රටක ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් භූමිකාවක් ස්වාධීන මහජනසේවා විද්‍යුත්(ගුවන්විදුලි/රූපවාහිනී) මාධ්‍ය(public service broadcasting) මගින් ඉටුවේ. මුළුමනින්ම වෙළඳපොළ මත පදනම්ව විකාශනය වන වාණිජ විද්‍යුත් මාධ්‍ය වලින් ඉටු නොවන අන්දමට මහජන සේවා විද්‍යුත් මාධ්‍යවලට ඉහළ ගුණාත්මක භාවයකින් යුතු විවිධාකාර විශද වැඩසටහන් වල ප්‍ර‍භවයක් විය හැකිය. සියල්ලන්ගේ මූලික අයිතිවාසිකම් මෙන්ම සුළුජන කොටස්වල අභිලාෂයන් ගරුකරමින් සියල්ලන් අන්තර්ග්‍ර‍ණය වන සමාජ වටිනාකම් වලින් සමන්විත සංයුක්ත ජාතික අනන්‍යතාවයක් ගොඩනැගීමේ ලා මහජනසේවා විද්‍යුත් මාධ්‍යයේ දායකත්වය අතිශයින් වැදගත්ය. මහජනසේවා විද්‍යුත් මාධ්‍ය යනු ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී රටක ජාතික අනන්‍යයතාවයේ කැඩපතයි. සිය විචක්ෂණ හා ප්‍ර‍තිභාපූර්ණ වැඩසටහන් නිසා ගුණාත්මක බවින් ඉහළ වැඩසටහන් නිපදවීමට වාණිජසේවා විද්‍යුත් මාධ්‍ය තරඟකාරීව පෙළඹවීමට ද හොඳ මහජනසේවා විද්‍යුත් මාධ්‍යකට හැකිය.

මහජන වරම

මහජනසේවා විද්‍යුත්මාධ්‍ය මහජන අභිලාෂය(public interest) ඉටු කරන්නේ වාණිජ විද්‍යුත් මාධ්‍ය විසින් සපයනු ලබන වැඩසටහන් සේවා වඩා විශද ලෙස අනුපූරණය කිරීමෙනි. සමස්තයක් වශයෙන් ගත්විට රටක මාධ්‍යක්ෂේත්‍ර‍ය තුළින් ඉටුවිය යුතු සේවය එමගින් වඩා ඵලදායක ලෙස පරිපූර්ණවේ. මහජන අභිලාෂය ඉහළින් ඉටුවන අන්දමට හා මහජනතාවට වග වන පරිදි සිය කටයුතු පවත්වාගෙන යාම තහවුරු කරනු පිණිස නීතිය මගින්ම මහජනසේවා විද්‍යුත් මාධ්‍යට නිශ්චිත මහජන වරමක්(mandate) ලබාදිය යුතුය. මහජනසේවා ජනමාධ්‍යවේදීන්ගේ සංලේඛ්‍ය නිදහස සහතික(editorial independence) කරන අතරම මේ වරම තුළ මහජන සේවා ජනමාධ්‍යයෙන් බලාපොරොත්තුවන කාර්යභාරය සවිස්තරව දැක්විය යුතුය.

මේ මහජන වරමට අනුව දේශීය හා විදේශීය ප්‍ර‍වෘත්ති සහ පුවත් පසුබිම හා ආශ්‍රිත කාලීන වැඩසටහන් විස්තීර්ණව, නිරවද්‍යව හා සාධාරණව ඉදිරිපත් කිරීම මහජනසේවා විද්‍යුත් මාධ්‍යයේ ප්‍ර‍ධාන කටයුත්තකි. සහාභාගික ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සහතික වන අන්දමට ජනසංනිරීක්ෂණය ඉටු කරමින් දේශපාලන ආර්ථික, සමාජයීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳව මහජනතාවගේ ඥාන පථය පුළුල් කෙරෙන විශද වැඩසටහන් ඉදිරිපත් කිරීම, අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍ර‍ගමනයට ඉවහල් වන වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ නිර්මාණාත්මක ශ්‍ර‍ව්‍ය දෘෂ්‍ය කලාව හා රසවින්දනය පෝෂණය කිරීම ද මේ මහජන වරමට අයත්ය, මහජනසේවා විද්‍යුත්මාධ්‍ය සඳහා පිරිවැය වෙන්කෙරෙන්නේ මහජන අරමුදල්වලිනි. එබැවින් සුළුජන කොටස් ද ඇතුළුව සියලු ජනකොටස් අන්තර්ග්‍ර‍හණය වන අන්දමින් සහ රටෙහි සියළු පෙදෙස් ආවරණය වන අන්දමින් උපරිම ග්‍රාහක ප්‍ර‍මාණයකට සේවා සැලැසීම මහජනසේවා විද්‍යුත් මාධ්‍යයේ වගකීමයි.

ස්වාධීනත්වය

ආණ්ඩුවේ අත්තනෝමතික බලපෑම් වලින් ආරක්ෂාකරනු නොලැබුවහොත් මහජනසේවා විද්‍යුත් මාධ්‍යට සිය මහජනසේවා වරම නිසිලෙස ඉටුකිරීමට නොහැකිය. ඝානාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකින් ඒ බව මෙසේ පැහැදිලි කර ඇත.

“රාජ්‍ය මාධ්‍ය යනු ජාතික සම්පතකි. එය සමස්ත ප්‍ර‍ජාවටම හිමිදෙයක් මිස එහි වියුක්තියක් වශයෙන් සැලකෙන රජයට හෝ බලයේ සිටින ආණ්ඩුවට හෝ දේශපාලන පක්ෂයට හෝ අයත් දෙයක් නොවේ. එවැනි ජාතික සම්පතක් බලය සඳහා තරඟකරන එකපක්ෂයක හෝ පක්ෂ සංධානයක හොරනෑවක් වීම ප්‍රජාතන්ත්‍ර‍වාදය අපහරණය කිරීමකි.”

භාෂණයේ නිදහස පිළිබඳ අනතර්ජාතික ප්‍ර‍තිඥා ප්‍ර‍භව කොටද මහජනසේවා ජනමාධ්‍යයක තිබිය යුතු ස්වාධීනත්වය පැන නැගෙන බව පහත දැක්වෙන එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් කමිටුවේ 34 වෙනි පොදු නිරීක්ෂණයෙන් තහවුරුවේ.

“මහජනසේවා විද්‍යුත් මාධ්‍ය ස්වාධීනව කටයුතු කරන බවට සාමාජික රාජ්‍ය වග බලා ගත යුතුය. මේ අනුව රාජ්‍යයේ වගකීම වන්නේ ඒවායේ ස්වාධීනත්වය සහ සංලේඛ්‍ය නිදහස(editorial independence) සහතික කිරීමයි. එමෙන්ම ඒවාට මහජන අරමුදල් සැපයිය යුත්තේ මහජනසේවා විද්‍යුත් මාධ්‍යයේ නිදහසට හානි නොවන අන්දමටයි.”

යුනෙස්කෝව විසින් සාකච්ඡා කොට සම්මත කරගත් අනත්ර්ජාතික ප්‍ර‍කාශ කිහිපයකම ස්වාධීන මහජනසේවා ජනමාධ්‍යයේ වැදගත්කම අවධාරණය කෙරේ. එමෙන්ම භාෂණයේ නිදහස සම්බන්ධ සුවිශේෂ අන්තර්ජාතික වරම පිළිබඳ 2010 ප්‍ර‍කාශනය මහජන අභිලාෂයන් සඳහා සේවය කරන ස්වාධීන ආයතන වෙනුවට මහජනසේවා විද්‍යුත් මාධ්‍ය ආණ්ඩුවේ හොරනෑවන් මෙන් කටයුතු කිරීම පිණිස දේශපාලනික බලපෑම් වලට හා පාලනයන්ට නතු කිරීමට දරන වෑයම් ගැන කනස්සල්ල පළ කළේය.

ප්‍රායෝගික වශයෙන් ගත් විට ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරියක් ඇතිකරන ආකාරටම මහජනසේවා ජනමාධ්‍යයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ද කළ හැකිය. සුවිශේෂ වශයෙන් වැදගත් වන්නේ මහජනසේවා විද්‍යුත් ජනමාධ්‍ය ආයතන අධීක්ෂණය කරන පාලක මඩුල්ල ආණ්ඩුවෙන් ස්වාධීන වීම සහ එම ස්වාධීනත්වය තහවුරු වන පරිදි ඒ පාලක මඩුල්ලේ සාමාජිකයන් පත් කිරීමයි.

සංලේඛ්‍ය නිදහස(editorial independence) යනුවෙන් හඳුන්වන තවත් ආකාරයක රැකවරණයක් මහජනසේවා විද්‍යුත් ජනමාධ්‍යයේ ස්වාධීනත්වය සඳහා අතිශයින්ම වැදගත්වේ. මෙයින් අදහස් වන්නේ වැඩසටහන් වල අන්තර්ගතය සම්බන්ධයෙන් තීරණ ගන්නේ ආයතනයේ කටයුතු අධීක්ෂණය කරන පාලක මඩුල්ල නොව වැඩසටහන් නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ නියුතු වෘත්තීය ජනමාධ්‍යවේදීන් විසින් බවයි. මෙය නිසිලෙස ඉටු කිරීමට නම් අධීක්ෂණ පාලක මඩුල්ලේ වගකීම ආයතනික යහපාලනයටත් වැඩසටහන් කළමනාකරුවන්ගේ හා සංස්කාරකවරුන්ගේ වගකීම මහජනසේවා වරමට අනුව එදිනෙදා වැඩසටහන් පවරා සකස් කිරීමත් වශයෙන් එකිනෙකින් වෙන්ව තිබිය යුතුය. ආයතනයේ අභිමතාර්ථ අනුව කටයුතු ඉටුවන බවට මහජනතාවට හා රජයට වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමේ කටයුත්ත අධීක්ෂණ පාලන මණ්ඩලයට පැවරෙන අතර ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සේවයේ නියුතු වෘත්තිකයන්ට පැවරේ. මෙය ද්විත්වාකාරයක රැකවරණයක් වන්නේ වැඩසටහන් කටයුතු සම්බන්ධයෙන් අනිසි බලපෑම් කිරීමට තැත්කරන්නන්ට අධීක්ෂණ පාලක මණ්ඩලය හා සංස්කාරක මණඩලය යන ව්‍යුහ දෙකම හරහා යෑමට සිදුවන බැවිනි.

පිරිවැය

වාණිජ විද්‍යුත්මාධ්‍ය වලින් බලාපොරොත්තුවන සේවාව අභිබවා යන ඉහළ ගුණාත්මක සේවාවක් සැපයීමට මහජනසේවා ජනමාධ්‍ය වල වියහියදම් දැරීම පිණිස කිසියම් ආකාරයකින් මහජන අරමුදල් ලබාගැනීම සහතික කිරීම මහජනසේවා විද්‍යුත් මාධ්‍යයේ පැවැත්මට ඉතා වැදගත්ය. එමෙන්ම ඒ අරමුදුල් ලබා දීම ආණ්ඩුවේ පාලනයෙන් බැහැර කිරීම ද මහජනසේවා විද්‍යුත් මාධ්‍යයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් අතිශයින් වැදගත්ය.

ආණ්ඩුවේ අයවැයෙන් මුදුල් වෙන් කරනවාට වඩා මේ සම්බන්ධයෙන් වඩා යහපත් ක්‍ර‍මය වන්නේ ගුවන් විදුලි රූපවාහිනී වාර්ෂික බලපත්‍ර‍ හෝ වෙනත් ඒ හා සමාන ක්‍ර‍මයකින් ප්‍ර‍මාණවත් නිශ්චිත ආදායමක් ලබාගැනීමයි. ඇතැම් රටවල ගුවන්විදුලි යන්ත්‍ර හා/හෝ රූපවාහිනී යන්ත්‍ර‍ ඇති හැම නිවසකින්ම අය කෙරෙන බලපත්‍ර‍ ගාස්තුවකින් මේ ආදායම ලැබේ. එකතු කිරීම පහසු කරනු පිණිස මේ බලපත්‍ර‍ ගාස්තුව මාසික විදුලි බිලට කොටස් වශයෙන් එකතු කොට අය කළ හැකිය. තායිලන්තය තම මහජනසේවා විද්‍යුත් මාධ්‍යයේ පිරිවැය ලබා දෙන්නේ ඊට වඩා වෙනස් ක්‍ර‍මයකටය. එනම් දුම්වැටි සහ මත්පැන්වලට අමතර බද්දක් එක් කිරීමෙනි.

තවත් රටවල මහජන අරමුදල් සහ වාණිජ ප්‍ර‍චාර ආදායම යන ක්‍ර‍ම දෙකෙන්ම මහජනසේවා විද්‍යුත් මාධ්‍ය පිරිවැය උපයා ගැනේ. යුරෝපීය කවුන්සලයේ පාර්ලිමේන්තු සභාව විසින් සම්මත කරගත් අංක 1878(2009) දරණ යෝජනාවෙන් මහජනසේවා විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් පහත සඳහන් අරමුදල් ක්‍ර‍ම අනුදැන තිබේ.

“මහජනසේවා විද්‍යුත් මාධ්‍ය සඳහා අවශ්‍ය පිරිවැය සපයා ගැනීමට ග්‍රාහක බලපත්‍ර‍ ගාස්තු, සුවිශේෂ බදු, රාජ්‍ය අනුග්‍ර‍හ අරමුදල්, දායක මුදල්, වෙළඳ දැන්වීම් සහ වැඩසටහන් අනුග්‍ර‍හ ගාස්තු, ඉල්ලුම අනුව සැපයෙන වැඩසටහන් සඳහා අයකිරීම්, ප්‍ර‍කාශන, වීඩියෝ හා චිත්‍ර‍පට ආදිය අලෙවියෙන් ලැබෙන ආදායම සහ සංරක්ෂිත වැඩසටහන් වල උපුටන භාවිතා කිරීමට අයකරන ගාස්තු වැනි ආදායම් මාර්ග යොදාගත හැකිය.“

වඩා විස්තීර්ණ සේවාවක් ලබාදීමට අවශ්‍ය පිරිවැය මිශ්‍ර‍ ආදායම් මගින් ලබාගත හැකි වුවත් පමණට වඩා වාණිජ වැඩසටහන් මත රඳා පැවතීමට සිදුවීම මහජනසේවා විද්‍යුත් මාධ්‍යවල වැඩසටහන්වල ගුණාත්මක බව ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට බාධාවක් විය හැකිය. මේනිසා වඩා වැදගත් වන්නේ ප්‍ර‍මාණවත් මහජන අරමුදල් ලබාගැනීම සහතික කරන ක්‍ර‍මයකට ප්‍ර‍මුඛත්වය දීමයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් බ්‍රිතාන්‍යයේ බීබීසී සහ ජපානයේ එන්එච්කේ යන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ආයතන දෙකේම පිරිවැයෙන් 97%ක් උපයාගන්නේ වාර්ෂික ගුවන් විදුලි හා රූපවාහිනී බලපත්‍ර‍ ගාස්තු වලිනි.

වගවීම

ආණ්ඩුවෙන් ස්වාධීනව කටයුතු කිරීම යන්නෙන් මහජනසේවා විද්‍යුත් මාධ්‍ය අවසාන වශයෙන් මහජනතාවට වගනොකිය යුතු බවක් අදහස් නොකෙරේ. මහජනසේවා විද්‍යුත් මාධ්‍ය පවත්වාගෙන යන්නේ මහජන අරමුදලිනි. එහි මූලික අරමුණ මහජන සේවාවයි. එමෙන්ම එය වැදගත් ජාතික සම්පතකි. එනිසා මහජනසේවා විද්‍යුත් මාධ්‍ය මහජනතාවට වග විය යුතුය.

මෙය ඉටු කිරීමේදී සෘජුලෙස ආණ්ඩුවට වගකියනවා වෙනුවට වඩාත්ම සුදුසු ක්‍ර‍මය නම් පාර්ලිමේන්තුවට වගකීමයි. මේ සඳහා වාර්ෂික වාර්තාව සහ ස්වාධීන විගණන ආයතනයක් මගින් විගණනය කොට සහතික කළ ගිනුම් වාර්තාව පාර්ලිමේන්තුවේ විමර්ශනය සඳහා ඉදිරිපත් කළ හැකිය. මෙයට අතිරේකව මහජන අදහස් ලබාගැනීමේ විමර්ශන රැස්වීම් පැවැත්වීම, සුදුසු නියැදි මත ශ්‍රාවක රුචිකම් පිළිබඳ සමීක්ෂණ පැවැත්වීම, නිරන්තර ශ්‍රාවක ප්‍ර‍තිචාර වැඩසටහන් ඉදිරිපත් කිරීම වැනි සෘජු ක්‍ර‍ම වලින්ද මේ වගවිමේ කාර්යය අනුපූරණය කළ හැකිය.

ඒ හැර තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ ද මහජනසේවා විද්‍යුත් මාධ්‍ය ආයතනවල පරිපාලනය හා වියපැහැදම් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබාගැනීමට මහජනතාවට හැකිවිය යුතුය. මෙහිදී එකම ව්‍යතිරේකය වන්නේ මහජනසේවා ජනමාධ්‍යවේදීන්ගේ සංලේඛ්‍ය නිදහස හා තොරතුරු ප්‍ර‍භවය හෙළිනොකිරීම වැනි පිළිගත් වෘත්තීය වරප්‍ර‍සාද වලට හානිකර තොරතුරු ලබාදීම තොරතුරු ලබාගැනීමේ අයිතියට අයත් නොවීමයි.

තවත් ආකාරයක වගවීමක් වන්නේ මහජනසේවා විද්‍යුත් මාධ්‍යකරුවන්ගේ වෘත්තිය කටයුතු සහ ඒවා මගින් විකාශනය කෙරෙන වැඩසටහන් සම්බන්ධ පිළිපැදිය යුතු ආචාරධර්ම හා ප්‍ර‍මිති ප්‍ර‍කාශයට පත්කොට ඒවා උල්ලංඝනය කළ විට මහජනතාවට මැදිහත්විය හැකි යාන්ත්‍ර‍ණයක් සම්පාදනය කිරීමයි.

* Centre for Law and Democracy සහ International Media Support (IMS) ආයතන එක්ව නිකුත් කළ BRIEFING NOTE 9: PUBLIC SERVICE BROADCASTING නමැති ලියැවිල්ල ඇසුරෙන් ජයා පත්මපානි විසින් සකස් කරන ලදී.

##

අතිරේක කියැවීම්

• ARTICLE 19, A Model Public Service Broadcasting Law, 2005:
http://www.article19.org/data/files/pdfs/standards/modelpsblaw.pdf

• Democratic Governance Group of United Nations Development Programme Bureau for Development Policy, Supporting Public Broadcasting: Learning from Bosnia and Herzegovina’s Experience, 2004: http://www.undp.org/content/dam/aplaws/publication/en/publications/democratic- governance/oslo-governance-center/ogc-fellowship-papers/supporting-public-service- broadcasting-learning-from-bosnia-and-herzegovinas- experience/PublicServiceBroadcasting.pdf

• Toby Mendel, Public Service Broadcasting: A Comparative Legal Survey, UNESCO,
2011: http://unesdoc.unesco.org/images/0019/001924/192459e.pdf

Image Credit: giraffesocialmedia