මීට සති දෙකකට පෙර මේ තීරුවේ මෙසේ ලියා තිබේ:

‘‘දින 100 ක’’ වාචික වූත්, සංඛ්‍යාත්මක වූත් කෘත‍්‍රීම සීමාවක් පනවාගෙන තිබුණ ද, ඉහත කී ජනතා අභිලාෂයේ ගරුත්වය සැලකිල්ලට ගනිමින්, වර්තමාන පාර්ලිමේන්තුවේ නියමිත නිල කාලයෙන් තව කොටසක් අදාළ ‘වැඩපිළිවෙල’ වෙනුවෙන් වැය කිරීම ගැන විපක්ෂය පවා විරුද්ධ නැති බව මේ අවස්ථාවේ දී අප අමතක නොකළ යුතුය.

මේ නිසා, සමානුපාතික දිස්ත‍්‍රික් ඡන්ද ක‍්‍රමයේ සහ මනාප ඡන්ද ක‍්‍රමයේ මාරාන්තික පිළිලය එසේම තබාගෙන මෙවර මැතිවරණයත් එම ක‍්‍රමයටම පැවැත්වීම සඳහා හෙවත් කේවල සහ සමානුපාතික මිශ‍්‍ර ක‍්‍රමයකට මේ මොහොතේ නොයාම සඳහා ඉහත කී දින 100 සීමා බාධකය තර්කයක් සේ ගෙනහැර පෑමේ සුජාත අයිතියක් වර්තමාන ආණ්ඩුවට හිමි නොවන්නේය. එය ව්‍යාජ තර්කයකි. ජනතාව රැවටීමකි.

එසේ හෙයින්, මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි දින 100 අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ, ඒ කාලය තුළ කිරීමට පොරොන්දු වූ දේවල් ඉටු කළහොත් පමණි. නොඑසේ නම්, ලබන වසරේ අපේ‍්‍රල් දක්වා ද වන කාලයත් පාවිච්චියට ගෙන අදාළ පොරොන්දු ඉටු කිරීමට නව පාලකයන් බැඳී සිටින්නේය.’’

ගත වූ දෙසතිය තුළ දේශපාලන තලයේ ඇති වූ වෙනස්කම් දෙස බලන විට, අප ඉහතින් යෝජනා කළ ආදර්ශය සහ යෝජනාව වර්තමාන විපක්ෂය ඇතුළු ජාතිවාදී සහ ආගම්වාදී බලවේග ප‍්‍රයෝජනයට ගැනීමට යන්නේ, අප අපේක්ෂා කරන යහපත් සමාජයක් පිළිබඳ පරමාදර්ශයක් පෙරදැරිව නොවන බව දැන් වටින්ගොඩින් පෙනෙන්ට තිබේ. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පසු ගිය දා කියූ පරිදි, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ඔවුන් එකඟ නැත. ඔවුන් එකඟ වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමයේ මතුපිට පොත්ත අයින් කිරීමට පමණි. දැන් පෙනෙන හැටියට, මේ නායකයෝ 1994 සිට හුරුපුරුදුව සිට විධායක ජනාධිපති ක‍්‍රමයේ ඉනා ගුරුකමට තවමත් වසඟ වී සිටින සෙයකි.

ඒ අතරේ ජාතිවාදී සහ ආගම්වාදී පරිධියේ කණ්ඩායම් ඔසවා තැබීමට බොහෝ පෞද්ගලික මාධ්‍ය ආයතන පෙරමුණ ගනිමින් සිටී. ගලගොඩඅත්තේ ඥානසාරට තමන්ගේ නාලිකා සහ මුද්‍රිත ප‍්‍රකාශන හරහා ඔවුන් දෙමින් සිටින තැන කෙතෙක්ද යත්, 1815 ගිවිසුම එදා ඉංග‍්‍රීසීන් විසින් කඩ කළ අවස්ථා සොයා බලන්නැ යි ඔහු කරන ඉල්ලීමට පවා ප‍්‍රමුඛත්වයක් දීමට දැන් වගබලා ගැනේ.

නිමල් සිරිපාල සිල්වා තමන්ගේ ආසනයෙන් ද පරාජය වී වැඩි කලක් නැත. එසේ තිබියදී, ඔහුගේ ඔඩොක්කුවට විපක්ෂ නායක කම අහසින් පාත් වී තිබේ. සමහර විට, මොන හෙයියම්මාරුවකින් හෝ පවතින විධායක ක‍්‍රමයම එක දිගටම පවත්වා ගතහොත්, මහින්ද රාජපක්ෂ මාදිලියේ ජනාධිපති තනතුරක රස බැලීමටත් තමාටත් බැරි කමක් නැතැ යි ඔහු සිතනවා ඇති.

කෙසේ වෙතත්, ඇති විය හැකි අයහපත් තත්වය පිළිබඳ දළ අවබෝධයක් අපට ලබා ගැනීම සඳහා දේශපාලඥයන් තුළ පවතින මෙකී පුද්ගලවාදී තණ්හාව පිළිබඳ සාධකය පමණක් සැලකිල්ලට ගැනීම ප‍්‍රමාණවත් නොවන බව අපි දනිමු. ඊට වඩා චිත‍්‍රය සංකීර්ණ ය. එසේම, එය අත්‍යන්තයෙන්ම දේශපාලනික ය.

විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි චරිත ඇමති තනතුරකින් සහ ඊට අදාළ අවශේෂ මස් කටු ලෙව කෑමෙන් සෑහීමකට පත්විය හැකි පිරිසකි. හේතුව, ඔවුන් කිසිවෙකුට තමන්ගේම වන පක්ෂ යාන්ත‍්‍රණයක් හෝ ජනතා පදනමක් හෝ නැති වීමයි. ඔවුන්ට වරප‍්‍රසාදිත විය හැක්කේ මහින්ද රාජපක්ෂ කෙනෙකුගේ නායකත්වය යටතේ පමණි. අනිත් අතට, නිමල් සිරිපාල, සුසිල් පේ‍්‍රමජයන්ත සහ අනුර ප‍්‍රියදර්ශන යාපා වැන්නෝ ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙති. ඇත්ත වශයෙන්ම, නිමල් සිරිපාල වැන්නෙකුගේ ජීවිතයෙන් දීර්ඝ කාලයක්, මහින්ද රාජපක්ෂගේ බල කාමයේ අඬුපඬු නිසා නාස්ති කෙරුණි. පක්ෂයේ ඊළඟ නායකත්වයක් සේ ගොඩනැගෙනවා වෙනුවට මේ අයට සිද්ධ වුණේ, ‘තවත් එක් ඇමතිවරයෙකුගේ’ නපුංසක භූමිකාවට උර දී එයින් සෑහීමට පත්වීමටයි.

දැන් ඉතිහාසය අළුතින් නිර්මාණය වී ඇත. නොසිතූ විරූවක් සිදුවී ඇත.

ජේ. ආර්. ජයවර්ධනගෙන් 1978 දී පටන් ගෙන, කෙමෙන් තිරිහන් වී අවුත්, පවුලෙන් පිටස්තරයන් සඳහා එතෙක් විවරව පැවති කුඩා ඉඩකඩ පවා අවුරමින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ මහින්ද රාජපක්ෂ ඇටවූ උගුල වර්තමාන ආණ්ඩුවේ නායකත්වය විසින් මුළුමණින් ඉවත් කිරීමට යන බව දන්නේ නම් නිමල් සිරිපාල වැන්නන් ඒ ගැන සතුටු වෙනවා මිස ඊට එරෙහි වන්නේ මන්ද යන ප‍්‍රශ්නය අප ඉදිරියේ මතුවෙයි. එක පැත්තකින්, යෝජිත ව්‍යවස්ථා සංශෝධන හරහා අපේක්ෂා කරන්නේ, පවතින විධායක ජනාධිපති බලතල, විධායක අගමැති බලතල බවට පත් කිරීමක් නොවන බව පැහැදිළියි. විධායක ජනාධිපති කෙනෙකු වෙනුවට විධායක අගමැතිවරයෙකු යන සූත‍්‍රය සාවද්‍ය හැඳින්වීමක් වන්නේ එබැවිනි. ඇත්ත වශයෙන් සිදුවන්නේ, වර්තමානයේ ජනාධිපතිවරයා උසුළන බලතලවලින් අතිබහුතරය, අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව තුළට විකේන්ද්‍රණය කිරීමයි. එවිට ආණ්ඩුකරණයේ සැබෑ බල කේන්ද්‍ර, අඩු වැඩි වශයෙන්, තුනක් තිබිය හැකිය. ඒ, ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවයි. එසේ මුලාශ‍්‍ර තුනකින් විභවය ලැබීමේ හේතුව නිසා ස්වභාවිකවම තුලනයට ලක්වීමට අමතරව, එම බලය, නැවත වරක් ආයතන ව්‍යුහයකින් ද මෙල්ල කෙරේ. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා නැවත ගෙන ඒමේ අභිප‍්‍රාය එයයි. එවැනි පාලන ව්‍යුහයක් තුළ අත්තනෝමතික රාජ්‍ය තන්ත‍්‍රයකට ඇති ඉඩකඩ අවම කෙරේ.

මේ වැඩපිළිවෙල සාර්ථක වන්නේ නම්, එය රටට සහ ජනතාවට තරමට, පරාජිත සහ දූෂිත දේශපාලඥයන්ට සෙතක් වන්නේ නැත. එවැනි වැඩපිළිවෙළක සාර්ථකත්වයක් හරහා තවදුරටත් අර කී දේශපාලඥයන් මහ ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වීමට ඇති ඉඩකඩ වැඩි ය. එසේ හෙයින්, පවතින ආණ්ඩුවේ වර්තමාන සංඛ්‍යාත්මක දුර්වලතාව පාවිච්චියට ගනිමින්, අපේක්ෂිත ප‍්‍රතිසංස්කරණ යම් ආකාරයකින් අඩාල කළ හැකි වන්නේ නම්, එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇති විය හැකි අරාජකත්වය සහ ව්‍යාකූලත්වය වර්තමාන පාලකයන්ගේ මෙන්ම, යෝජිත පරිවර්තනයේ ද අසාර්ථකත්වයක් වශයෙන් හඳුන්වා දීම හරහා ජනමතය නැවත වරක් තමන්ගේ පැත්තට හරවා ගැනීමට මෙන්ම, විධායක ජනාධිපති ක‍්‍රමය තවදුරටත් ආරක්ෂා කර ගැනීමටත් තමන්ට හැකි වෙතැ යි මේ කල්ලි ගණන් හදමින් සිටින සෙයක් පෙනෙන්ට තිබේ.

රට අගාධයට ගියේ 78 ව්‍යවස්ථාව ඔස්සේ බවත්, නිමල් සිරිපාල සිල්වා වැන්නන් හැලූණේ 18 වැනි සංශෝධනය ඔස්සේ බවත්, තේරුම් ගැනීමේ පහසුව තකා මතුපිටින් වටහා ගත් විට, 78 තියාගෙන 18 පමණක් කටුගෑමෙන් සෑහීමට පත්නොවීමට හේතුවක් නිමල් සිරිපාල වැන්නන්ට නැත. කොටින්ම ඔහුගේ හතුරා ජේ. ආර්. ජයවර්ධන නොව, මහින්ද රාජපක්ෂයි.

තත්වය එසේ නම්, දින 100 සහ ඊළඟ මැතිවරණය අතර ඇති සහසම්බන්ධය ගැන නැවත සිතා බැලීමට අපට බල කෙරේ. නියමිත කාලය ඇවෑමෙන් දරුවන් බිහි වීම සාමාන්‍ය ක‍්‍රමයයි. එහෙත්, විශේෂිත අවස්ථාවකදී, එනම් මවගේ හෝ දරුවාගේ හෝ ඒ දෙන්නාගේම ආරක්ෂාව එකී සාමාන්‍ය ක‍්‍රමය හරහා සහතික නොවන විට වෛද්‍යවරු සිසේරියන් සැත්කමකට යොමු වෙති. එම සැත්කම කරන්නේ, ජ්‍යොතිෂයට අනුව ඊනියා ශුභ මොහොතකදී දරුවා බිහි කිරීමට නම්, අප එයට එකඟ නැත. එනම්, යම් කිසි පක්ෂයක් හෝ කණ්ඩායමක් නියමිත කාලයට කලින් මැතිවරණයකට යන්නේ තමන්ගේ පාක්ෂික පටු අරමුණු පෙරදැරිව නම් අප ඊට එකඟ නැති බවයි. එහෙත්, අකල් මැතිවරණයක් පැවැත්වීමට බල කෙරෙන්නේ, රටේ යහපත අපේක්ෂාවෙන් නම් සහ නැවත හිස ඔසවන අත්තනෝමතිකත්වයක මාර්ගය ඇහිරවීමට නම්, ඊට එරෙහි වීමට හේතුවක් අපට නැත. අනිත් අතට, දින 100 පිළිබඳ පරිපූර්ණ සාර්ථකත්වයක සහතිකය ඉල්ලා සිටින්නේ, තමන්ගේ සැඟවුණු අරමුණු සඳහා මැතිවරණය හැකි තාක් කල් දමා ගැනීමට නම්, අප කොන්දේසි විරහිතව ඊට ද එරෙහි විය යුතුය.

මහින්ද රාජපක්ෂගේ පරණ වේශයෙන්ම ආපසු ඔහුව වැඩමවීම සඳහා කැසකවන ජාතිවාදී සහ ආගම්වාදී විමල් වීරවංශලාගේ සිට, දැන් විවිධ හේතු යටතේ විධායක ජනාධිපති ක‍්‍රමය රැකගත යුතු යැයි කියන නිමල් සිරිපාලලා දක්වා වන බලකාමී පිරිස් නියෝජනය කරන ප‍්‍රතිගාමී අපේක්ෂා දිනෙන් දින කරළියට එයි. ඔවුන් කෝඳුරු තෙල් ඉල්ලා සිටින්නේම වෙදකම අසාර්ථක කැරැවීමට නම්, කල් නොයවා ඊළඟ මැතිවරණයට යාම අනිවාර්ය කෙරේ. මහින්ද රාජපක්ෂව පරාජය කළ ආකාරයෙන්ම, මේ දූෂිත දේශපාලඥයන්වත් කටු ගා දැමිය හැක්කේ එවිටයි.

Gamini Viyangoda
ගාමිණී වියන්ගොඩ
| Gamini Viyangoda