ඔබ, අප හැමෝටම සිහින තිබේ. ඒවා සැබෑ වනු දැකීම අපේ එකම පරමාර්ථයද වේ. සැබෑ වූ තැන තවත් හීන දැකීම අපේ මනෝභාවය වේ. දෙයක් සිදු වන තෙක් එය ඉටුකරගැනීම පිළිබඳව වූ අසාවෙන් අප පෙළෙන අතර එය ඉටු වූ තැන අපට වෙනත් ආසාවක් පහළ වේ. එය පොදු මිනිස් ගතිය වේ. ලංකාවේ වංචා සහ දූෂණ වල ස්වභාවයද එයයි.ඊයේ රුපියල් සීයක් හොරකම් කරපු එකා හෙට රුපියල් දාහකට කෙලින්නේ කෙසේදැයි බලයි. ඊට පසුදා ඊට තව බිංදු කිහිපයක් වැඩි කරගන්නේ කෙසේදැයි බලයි. ලංකාවේ ප්‍රතිරූපයට හෙණ වැදීමට හේතුව වනෙන් මෙයයි. දුප්පත් පොහොසත් අතර පරතරය අතිශය වැඩිව ඊම සඳහා හේතුව වන්නේද මෙයයි.

විස්වාශදායක ආරංචි මාර්ගයකට අනුව පහත සිදුවීම සිදු වූයේ ජනාධිපති රාජපක්ෂගේ සොහොයුරෙකු මෙන්ම රටේ ආර්ථික සංවර්ධන ඇමති ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂට අයත් අමාත්‍යංශය තුළය. අදාළ අමාත්‍යංශයට පාසල්වල දැන්වීම් පුවරු සවිකිරීමට අදාළ ව්‍යාපෘතියක් සඳහා විශාල අරමුදලක් ලැබුණි. එම අරමුදල එම අමාතංශයේ තමාට හිතවත් දූෂිත හෙන්චයියකුට භාරදුන් අදාළ ඇමතියා ඔහුට අදාළ ව්‍යාපෘතිය තමන්ට රිසිසේ සිදුකිරීම සඳහා නිදහස ලබා දෙනු ලැබීය.

අදාළ වංචාකරුවාගේ මුල් වෑයම වූයේ ව්‍යාපෘතියට අදාලව ටෙන්ඩර් කැඳවීමය. එහි ප්‍රථම පියවර වශයෙන් රටේ වෙළඳ දැන්වීම් සම්බන්ධව කටයුතු කරන අයෙකුට ඔහු හමුවීමට අවස්ථාව ලබා දෙනු ලැබීය. ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ වියදම කෙතරම්ද යන්න ගණන් බලා තමන්ට පවසන ලෙස කියූ පසු අදාළ නිලධාරියාගේ මුල් අදහස වූයේ අදාළ දැන්වීම ආයතනය විශාල මුදලක් අයකරන බව කියමින් වියදම අඩු කරන ලෙස ඉල්ලා සිටීමය. නමුත් අදාළ කටයුත්ත නිවැරදිව සිදු කිරීමට නම් අදාළ මුදල අවශ්‍ය බව කොන්ත්‍රාත්කරුවා දැනුම් දුන්නේය. ඉන් පසු අදාළ නිලධාරියා ඔහුට කියා සිටියේ එසේනම් පළමුවෙන් දැන්වීම් සීයයක් තනා නිම කරන ලෙසයි. ව්‍යාපෘතියට අනුව දැන්වීම් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් පිළියෙළ කළ යුතුව බැවින් සීයයක් පළමු පියවර ලෙස නිර්මාණය කිරීමෙන් කිසිවෙකුට වගතුවක් නොවන බව දැන්වීම් ආයතනය බාර නිලධාරියා ඔහුට දැනුම් දුන්නේය. ඉන් නොනැවතුණු ඔහූ ඒ සම්බන්ධව කටයුතු කළ නොහැකි බව දැනුම් දෙනු ලැබීය.

ඉන්පසු එම අමාත්‍යංශ නිලධාරියා වෙනත් අයෙකුට අදාළ ව්‍යාපෘතිය බාර දීමට කටයුතු කළේය. ඔහු එවර ඔහුට හමු වූ පුද්ගලයාගෙන් සම්පූර්ණ දැන්වීම් සංඛ්‍යාව සඳහා වැයවන මුදල විමසනු ලැබීය. ඔහු සාදාරණ මුදලක් කියූ පසු අදාළ අමාත්‍යංශ නිලධාරියා ඊට අතිරේක මුදලක් එකතු කොට ඔහුගේ ඇස්තමේන්තුවට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවන බව සඳහන් කළේය. ඔහු ව්‍යාපෘතියට අදාල දැන්වීම් සීයයක් පළමුව පිළියෙළ කොට පාසල් සීයයක සැලසුම් කළ පරිදි සවිකරණ ලෙස නියෝග කළේය. ඉන් පසු එම පළමු දැන්වීම් සියය සඳහා ගෙවීම අවසන් කොට ව්‍යාපෘතියේ ඉදිරි පියවර වලට යා හැකි බව කිව්වේය. එසේම අදාළ දැන්වීම්වල නිවැරදි ඇස්තමේන්තුවට අනුව දැන්වීම් සවිකිරීම සඳහා තනන කොන්ක්‍රීට් කණු වල පදනම අඩි දෙකක් ගැඹුරට තිබිය යුතුය. අමාත්‍යංශයේ නිලධාරියා කියා සිටියේ එම කොන්ක්‍රීට් පදනම අඩියක් පමණක් ගැඹුරට සකස් කරන ලෙසය. සියල්ල කෙරෙහි විස්වාශය තැබු අදාළ කොන්ත්‍රාත්කරුවා පළමු දැන්වීම් සියය තනා නිම කරනු ලැබීය. ඉන් පසු ඊට අවශ්‍ය මුදල ලබා ගැනීම සඳහා ඔහු අදාළ නිලධාරියා හමුවීමට ගියේය. ඔහු අදාළ දැන්වීම් සියය නියම තත්වයේ තිබේ දැයි පරීක්ෂා කොට මුදල් ගෙවන බවට පොරොන්දු විය. නමුත් මුල් සැලසුමට අනුව දැන්වීම් වල පොළවට සවිකොට ඇති කණු වල කොන්ක්‍රීට් පදනම අඩි දෙකක් නොව අඩියක් පමණක් බව සඳහන් කරමින් කිසිවක් නොදන්නා අයෙකු මෙන් අදාළ කොන්ත්‍රාත්කරුවාට දොස් පවරනු ලැබීය. ඉන් පසු ඔහුට තර්ජනය කොට තමාගෙන් ශතයක මුදලක් හෝ බලාපොරොත්තු නොවන ලෙස තරයේ කියා සිටියේය. ව්‍යාපෘතියට අදාළ මුළු මුදලම අදාළ නිලධාරීයා වංචා කළේ එලෙසය. ව්‍යාපෘතිය භාගෙට කොන්ත්රත්කරුවාගේ වියමින් සිදු කරගත් හෙතම, ව්‍යාපෘතියට වෙන කළ මුළු මුදලම තමා සතු කර ගත්තේය. මිලියන ගණනක් වටිනා ව්‍යාපෘතියේ මුළු මුදලම ඔහු ගිල ගනු ලැබුවේ එලෙසය. රාජපක්ෂ වටා සිටින තෙවැනි පෙළ නිලධාරීන් රට කාබාසිනියා කරන්නේ එලෙසය.

මහින්ද චින්තනය වූ කලී මෙයයි. මතුපිටින් පෙන්වනු ලබන බොරුවකින් ඇතුළත සිදු වන සියලුම අසමජ්ජාතී ගසා කෑම වසා දමා ඇත.මෙම තත්වය කෙතරම් ගැඹුරුද යන්න තේරුම් ගැනීම සඳහා ඉහත උදහාරණය පමණක් ප්‍රමාණවත් වේ. ඉහළ සිට පහළ දක්වා සිටින සියලුම දෙනා සිදුකරනු ලැබෙන්නේ මෙම අපරාධයයි.

එපමණක් නොව, යමෙක් තම වීර්ය මහන්සියෙන් නිවසක් තැනුවේ යැයි කියමු. ඔහු තම මහන්සිය සැමරීම සඳහා අදාළ නිවස විවෘත කිරීමට රාජපක්ෂ පවුලේ කිසිවෙකුට ඇරයුම් කළේ යැයි සිතමු. ඔවුහු ඇරයුම පිළිගෙන අදාළ ස්ථානයට පැමිණේ. අදාළ නිවස, හෝටලය හෝ අදාළ ව්‍යාපෘතිය විවෘත කොට එහි රවුමක් ගසා පැමිණි පසු එය තමන්ට එය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනු ලබයි. පාලක පවුලේ ගූඪ තණ්හාව එබඳුය. මෙය මේ වන විට රටේ අස්සක් මුල්ලක් නෑරම පැතිරී ඇත. රට එක්තරා ශාපයකට හසු වී ඇති ආකාරයෙන් මතුපිටින් පෙන්වන මුලාවට පත් කරන රූපයකින් සහ අභ්‍යන්තරයෙන් සියලුම දෙනාගේ ආත්මගරුත්වය කෙළසා දමා පුද්ගලයා සතු නිදහස නැති කොට තිබේ.

මහින්ද චින්තනය රට කන්නේ මෙලසය. මීට එරෙහිව කටයුතු කිරීම සඳහා රටේ සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබේ. එම අයිතිය පැහැරහැරීම තම ජීවිතය අනෙකාගේ තණ්හාවන් වලට පාවා දීමක් වේ.

රටේ ප්‍රකට ජනමාධ්‍යවේදියෙකු මහ මඟ මරා දමා එම මිනිසාගේ මළ කඳ ගැන කෙරෙන නිතී විභාගය ගැන වාර්තා කිරීම රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් බවට පත් කර ගන්නා තෙක් අපි ඔල මොට්ටල නිවටයින්සේ බලා සිටියෙමු. ඉදිරියටත් අප එසේම කරන්නේද? කොන්ද පණ ඇති සහ ඇස් ගෙඩි වලට හෙණ වැදී නැති ජාතියක් මෙන් අලුමතින් නැගිටින පීනික්ෂ් පක්ෂියෙකු සේ මෙම රට ගොදුරු වී ඇති ශාපයට එරෙහිව නැගිටින්නේද යන්න අප හමුවේ ඇති ප්‍රභලම අභියෝගය වේ. උදා වී ඇත්තේ අතිශය තීරණාත්මක හෝරාවකි.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa