Image: Vikalpa

2015 අපේ‍්‍රල් 2

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති
ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 1

ගෙන ඒමට නියමිත 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කිරීම සඳහා ගැනෙන ප‍්‍රයත්නයන් ගැන

ගරු ජනාධිපතිතුමනි,

අධිකරණයේ ස්වාධීනත්වයත්, අපක්ෂපාතීත්වයත් ආරක්ෂා කරගනු වස්, විනිශ්චයකාරවරුන් පත්කිරීමේ කි‍්‍රයාවලිය පාරදෘෂ්‍ය භාවයෙන් යුත් ස්වාධීන ක‍්‍රියාවලියක් විය යුතු බව, විධායකය වෙතත්, ව්‍යවස්ථාදායකය වෙතත් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නිරතුරුව පෙන්වා දී තිබේ.

ගෙන ඒමට නියමිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ඉතා සාදරයෙන් පිළිගනු ලැබුවේත්, ඊට අදාළ වෙනස්කම් ඇති කරගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේත් ඒ පසුබිම යටතේ ය. එහිදී, ව්‍යවස්ථා සභාවට සහ ස්වාධීන කොමිෂන් සභාවලට අදාළ වෙනස්කම්ද, ඉහළ අධිකරණය සඳහා කෙරෙන පත්වීම්ද අපේ අවධානයට යොමු විය.

ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් යෝජනා කෙරෙන ව්‍යවස්ථා සභාව, පාර්ලිමේන්තුවේ විවිධ පාර්ශ්වවල අදහස් පිළිඹිබු කරන නියෝජනාත්මක මණ්ඩලයක් වන බවටත්, දේශපාලඥයන් නොවන, සමාජ සහ වෘත්තීය මට්ටමින් කීර්තිමත්, නිල-නොලත් සාමාජිකයන් හත් දෙනෙකුගෙන් එය සමන්විත වන තාක් දුරට, එම ව්‍යවස්ථා සභාව නිර්-දේශපාලනික වන බවටත් නිරීක්ෂණය කෙළේය.

එහෙත් මේ ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගෙන් බහුතරය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් පුරවමින් 19 වැනි සංශෝධනය දියාරු කිරීමට දැන් කටයුතු කෙරෙමින් තිබෙන බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට දැන ගැනීමට ලැබී තිබේ. එවැනි පියවරක් මගින් සිදුවනු ඇත්තේ ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වය දියාරු වීමයි. තවද, ඒ මගින් 18 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක වූ අවදියට නැවත වරක් අප ගමන් කරන බවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බරපතල නායයාමකට එය තුඩුදිය හැකි බවත් පෙන්වා දෙනු කැමැත්තෙමු.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුළුමණින් දේශපාලඥයන්ගේ අතේ රැුඳෙන්ට හැරීම ප‍්‍රඥාවන්ත භාවිතාවක් නොවන බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ විශ්වාසයයි. සාරවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සඳහා නිරන්තර පරීක්ෂාකාරීත්වයත්, සමාජ දායකත්වයත් අවශ්‍ය කරන්නේය.

එබැවින්, ව්‍යවස්ථා සභාවේ යෝජිත සංයුතිය වෙනස් කිරීමට ගන්නා ඕනෑම ප‍්‍රයත්නයකට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය තදින්ම විරුද්ධ බව ඔබතුමාගේ අවධානයට යොමු කරනු කැමැත්තෙමු. ව්‍යවස්ථා සභාවේ සංයුතිය එසේ දියාරු කිරීම නිසා, විනිසුරුවරුන් පත්කිරීමේ ක‍්‍රියාවලිය තුළ තිබිය යුතු ස්වාධීනත්වය බරපතල ආකාරයෙන් හෑල්ලූ වන අතරේම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් නිරර්ථක ක‍්‍රියාවක් බවට පත්වෙනවා නියතයි.

තවද, ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත්කිරීමේදී පිළිපැදිය යුතු බවට යෝජනා වී ඇති උපදේශාත්මක ක‍්‍රියාවලියෙන්, අධිකරණ ඇමතිවරයාවත්, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාවත් ඉවත් කිරීමට ගනු ලැබෙතැයි කියන ප‍්‍රයත්නයන් ගැනද ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සිය අප‍්‍රසාදය පළ කර සිටී.
විනිසුරුවරුන් පත්කිරීමේදී, අධිකරණ ඇමතිවරයා සහ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු පරදු දරණ විවිධ පාර්ශ්වල අදහස් විමසීම නිසා, එම පත්කිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරණ බලයට අනර්ථයක් නොවෙනවා පමණක් නොව, ඔහු විසින් කෙරෙන එම පත්වීම්වල ගුණාත්මක භාවය වර්ධනය කිරීමටත් තුඩුදිය හැකි බව, ශ්‍රේෂ්ඨාධිකරණය සිය අදහස් දැක්වීම් තුළ පෙන්වා දුන්නේය.

මේ තත්වය තුළ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් සැළකිල්ලට ගෙන ඇති සහ අනුදැන ඇති එකී වැඩදායක විධිවිධාන දියාරු කිරීමට ගන්නා ඕනෑම ප‍්‍රයත්නයක් වළක්වාලන ලෙස ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබේ. එසේ නොවුණහොත් සිදුවන්නේ, ඔබතුමා මෙතෙක් තිරසාරව පෙනී සිටි 19 වැනි සංශෝධනයේ හුදු හරයම පරාජයට පත්වීමයි.

ඔබේ විශ්වාසවන්ත,

ජෙෆ්රි අලගරත්නම්
ශ‍්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති

අජිත් පතිරණ
ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්

පිටපත්: ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ විපක්ෂ නායක ගරු නිමල් සිරිපාල ද සිල්වා