Image Credit: Twitter/AzzamAmeen

අධිකරණ ඇමති රවුෆ් හකීම් හැකි වහාම ධූරයෙන් ඉවත් විය යුතුව ඇත. ඒ ගැන කිසිඳු විවාදයක් නොමැත. මෙය සාමාන්‍ය ජනතාවගේ අදහසක් පමණක් නොව මේ වන විට ඔහු සමඟ කතා බහ කරන ඇතැම් පිටරටවල තානාපතිවරුන්ගේ පවා ස්ථාවරය වී ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් අතිශය තීරණාත්මක සාකච්ඡාවක නියලී සිටින අවස්ථාවේදී පවා ඔහුට මෙරට සිටින මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන බොහොමයක් රටවල නියෝජිත තානාපතිවරුන් පෞද්ගලිකව කතා කළ බව ලැබෙන වර්තාවල සඳහන් වේ. සිදුවීම සිතුවාට වඩා දුර දිග ගොස් ඇත. ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සිංහල ජාතිය යළිත් අපකීර්තියකට ලක් කොට ඇත.

කෙසේ වෙතත්, කිසිවෙකුගේ කීමට හෝ ධර්ගා නගරයේ සිදු වූ ආගම්වාදී කෝලාහලය නිසා පමණක් නොව ඔහු ඉවත් විය යුත්තේ තම ඇමතිකම නමට පමණක් ස්ථාපිත කරනු ලැබූ ධූරයෙන් කිසිඳු සාදාරණයක් ඔහුට හෝ රටේ සමස්ථ ජනතාවට සිදු නොවන නිසාය. එසේම ඔහු අදාළ අමාත්‍ය ධූරයට පත් කළ පසු, අධිකරණයට තිබු බලය සහ ස්වාධීනත්වය තවදුරටත් හෑල්ලු වූ ආකාරය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

නමුත්, ජනාධිපති රාජපක්ෂට ඔහු ඇමැතිකමින් ඉවත් වූ පමණින් පාඩුවක් වනෙන් නැත. හකීම් මෙහිදී ඉවත් වීම ඔහුට දේශපාලනික වශයෙන් කළ හැකි මහඟු ක්‍රමෝපායකි. එසේම එය සංකේතීය ඉල්ලා අස්වීමක් වන නමුත් එමඟින් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිටින ස්ථානය යළි තහවුරු කිරීමට මාර්ගය පෑදෙනු ඇත. එපමණක් නොව රටේ යුක්තිය පසිඳලීමේ ඇති ක්‍රියාවලීය විකෘති කොට ඇති ආකාරය ගැන යළිත් තහවුරු වනු ඇත.

රාජපක්ෂ දැනුවත්ව හෝ නොදැනුවත්ව තල්ලු වෙමින් සිටින්නේ ඉල්ලන් කෑමේ පරිප්පු ව්‍යපාරයකටය. ඔහු බොලිවියාවේදී කියූ ආකාරයට විදෙස් බලවේග රට විනාශ කිරීමට කැසකවමින් ඇත. නමුත් සත්‍ය කුමක්ද යන්න ඔහු ඇතුළු රටේ සෑම දෙනාම දනිති.

කෙසේ වෙතත් ඇමති හකීම්, ඉල්ලා අස්වීම සඳහා තීරණය කර ඇත්තේ නම්, එය සිදු විය යුත්තේ බුද්ධිමත් පැහැදිලි කිරීමකින් පසුය. එම පැහැදිලි කිරීම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් කළ යුත්තේය. විශේෂයෙන් විෂය භාර ඇමතිවරයා ලෙස රටේ පවතින නිතීයේ ආධිපත්‍ය බිඳ වැටීම සහ රාජ්‍ය ආයතන දිරා පත් කිරීම හෙතම පැහැදිලි කළ යුතුව ඇත. මේ ආකාරයෙන් රටකට තව දුරටත් ගමන් කළ නොහැකි බව ඔහු කිව යුතුව ඇත.

ඔහුට සහ ඔහුගේ පක්ෂයේ ඉහළ පෙලේ අයවලුන්ට අද රාත්‍රිය වඩාත් දීර්ඝ එකක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම මේ ගෙවීයන මොහොත වන විට ඔහු තම ඉල්ලා අස්වීම සඳහා අවශ්‍ය ලිපිගොනු සකස් කරන්නේනම් එයද පුදුම විය යුතු කාරණයක් නොවේ. නමුත් ඔහු එම තීරණය ගැනීමෙන් කෙසේ හෝ වළක්වාලීම සඳහා බැසිල්, ඩලස් ඇතුළු පිරිස විශාල වෙහෙසක් ගන්නේනම් ඒ ගැනද පුදුම විය යුතු නැත. එසේම ජානාධිපති රාජපක්ෂ පැමිණෙනතුරු සිටින බවට වූ ගුන්ඩුවක් ඔහුට අනුබව කිරීම සඳහා ලබා දීමටද ඉඩ තිබේ. නමුත් ඔහු එම උගුල් වලට අසුවන්නේද තම පක්ෂයේ ගරුත්වය දැන්වත් බේරා ගන්නේද යන්න ඔහු වඩාත් බුද්ධිමත්ව තීරණය කළයුතු කාරණයකි.

කෙසේ වෙතත් මෙම ලිපිය ලියන මොහොත වන විටත් හෙතම හෝ තම පක්ෂය ඉල්ලා අස්වීම පිළිබඳ නිල තීරණයක් ගෙන නැත. රැගෙන තිබුණද එය නිල වශයෙන් තවමත් දැනුම් දී නැත.

නමුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට යළිත් දේශපාලන පක්ෂයක් ලෙස නැගී ඒමට අවස්ථාවක් ලබා දී තිබේ. මෙය තම පක්ෂයේ දේශපාලනයටත් තමන් නියෝජනය කරන ජනතාවටත් මෙන්ම රටේ පවතින අරාජික තත්වයටත් දිය හැකි කදිම පිළිතුරකි. එමඟින් රාජපක්ෂ විසින් මේ වනවිට චිත්‍රණය කොට ඇති තම දේශපාලන සිතියම ක්‍රමයෙන් හීන වී යනු ඇත. අභියෝගයට ලක් වනු ඇත. සිදු විය යුත්තේද එයයි. එසේම ඔහු රටේ සිංහල සහ දෙමළ ජනතාවට තම ස්ථාවරය වඩාත් නිවැරදිව ඉදිරිපත් කළ යුතුව ඇත. රටේ සියලුම දෙනා රැක ගත යුතු ආත්ම ගරුත්වයක් තිබේ. එය ඉස්ලාම් හෝ බෞද්ධ හෝ කුමන නමකින් හැඩ ගැන්වූ අන්තවාදයකට පාවා දිය නොහැකිය.

අලුත්ගම ධර්ගා නගරයේදී සිදු වූ ආකාරයේ සිදු වීම් දේශපාලනික වශයෙන් පෞද්ගලික වාසි සඳහා භාවිතා නොකළ යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් මෙම කාලකන්ණි අපකීර්තිමත් සිදුවීම් පිටුපස සිටින ආණ්ඩුවේ නිලධාරීන් හුදෙකලා කළ හැක්කේ දේශපාලනික වශයෙන් ගන්නා උචිත තීරණ මඟිනි. එම තීරණ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පැහැදිලි කිරීම මඟිනි. මෙය ඔහුට ආණ්ඩුව සමඟ සිටීමෙන් කළ නොහැකිය. මන්ද ඔහුට පමණක් උඩුගම් බලා පිහිනීමට නොහැකි යථාර්තයකි. හෙට සිට ඔහුට එක්කෝ රටේ යුක්තිය පාවාදුන් ඇමතිවරයා විය හැකිය. නැතිනම් රටේ නීතියේ ආධිපත්‍ය මඟින් තහවුරු කරණ යුක්තිය පසිඳලීම නැමති ක්‍රියාවලීය යළි ස්ථාපිත කිරීමට දායක වූ මිනිසා ලෙස කටයුතු ආරම්භ කළ හැකිය. තීරණය ඔහු සහ ඔහුගේ පක්ෂය සතුය.

ඔහු ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් එය රාජපක්ෂට පමණක් නොව ආණ්ඩුවේ ඍජු අනුග්‍රහය ලබන සේනා වලට ඔවුන්ගේ වෙදෙකාවලදී විහිළුවක් වන බව සහ එය හාස්‍යට ලක් කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් ඔහුගේ ඉල්ලා අස්වීම, ඉදිරි මාස කිහිපය තුළ පෙළ ගැසීමට නියමිත දේශපාලන සහ ආර්ථික ප්‍රවණතාවයන් සඳහා අතිශය තීරණාත්මක ලෙස බලපානු ඇත.

ඉන්දීය අගමැති මෝදී, 2009 දී ගුජරාටයේ කළ සංහාරය. හින්දු අන්තවාදීන් මුසාෆරභාත් හී මෑතකදී සිදු කළ අපරාධය ලංකාවේ සිහිනයකිඳු සිදු නොවේවා යන්න එකම ප්‍රාර්ථනය වේ.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa