Ampara, සිංහල, Governance, Life quips

සිවිල් ආරක්ෂක සෙබළු 500 සරත් වීරසේකරගේ ඡන්ද වැඩට

සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් හා අම්පාර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂක සරත් වීරසේකර මහතා අම්පාර දිස්ත්‍රික්කයේ තම මැතිවරණ කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් 500 පමණ යොදාගෙන ඇතැයි විකල්ප වෙත වාර්තාවේ. සරත් වීරසේකර මහතා විසින් පිහිටුවා ඇති මෙත්තා සමාජය නැමැති සංවිධානය මඟින් සිදුකරනු ලබන ශ්‍රමදාන, පිරිසිදු කිරීම් වැනි වැඩ සඳහා මෙම සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් යොදා ගෙන ඇති අතර ඔවුන්ට නිළඇඳුම් ඇදීමද අවශ්‍ය නොවන බව වාර්ථාවේ.
සරත් වීරසේකර මහතා ප්‍රධානියාව සිටියදී සිවිල් ආරක්ෂක සේවය සඳහා පෙර පාසැල් ගුරුවරියන් බඳවා ගන්නා ලද අතර ඔවුන් උදය කාලයේ පෙරපාසැල් ගුරුවරියන් ලෙසත් සවස් කාලයේ සිවිල් ආරක්ෂක රාජකාරීත් ඉටුකරන ලදි. එම පෙරපාසැල් ගුරුවරියන් තම ඡන්ද ව්‍යාපාරය සඳහා යොදවා ඇති වීරසේකර මහතා ඔවුන්ට රාජකාරියක්ද පවරා ඇත. ඒ අනුව සෑම පෙරපාසැල් ගුරුවරියකගේම නිවසට පිට පළාත් වලින් සිවිල් ආරක්ෂක සේවයට අයත් පෙරපාසැල් ගුරුවරියන් 4 දෙනෙකු ගෙන්වන අතර පලාතේ ගුරුවරිය ඔවුන්ට සිය නිවසේ නවතැන් පහසුකම් ලබාදී අහාර පාන ලබාදී දින 7ක් එම ගුරුවරියන් සමඟ තමා අයත් කොට්ඨාශය තුළ වීරසේකර මහතාගේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ගෙන්ගෙට යායුතුය.
මෙයට අමතරව ජාතික සවිය වැඩසටහන යටතේ යුද්ධකාලයේදී පන්සල් වලට ලබාදුන් කැබ්රථ ද වීරසේකර මහතා වෙනුවෙන් පෝස්ටර් ඇලවීම සඳහා යොදගෙන ඇති බවද වාර්ථාවේ.