් සත්‍ය බීජ පැල කරනු ලබුවේ ඊට කලකට ඉහතදීය. එහිදී සිදු වූ ඇතැම් සිදුවීම් දීර්ඝ කාලයක් යනතුරු, අහිංසාව වෙනුවට හිංසාව තෝරාගත් සහ උතුරේ දෙමළ කැරලිකරුවන්ට අවශ්‍ය උපදෙස් සහ උපාංග සැපයූ ඇතැම් දේශපාලන කණඩායම් පවා නොදැන සිටියහ. වර්තමානයට සාපේක්ෂව කෞශල්‍යයෙන් පිරිණු තානාපති සේවයක් එකල මෙරට තිබුණු නමුත් රට අස්ථාවර කිරීම සඳහා අවශ්‍ය මාර්ගය තනා ගැනීමට සතුරාට හැකි විය. මෙය වෙනස් වූයේ 2009 මැයි මාසයේදීය.

එනම්, එහි නව පරිච්චේදයක් ආරම්භ වූයේ කොටි සංවිධානය අතුගා දැමීමෙන් පසුය. එහිදී ඇතුලට රිංගාගෙන පොෂණය වෙමින් පැවති අනත්වාදය යළි ඉස්මතතට පැමිණි අතර ප්‍රධාන වෙදීකාවට එය ගෙන ඒමට එහි රෝග කාරකයන්ට හැකිවිය. ලංකාවේ සිංහළ බෞද්ධ පුනරුදය නමැති වෙළඳ භාණ්ඩය තම යාන්ත්‍රික ගමනාගමන මෙවලම ලෙස භාවිත කරන මෙහි ඇතුළත අතිශය සංකීරණය. මෙමඟින් වාසි ලබා ගැනීම සඳහා විශාල පිරිසක් සිටින බවත් එම පිරිස මෙය කුමන ආකාරයෙන් මෙහෙය වන්නේද යන්නත් කලපනාකොට බැලිය යුතු කාරණා වේ.

ගෙවී ගිය වසර කිහිපය තුළ, ඉන්දීය ඔත්තු සේවයට සම්බන්ධ සාමාජිකාවක් චීන තානාපති කාර්යාලයේ සේවය කළ චීන චරපුරුෂයෙකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම පමණක් නොව, එකල මෙරට සේවය කළ පකිස්ථාන මහ කොමසාරිස්වරයාට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම දක්වා වූ සිදුවීම් දාමය මෑත කාලයේදී ලංකාව තුළ සිදු වූ පෙර සඳහන් කළ ක්‍රමෝපායික සෙල්ලම ක්‍රියාත්මක වන අයුරුය.

මෙය වඩාත් සුක්ෂම ලිහා නොබැලීම සහ තමන් තමන්ගේ පෞද්ගලික වාසී වෙනුවෙන් රටේ අසමතුලිතයේ සහ සමූහ අවිද්‍යාවේ සංඛේත බවට හතු පිපෙන ආකාරයෙන් බිහිවෙන කල්ලි නිරායාසයෙන්ම ආණ්ඩුවේ ආශිර්වාදය ලැබීමට හැකිවීම අර්බුදය තව දුරටත් සංකීරණ කිරීමක් පමණි. ලංකීක දේශපාලන වටපිටාව තුළ මෙය ඉතා සරලව විස්තර කළ හැකිය. එනම් සිංහල බෞද්ධ අන්තවාදය නමැති රෙද්ද ඇතුලට ඉස්ලාමීය අන්තවාදය රිංගීමය.

මෙමඟින් ඉස්ලාමීය අන්තවාදය තවදුරටත් තම සුක්ෂම බුද්ධිය පෙන්වන අතර, සිංහල බෞද්ධ අන්තවාදය තම ගූඨ මෙන්ම අවිද්‍යාව පෙනවමින් තවදුරටත් ඉදිරියට ඇදෙමින් තිබේ. මීට සම්බන්ධ වී ඇති සියලු පාර්ශවයන් තේරුම් ගත යුත්තේ, එල්. ටී. ටී. ඊ. සංවිධානය , වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නැතිවීමත් සමඟ නැතිව වූ බව සැබෑය. නමුත් අල් කයිඩා සංවිධානය බින් ලාඩන් මරා දැමීමෙන් පසු එහි මෙහෙයුම් නැවතුනේ නැත. නමුත් එහි මෙහෙයුම් වල ක්‍රමය පමණක් වෙනස් විය. මෙය වඩාත් නිවැරදිව තේරුම් ගත යුතු භූමිකාවකි.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa