සිංහල, Colombo, Democracy, Election, Features, Governance, Media

විමල් වීරවංශගේ ‛පෙනෙන අයුරින් වැසීමේ කලාව’…


මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු පෙරේදා(05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ නමුත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල යම් මට්ටමකින් ප්‍රචාරක කටයුතු සිදු කෙරුණු බව වාර්තා විය. මේ පිළිබදව ඇතැම් නිරීක්ෂක සංවිධානත් වාර්තා කර තිබිණි.

කෙසේ නමුත් ඊයේ වන විට කොළඹ නගරයේත් ඇතැම් ස්ථානවල ප්‍රචාරක පෝස්ටර් සහ පුවරු දැකගත හැකිවිය.

විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ කාර්යාලයක් පසුගිය දා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපට ඇති ‛මෑස් ෆාමසිය’ අසල පවත්වාගෙන ගියේය. නමුත් ඊයේ වන විට එම කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කර තිබූ නමුත් එහි සවිකර තිබූ, විමල් වීරවංශ මහතාගේ ඡන්ද ලකුණ සහ මනාප අංකය ඇතුලත් විශාල පුවරුව තවමත් එහි තිබෙනු දක්නට ඇත.(ඉහතින් දැක්වෙන්නේ එහි ඡායාරූපයයි.)

නමුත් එම පුවරුව නොගලවා එහි ඡන්ද ලකුණ සහ මනාප අංකය මදක් වැසෙන සේ ඉටිරෙදි කැබලි දෙකකින් එය ආවරණය කර ඇත. මෙම වසා තැබීමෙන් ඔහුගේ ඡන්ද ලකුණත්, මනාප අංකයත් ඕනෑම අයෙකුට පැහැදිලිව දර්ශනය වේ.

එම පුවරුවේ ‛බුලත් කොලය, කුඩා ඉටිරෙදි කැබැල්ලකින් වැසූවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය යන්න හොඳින් ප්‍රදර්ශනය වේ. තව ද අංක 20හි, 2යන ඉලක්කම කුඩා ඉටිරෙදි කැබැල්කින් වැසුවත් එහි යම් කොටස් දර්ශනය වීමෙන් ‛2’ යැයි ඕනෑම දෑස් ඇති අයෙකුට හඳුනා ගැනීමට හැකි වන අතර ‛0’ යන්න වසා නොමැති නිසා ඔහුගේ මනාම අංකය වඩා හොඳින් හඳුනාගැනීමට හැකිවේ. මෙය එක්තරා අන්දමකින් නීතිය රැවටීමට දරණ උත්සහයක් වන්නා සේම මැතිවරණ නීතිය අමු අමුවේම උල්ලංඝනය කිරීමකි.

කෙසේ වෙතත් ‛රටට එකක්’, ‛යුතුකමට මනාපයක්’ යනුවෙන් තමන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරනු ලැබු විමල් වීරවංශ මහතා රටේ නීතිය සමඟ මෙසේ විහිඑ කිරීම ‛රටට එකක්ම’ නොවන්නේද?. විමල් වීරවංශ නැමති අපේක්ෂකයා තමන්ගේ මෙම ප්‍රචාරක පුවරු නොගලවා ඒවා ‛පෙනෙන අයුරින්’ වසා තැබීම මැතිවරණ නීතිය සැහැල්ලුවට ලක් කිරීමට දරණ උත්සහයක් මෙන්ම රටේ අනිකුත් අපේකෂකයන්ට දෙනුලබන වැරදී පුර්වාදර්ශයක් ද නොවන්නේ ද?.