සිංහල, Corruption, Democracy, Election, Governance, Kandy

මහමැතිවරණයේ නාවලපිටිය මෙහෙයුම, සහ මනාපයෙන් මතු වූ ප්‍රචණ්ඩත්වය


‛එකම පක්ෂෙනේ, ඒක නිසා එකටම හිටපියවු කියලා එකම කාමරේට දැම්මා.’

2010 මහ මැතිවරණය අවසන් වූයේ මැතිවරණ ඉතිහාසයට තවත් කලු පැල්ලමක් එක් කරමිනි. ඒ ත්‍රිකුණාමළ දිස්ත්‍රික්කයේ, කඹුරුපිඩ්ඩි ඡන්ද කොට්ඨාශයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ඡන්ද කොට්ඨාශයේ සිදු වූ ඡන්ද මංකොල්ලයත් සමඟ ය. එම ඡන්ද මංකොල්ලයෙන් සිදුවූයේ අවසන එහි ප්‍රතිඵල ශුන්‍ය කිරීමටයි. එසේ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට කොන්දක් ද තිබුනේය.

කෙසේ නමුත් මේ වන විට එම ශුන්‍ය කළ කොට්ඨාශ දෙකෙහිම ඡන්දය දැන් පැවැත්වෙයි. නමුත් අද(20) දිනය අවසාන වන තෙක් විශේෂයෙන් නාවලපිටිය ප්‍රදේශයේ පවත්වන ඡන්දය නිදහස් හා සාධාරණ දැයි කිව නොහැක. මක්නිසාද යත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේම අපේක්ෂකයන් විසින් සිදුකරනු ලබන ප්‍රකාශ නිසා ය. ‛නාවලපිටිය සිද්ධිය මානසික රෝගියෙකුගේ විකෘති ක්‍රියාමාර්ගයක්’ යැයි එජනිස ප්‍රභලයෙක් සේම මහනුවර දිස්ත්‍රික් අපේකෂකයෙකු වන එස්. බී. දිසානායක මහතා විසින් පසුගිය දා ප්‍රකාශ කර තිබීමයි. එබැවින් එම මානසික රෝගියා මේවන විට ප්‍රතිකාර ගැනීමට යොමුව තිබීම පිළිබඳ කිසිදු සටහනක් මේ වන විට නැත. එයින් හැඟවෙන්නේ අද ද එම මානසික රෝගියා නාවලපිටියේ ක්‍රියාකරන බවය.

නමුත් නාවලපිටියේ සිදුවූයේ කුමක්ද යන්න මේ වන විට ආණ්ඩුවද, පොලිස්පතිවරයාද හොදින් දැන සිටිය යුතුය. එහෙත් එකම පක්ෂයේ අපේක්ෂකයන් මෙසේ අං ඇද ගන්නා විට ජනතාවට කුමක් කළ හැකිද? එසේම නාවලපිටියේ මෙන්ම මාතලේ ත්‍රිකුණාමලයේ ඇතුලු බොහෝ තැන්වල මෙම එකම පක්ෂයේ අපේක්ෂකයන්ගේ මරා ගැනිල්ලට මනාපය හේතු වි ඇති බව බොහෝ තැන්වලින් පැහැදිලි වේ. නාවලපිටියේ ඇතිවු මංකොල්ලයට ද ‛මනාපය’ හේතු වු බව රහසක් නොවේ.. මෙම සියලු සිද්ධින්ට ප්‍රධානම හේතුව වී ඇත්තේ මනාප පොරයයි. එයිනුත් එකම පක්ෂයේ අපේක්ෂකයන්ගේ මරා ගැනීම අනෙකයි. එයිනුත් එජනිස එයට වැඩි දායකත්වයක් සපයා තිබීම අනෙක් විශේෂ කරුණයි.
මහමැතිවරණයේදී මෙම මනාප පොරය පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාවන් ද නිර්මානය කළේය. මැතිවරණයෙන් පසු ද මාතලේ වැනි ප්‍රදේශවල ඉතා ප්‍රභල අන්දමින් සිදු විය.

‛දැනට 30ක් විතර ඉන්නවා. ඡන්දෙන් පස්සේ එකම පක්ෂයේ අය ගහගෙන. එකම පක්ෂෙනේ ඒක නිසා එකටම හිටපියවු කියලා එකම කාමරේට දැම්මා’ මාතලේ බන්ධනාගාර නිළධාරියෙක් අප සමග පැවසීය. ‛දැන් මන්ත්‍රිවරුවත්, ඇමතිවරුවත් කවුරුක් එන්නේ නෑ, ඒ අයව බලන්න. අම්මලා තාත්තලා විතරයි එන්නේ. ඇවිල්ලා කන්න මොනවා හරි දීලා අඬ අඬ ඉදලා යනවා’ එම නිළධාරියා වැඩිදුරටත් පැවසීය.

මෙවැනි දේශපාලන ජඩක්‍රියාවන් කොපමණ සිදු වුවත් මෙහි වැරදි කරුවන්ට දඩුවම් දීමක් පෙනේනට නැත. මෙම වැරදි දේශපාලන ක්‍රියාවන් නතර කර ගැනීමට නීතිය හෝ නිීතිය රකින අයවත්, නීති හදන්නවුන්වත් වෙහෙසීමක් දක්නට නැත. අවසානයේ හිරබත් කන්නට සිදුවන්නේ තමන්ට රස්සාවක් ඉල්ලා ගන්නට, පාප්ප බාල්දි උස්සන් පෝස්ටර් අලවපු, අරූට ගහපියවු කියනකොට ගහපු, අදේශපාලනික අපේක්ෂකයන් පසේ ගියපු, එකම ගමේ එකම පවුල්වල මිනිසුන්ටය.

මෙසේ වූ විට ප්‍රජාතන්ත්‍රවාදයවත්, යහපාලනයවත් පිළිබද රාජ්‍යකට කතා කළ හැකිද? මෙසේ යහපාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක් ගෙන ඒමට නම් මෙම ඡන්ද මංකොල්ලයන් පතුරුවන, දේශපාලන මැරයන්ට දඩුවම් දිය තුලින් ය.

නමුත් තත්වය මෙසේ තිබිය දී නාවලපිටිය වැනි ප්‍රදේශවල සිදුවූ බරපතල සිදු විම්වලදි ලංකාවේ පොලිස්පතිවරයා ඡන්ද විමසීම අවසානයේ දී කීවේ කුමක්ද? ‛එහෙම සිද්ධින් අපට වාර්තාවෙලා නෑ’ කියා ය. නමුත් මේ වනවිට මහා පොලිස් බලඇණිත්, විශේෂ කාර්‍යබලකායත්, යුධහමුදාවත් එහි යවා ඡන්දය පවත්වමින් තිබේ. එහි ඡන්ද දායකයන්ට වඩා ආරක්ෂක හමුදාවන් ඇති බව වාර්තාවේ.

අනෙක් විශේෂ දෙය නම් දැනට මහනුවර දිස්ත්‍රික්කයේ සෑම අපේකෂකයෙක්ම තමන්ගේ මනාප ප්‍රතිඵල නොදන්නවා නොවේ. එමනිසා ‛පාර්ලිමේන්තුගත’ වීමට ටිකක් හෝ මනාප ගණන අඩු සියලු දෙනා තමන්ගේ ගොඩ වැඩි කරගැනීමට ඕනෑම දෙයක් අද දවස තුළ නාවලපිටියේත්, කඹුරුපිඩ්ඩිවලත් සිදු කරයි. එය ප්‍රසිද්ධියේ හෝ හොරෙන් සිදු කිරීමට ලංකාවේ මහජන නියෝජිතයෝ යැයි කයනු ලබන අයට බොහෝ හැකියාව ඇත. මනාපය වැඩිකර ගැනීමට එකම පක්ෂයේ, එකම පවුලේ හො වෙනයම් ඕනෑම සම්බන්ධයක් අදාල නොවේ. ඕනෑම ජඩ ක්‍රියාවක් ඔවුන් සිදුකරයි. එය පිළිබදව ලංකාවේ සෑම මැතිවරණයක්ම ඕනෑවටත් වඩා සාක්ෂි සපයයි.

ඊයේ(19) ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ‛නාවලපිටිය ආසනයේ සිදුවූයේ කුමක්දැයි ජනපති මැදුරේ කුස්සියේ වඩ කරන අයත් දන්නවා, ඡන්ද පොළවල් 34 ඡන්දයත් සියයට සීයයක් සාධාරනව පවත්වාවිදැයි සිතන්න අමාරුයි.’ යැයි කියා සිටියේ ය. නමුත් කුස්සියේ අය දන්නා දේ ඉස්තොප්පුවේ ඉන්නා අය නොදන්නවා වන්නට බැරි බව ජනතාව විසින් කෙදිනක හෝ කියා දෙනු ඇත. එය එසේ වන්නේ අද දවසේ නාවලපිටියේත්, ත්‍රිකුණාමළයේ, කඹුරුපිඩ්ඩි ප්‍රදේශයෙත් ඡන්ද මංකොල්ලයේ යෙදුනු අපේක්ෂකයින්ට ජනතාව තමන්ගේ කතිරයෙන් දඩුවම් දීම තුළින් ය?

Pic By Lankaenews