ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ දිනවා දිගටම රටේ සම්පත් ගසා කමින් බලයේ සිටින්නට සියලූ වැර යොදා කටයුතු කළ අය දැන් අංශක 80ක් කරකැවී මෛතී‍්‍ර පාලනයට සහාය දෙන්නට එන්නේ හොඳකට නොවේ. එසේ එන්නන් අතර අවංකව තම වරද පිළිගෙන නිවැරදි වන්නට කැමති ටික දෙනෙක් සිටිනවා විය හැකි නමුත් බහුතරයක් අන්ත අවස්ථාවාදීන් බව රට දනී. විශේෂයෙන් ඉහළ ස්ථරය එන්නේ තවත් කුමන්ත‍්‍රණයක් අටවන්නටය.

ශී‍්‍ර ලංකාවේ මෙතෙක් පැවති ඡන්දවලින් වැඩියෙන් ම මැතිවරණ නීති උල්ලංඝණය කළ ඡන්දය පසුවූ ජනාධිපතිවරණය බව රටේ ජනයා පමණක් නොව මුළු ලෝකය ම දැක ගත්තේය. ඡන්දය ප‍්‍රකාශයට පත් කරන්නට මාස කිහිපයක් තිබියදී පටන්ගත් රාජපක්ෂලාගේ ප‍්‍රචාරයට වැය කළ මුදල හරිහැටි ගණන් බැලූවහොත් එය බිලියන දහස් ගණනක් වනු ඇත. රාජ්‍ය දේපළ රාජපක්ෂ වෙනුවෙන් යෙදවුණේ රටේ නීති බල්ලන්ට දමමිනි. ප‍්‍රතිවාදී අපේක්ෂකයාට රැස්වීමක් තබා ගන්නට ඉඩ නොදෙමින්, වේදිකා ගිනිතබමින්, වෙඩිතබමින්, ආධාරකරුවන්ට පහර දෙමින් භීෂණය රටපුරා පතුරවමින් කි‍්‍රයා කළ හැටි රටට අමතක වෙන්නට තරම් කාලයක් ගතවී නැත. ‘‘මරල හරි ගත්තෙ නැත්තෙ මොකෝ?’’ යනුවෙන් පරාජය වී මැදමුලනට ගිය මහින්දගෙන් ඔහුගේ ආධාරකරුවෙකු දෙවරක් කෑ ගසා අසනු වීඩියෝ ගත වී තිබිණ. නායකයා තම ආධාරකරුවන් තුළ ගොඩනගා තිබුණු මානසිකත්වය එබඳුය. මෛතී‍්‍රගේ කහවත්ත රැස්වීමට ගල්ගැසීමේ සිද්ධීය ගැන සඳහන් කරමින් මහින්ද රාජපක්ෂ තම රැස්වීමක කතාකළ අන්දම මාධ්‍ය ඔස්සේ රටට දැකගන්නට ලැබිණ. ඔහු එහිදී කීවේ ‘අපේ එකෙක් ගැහුවා නම් හරියටම වදින්න ගහනවා’ කියාය. එ් කියන්නේ ප‍්‍රතිවාදී පිළට පහරදීම ඔහු අනුමත කරන බව නොවේද? දුප්පත් ඡුන්දදායකයන්ට භාණ්ඩවලින් අල්ලස් දීම කොතෙක් නිර්ලජ්ජිතව කෙරුණේද යත් අවසානයේදී තම ඡන්ද ලකුණ යෙදූ සිල්රෙදි පවා බෙදුවේය. රාජ්‍ය මාධ්‍ය සේ ම තම ග‍්‍රහණයට ගෙන තිබූ රූපවාහිනී, ගුවන් විදුලි, පත්තර ආදිය යොදාගනිමින් රටබෙදන හොරගිවිසුම් කතා, ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කතා ගැන මැවූ බොරුවල නිමක් නොවීය. සැබෑ ලෙස නිදහස් සාධාරණ පැතිවරණයක් පැවැත්වුණේ නම් මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයගන්නේ ලක්ෂ විසිපහකටත් වැඩි වැඩි ඡුන්ද ප‍්‍රමාණයකිනි.

ඉහත කී සියලූ ජඩ උත්සාහයන් පරාජය කර යුක්ති ගරුක පාලනයක් ඇතිකර ගන්නට රටේ ජනයාට අවබෝධයත් ශක්තියත් ලැබුණේ කොහෙන්ද? අප මතක තබා ගත යුත්තේ එ් අවබෝධය, එ් ශක්තිය ජනයාට ලැබුණේ අදෘශ්‍යමාන බලවේගයක පිහිටෙන් හෝ වාසනාව හදිසියේ පෑදීමෙන් නොවන බවයි. මාදුළුවාවේ සෝභිත හිමි නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය, ජනතා විමුක්ති පෙරමුණ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, නීතිඥ සංගමය, ‘පුරවැසි බලය’ නමින් කි‍්‍රයාත්මක වූ කලාකරුවන් සහ සමහර වෘත්තීය සමිති ද වසර දෙකතුනක් තිස්සේ ගෙනගිය ජනයා දැනුවත් කිරීමේ උද්ඝෝෂණ ද මාස දෙකතුනකට පෙර මහින්දගෙන් වෙන්වූ ජාතික හෙළ උරුමයේ ප‍්‍රශංසනීය කාර්ය භාරයද මේ ජයග‍්‍රහණයට අවශ්‍ය අවබෝධය සහ ධෛරයය සැපයූ ආලෝක ධාරාව බව සටහන් කර තැබීම අත්‍යවශ්‍යය. රාජපක්ෂ පවුල් පාලනයෙන් ¥ෂණය නොවූ, සංවර, සදාචාරවත් නායකයකු පොදු අපේක්ෂකයා ලෙස එළියට එන්නේ එ් ආලෝක ධාරාව ඔස්සේය. චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ වින්නඹුකම මෙහිදී අවතක්සේරු නොකරන බවද කිව යුතුව තිබේ.

දැන් සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද?

රාජපක්ෂ පාලනය තුළ මේ පුංචි රටේ මහජන මුදල් හොරකම් කර ඇති ප‍්‍රමාණය දැන් හෙළිවන විට ඇඟ කිළිපොලා නොයන කෙනෙක් ඇත්ද? අද තෝරා බේරා ගැනීම අපහසු වන්නේ හොරු කවුද යන්න නොව රාජපක්ෂගේ පැත්තේ සිටියවුන්ගෙන් හොරු නොවන්නේ කවුද යන්නය.

අවසාන මොහොතේත් බලයේ රැඳී ඉන්නට තම සහෝදරයන් සමග එකතු වී මහින්ද රාජපක්ෂ දැරූ කුමන්ත‍්‍රණකාරී උත්සාහයක් ගැන ද දැන් රට හමුවේ කියැවෙයි. සියල්ල වැරදී පරාජය බාරගන්නට බලකෙරුණු විට ඔහු සහ ඔහුගේ හෙන්චයියන් කළේ කුමක්ද? මෛතී‍්‍ර දිනුවේ ඊළාම් ඡන්දවලින් යයි කියමින් වසර දහයක් තම බලය වෙනුවෙන් යොදාගත් ජාතිවාදය ම ඇවිස්සීමයි. රාජපක්ෂලා නැති තැන තමන්ට යන එන මං නැතිවන බව දන්නා විමල් වීරවංශ සහ ගම්මන්පිළ කළේ මහින්ද කෙළින්කර ඔහුගේ නායකත්වයෙන් මහමැතිවරණයට එන බවට වහසි බස් දෙඞීමයි. අනුර පි‍්‍රයදර්ශන යාපා සහ නිමල් සිරිපාල ද සිටියේ එතැනය. ඔවුන් එක්වී මහින්ද රාජපක්ෂ මැදමුලනින් කොළඹට ගෙනවුත් පුවත්පත් සාකච්ඡා පවත්වන විට වාසුදේව තිස්ස විතාරණ එ් පිළිකන්නේ සිටිනු දකින්නට ලැබිණ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අයිතිය වෙනුවෙන් ඔවුන් ඔළුගෙඩි ගණන් කර පෙන්වූහ.

එ් උත්සාහයන්ද වැරදී ගිය තැන දැන් මහින්ද මහා දානපතියෙකුගේ වෙස් ගන්වා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වය මෛතී‍්‍රට පූජා කරන්නට පෙරහර සකස් කරගෙන එයි. තව සතියක් යන විට කිසිවක් ඉතිරි නොවන බව දන්නා පිරිස පෙරහරේ කසකාරයයන් වී සිටිති. බඩපිණුම්කාරයෝද බම්මන්නෝද තම තමන්ගේ ශිල්ප දක්වන්නට තරග වැදී තිටිති.

බැලූ බැල්මට හාස්‍ය රංගනයක් ලෙස පෙනුනද මෙය මර උගුලකි. පක්ෂ නායකත්වය මෛති‍්‍රට පවරා පක්ෂයේ දියවීම වළක්වා ගෙන පාර්ලිමේන්තුවේ බහුතරය රැකගෙන අවස්ථාව බලා රනිල් අගමැතිකමින් නෙරපා එතැනට රාජපක්ෂ හෝ ඔහුගේ අන්තේවාසිකයකු පත්කර ගැනීම මොවුන්ගේ උපායයි. එ් මගින් මෛතී‍්‍ර පාලනය බිඳ දමා හෝ දුර්වලකර දූෂිතයන් රැුකගැනීම ප‍්‍රධාන අපේක්ෂාව වන අතර පැවති ජනතාද්‍රෝහී පාලනය වෙනත් මුහුණුවරකින් ගෙන යාමටය මේ සැලසුම් කරන්නේ.

පොරොන්දු පරිදි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වන්නේය. එය ලබා ගත හැක්කේ රාජපක්ෂලාගේ පැත්තෙන් වැඩි මන්තී‍්‍ර පිරිසක් මේ පැත්තට ගැනීමෙනි. එ් අතර දැන් මේ රාජපක්ෂ ප‍්‍රමුඛ යටිකූට්ටුකාරයින් අටවන උගුලෙන් ගැලවීම ද අවශ්‍යය. එ් අතර දූෂිතයන් නීතියේ රැුහැනට අල්ලා දඬුවම් දීම ද කළ යුතු වෙයි. මේ උභතෝකෝටිකයෙන් ගැලවී ලැබූ ජනතා ජය තහවුරු කර රට ගොඩ ගන්නට වත්මන් ජනාධිපතිවරයාට ශක්තිය ලබාදීම රටට හිතැති කාගේත් වගකීමය.

එ් සඳහා මෙහි ආරම්භයේදී සඳහන් කළ බලවේග නව ශක්තියකින් පෙළ ගැසිය යුතුය. එ සේ ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළ යන්තම් හෝ අවංක මන්තී‍්‍ර පිරිසක් වෙත් නම් තම පක්ෂයේ ඉහළින් අටවන මේ උගුලට තේරුම් ගනිමින් ප‍්‍රඥවන්ත ලෙස කි‍්‍රයා කළ යුතු වෙයි.

Jayathilaka-kammallaweeraජයතිලක කම්මැල්ලවීර | Jayathilaka Kammalaweera