අවසානය සාධාරණීකරණ කිරීම සඳහා යමක් තිබේනම් ඒ සඳහා වූ ක්‍රමෝපායද අවසානයේදී සාධාරණීකරණය වන්නේය – ලියෝන් ට්‍රොස්කි ( දෙයාර් මොරාල්ස් ඇන්ඩ් අවර්ස් )

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි තම පිවිතුරු හෙටක් නමැති වාග් මාලාව විප්ලවීය ලියවිල්ලක් ලෙස සලකමින් ලංකාවේ මීළඟ දේශපාලන වෙනස ඇති කිරීම සඳහා වඩාත් උද්‍යෝගයෙන් කටයුතු කරති. උන් වහන්සේට සහ උන් වහන්සේ වටා සිටින පිරිසට අනුව පිවිතුරු හෙටක් යනු ඇති වී තිබෙන ගැටලු විසඳීම සඳහා වූ එකම වැඩපිළිවෙල වේ. ඊට සහයෝගය දක්වන ඕනෑම අයෙකු සමඟ අදාළ හිමි මෙන්ම ජාතික හෙළ උරුමය නියෝජනය කරණ අයවලුන් කටයුතු කිරීමට කැමති බව කියති.

උන් වහන්සේට තමන් ඇතුළුව තම පක්ෂය කළ අපකීර්තිමත් දේශපාලනය තේරුම් ගැනීම සඳහා වසර හතරකට වැඩි කාලයක් ගත වූහ. එම කාලය තුළදී රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ වරිගය කළ සියලුම කටයුතු සාදාරනීකරණය කිරීම තම පක්ෂය සඳහා කළ හැකි උපරිමය කළහ. තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යපෘති පවා ආරම්භ කරනු ලැබුවේ හෙළ උරුමයේ ස්වාමීන් වහන්සේලා විසින් නොව රාජපක්ෂලා විසිනි.

තම ධර්ම රාජ්‍යයේ මුල, මැද මෙන්ම අග තීරණය කරනු ලැබුවේ රාජපක්ෂලා විසිනි. ධර්ම රාජ්‍ය තවදුරටත් හෙළ උරුමය සතු නොවන බව තේරුම්ගත් පසු ඔවුහු පිවිතුරු හෙටක් වෙත තල්ලු වූහ. හාස්‍ය ජනක කාරණය වනාහී පිවිතුරු හෙට සොයා යන්නේ රාජපක්ෂගේ ගර්භාෂය තුළ සිටිමින් ඉන් පෝෂණය ලබමිනි. සැබවින්ම මෙය දේශපාලන ව්‍යාපෘතියකට වඩා පස්දෙනෙකුට අඩු පිරිසකගේ පෞද්ගලික එදිරිවාදීකමකි.

තමන්ට අවශ්‍ය අවධානය සහ සැලකිල්ල ක්‍රමයෙන් හීන වන විට තමන් මුහුණ දී සිටින පෞද්ගලික ආරවුල සහ කොන්වීම රටේ ගැටලුවක් ලෙස හුවා දැක්වීම රාජපක්ෂ විසින් බිහි කළ බොහෝමයක් “දේශ හිතෛශීන්ගේ” පුරුද්ද වී තිබේ. එසේම; තම පෞද්ගලික ආරවුල රටේ ගැටලුවක් ලෙස විග්‍රහ කරමින් ඊට අවශ්‍ය හේතුඵලවාදී මුහුණක් ලබා දීම සඳහා පොදු ප්‍රශ්න තම රචානාවලට ඇතුලත් කිරීම බොහොමයක් අවස්ථාවාදීන්ගේ මුඛ්‍ය ක්‍රමෝපාය වන්නේය. එවිට රටේ ගැටලුවල එකම ගැලවුම් කාරයා ලෙස වෙස් ගෙන නැටීම ආරම්භ කළ හැකිය. අනෙකා රැවටිය හැකිය.

මෙය එක් පසෙකින්, තම වියෝව සංසිදුවා ගෙන රටේ ප්‍රධාන පෙළේ මාධ්‍යන්ගේ අවධානය යොමු කර ගැනීම සඳහා පහසු වේ. අනෙක් පසින්, රට තුළ ඇති වීමට හැකි සැබෑ විරෝධයේ ප්‍රභාලබව තනුක කළ හැකිය. එසේම මෙමඟින් තමන් ඍජුව දායකත්වය දුන් ආඥාදාකත්වය සහ එය විසින් සමස්ථ රටට කළ හානියේ වගකීමෙන් නිදහස් වී තම දෑත් පවිත්‍ර බව කියා පෑමට හැකිය.

මීට පෙරද සඳහන් කළ ආකාරයෙන් ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කොට ඇති යෝජනා අළුත් දෑ නොවේ. එසේම එය රටේ සමස්ත ගැටලු ගැන ගැඹුරින් සිතා බලමින් සිදු කළ සැබෑ දේශපාලන රචනාවක් නොවේ. එය විසින් සිදු කොට ඇත්තේ ප්‍රභල සහ බුද්ධිමත් විරෝධයක් මඟින් මහත් ප්‍රවේශමෙන් කළ යුතු රචනාවක් තම දෑතට ගෙන රටේ මීළඟ දේශපාලන පියවර තවදුරටත් ව්‍යාකූල කිරීමය. පාවෙමින් පවතින මාතෘකා කිහිපයක් ගෙන ඒවායේ මතුපිට අතගෑම දේශපාලන රචනාවක් ලෙස සැලකීම රටේ බුද්ධිමය පරිහානිය සහ ව්‍යකූලබව තේරුම් ගැනීම සඳහා ප්‍රමාණවත්ය.

තම විරෝධය සැබෑ එකක් නම් එය පළමුව ප්‍රකාශ කළ යුත්තේ, තමන් පෝෂණය කරණ සහ තමන් හුළං ගැසූ අඥාදාකයාගෙන් ඉවත් වීමෙනි. ඒ වෙනුවට, ලෙමන් පෆ් සමඟ මාරාන්තික උපවාසය කිරීම, කණ පලා ගැනීමෙන් පසු මහකොමසාරිස් ධූරය වෙනුවට ජනාධිපති උපදේශක වීමේ මුදලාලිලා රාජ්‍ය ධූතයින් වීමෙන් ඇතිවන විකාර හා සමාන පන්නයේ අඹු -සැමි යුවලගේ විරෝධයක් පෙන්වීමම පමණක් මෙහිදී දැක ගැනීමට හැකිය.

ඇතැම් දේශපාලන විචාරකයින්ට අනුව, ජනාධිපති රාජපක්ෂ, රතන හිමිගේ සූත්‍රයට බිය වී සිටින්නේය. උන් වහන්සේගේ බසෙහි ඇති තියුණු බව රාජපක්ෂ පරම්පාරව සසල කොට ඇත්තේලු. නමුත් මෙය සැබෑ ලෝකය තුළ තවත් එක ව්‍යාජයකට එහා ගිය දෙයක් පමණි. එනම්, රාජපක්ෂට වඩා රතන හිමි ඇතුළු ජාතික හෙළ උරුමයේ සගයින් බිය වී සිටින්නේ තම තමන්ටය. මන්ද රාජපක්ෂගෙන් ඉවත් වූ පසු ඔවුන්ට කළ හැක්කේ දින කිහිපයක දේශපාලනයක් මිස; ගිල ගැනීමට හැකි හදිසි සිදුවීමක් (ගංගොඩවිල සෝම හිම අපවත් වීම හා සමාන මට්ටමේ) සිදු නොවුන හොත් ලොම් නැති බැටළුවන් බවට පත් වී සිටින මෙරට වමේ දේශපාලකයින් හා සමාන තත්වකට මුහුණ දීමටය.

ජාතික හෙළ උරුමය බිහි වූ සහ එහි දශකයට ආසන්න දේශපාලනය තීරණය වූ මුලික කාරණා මේ වන විට අහෝසී වී ඇත. මේ නිසා එම පක්ෂයට නව සටන් පාඨ සොයා ගැනීම අවශ්‍ය වේ. නමුත් ඊට අදාළ සියලුම සටන් පාඨ රාජපක්ෂ පරිපාලනය විසින් තම බූදලයක් බවට පත් කොට ඇත. මේ නිසා රාජපක්ෂගෙන් තොරව, රතන හිමිට හෝ උන්වහන්සේගේ සගයෙකුට අළුත් පන්නයේ “දේශ හිතෛශියෙකු” “ ජාති මාමකයෙකු” බිහි කළ නොහැකිය.

එය වෙනස් කිරීමටනම් රතන හිමිට මෙන්ම එම පක්ෂයේ අයවලුන්ට ඇති එකම විකල්ප මාර්ගය ඇත්තේ දෙමළ සන්ධානය සමඟ දේශපාලන සම්මුතියකට ගොස් පෙර මුලාව තේරුම්ගෙන යතාර්ථය දැකීමය. එවිට තම පක්ෂය මීළඟ මැතිවරණයේදී රාජපක්ෂ පාරාජය කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලකට තල්ලු විය හැකිය.

නමුත් තම යෝජනා සරලව හෝ පිළිගෙන මීළඟ මැතිවරණයේදීද, රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වේදිකාවේ අසුන් ගැනීම මිස වෙනත් සැබෑ වුමනාවක් මෙම උරුමක්කාරයින්ට නැතිබව කලින්ම අවබෝධ කර ගැනීම පශ්චාත්තාපයට වඩා වැදගත් වේ.

නිලන්ත ඉලංගමුවnilantha-profile | Nilantha Ilangamuwa