Image Credit: Mahinda Rajapaksha/Facebook

‘විරුවන් දිනා දුන් මව්බිම රැකගනිමු‘ මැයෙන් යුද ජයග‍්‍රහණය සැමරීමේ උත්සවයක් 2015 මැයි 18 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

රාජපක්ෂ යුගය තුළ ද සැබැවින් ම දක්නට ලැබුණේ උත්කර්ශයට නැගූ හමුදාමය විජයග‍්‍රහණ සමරුවක් වන අතර එහි යුද ශක්තිය සහ එමගින් සතුරන් විනාශ කිරීමට ඇති හැකියාව ප‍්‍රදර්ශනය කරන ලදී . නිතරම පාහේ සතුරෙකු පිළිබද බිය සැක මුසු හැගීම් ඇති කරන ලදී. හමුදා යුද ශක්තිය, නපුරු බලවේග පරාජය කරන හොඳ සහ ජයග‍්‍රාහී බලවේග ලෙස හුවා දක්වන ලදි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලතුවක්කු ෂෙල් එකක් මත තැබූ සාම්ප‍්‍රදායික පොල්තෙල් පහනක් පත්තු කිරීම ම මෙම සැමරුමේ දී යුද්ධයට දක්වන ආශාව සංකේතවත් කරන්නක් විය.

උතුරේ අන්ත දෙමළ ජාතිකවාදී ටී.එන්.පී.එෆ්. සංවිධානයේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ සැමරුම් පිවිසුම වූයේ ද මෙයට සමාන හා ප‍්‍රතිවිරුද්ධ එකකිි. දෙමළ ජනතාවගේ ජන සංහාරය ගැන රැලියක් පැවැත්වීම මෙන්ම පරාජය පිළිබඳ විශේෂ අකාරයකින් වැළපීම ඔවුන්ට අවශ්‍ය වන්නට ඇත. ඔවුන් ඉකුත් මැයි 18 වැනිදා දෙමළ ජනතාවගේ ජන සංහාරය වූ බව සිහිපත් කරමින්, තම ජාතිය කිසිදා නිම නොවන ක‍්‍රමානුකූල දඩයමක කොටසක් බව ප‍්‍රකාශයට පත් කරන ලදී . ඒ ශෝකය මුසු හැගීම තුළින් ඉස්මතු කරණු ලැබුණේ, ශ‍්‍රී ලංකා රජය විශ්වාස කටයුතු නොවන නිසා ජාත්‍යන්තර යුක්තියක් සඳහා ඇති ඉල්ලු ප‍්‍රකට කිරීමයි.

මෙහි ඇති ශෝචනීය තත්ත්වය වන්නේ, මෙම සැමරුම් ආකාර දෙකම නපුරට එරෙහිව ඉතාම සරල හොඳ දෙයක් කිරීමට ඇති ජාතික උවමනාව නොතකා හැරීම යි. යුද්ධයේදී එක් පාර්ශවයකට ජයග‍්‍රහණය ද අනෙක් පාර්ශවයට පරාජය ද අත්විය. නමුත් මේ පැති දෙකමටම අදාල සිදුවීම පසු කර යා නොහැකි ය. අතීතයේ එක් අවස්ථාවක් තුළ දෙපාර්ශවයම ඇලී ගැලී සිටී. දෙපාර්ශ්වය ම හැගුම් බරවී ඇත. නිමක් නැතිව සමරමින් හෝ එම අවස්ථාවට ශාපකරමින් සිටී.

භීතියටපත් සතුරාට එරෙහිව ජයගැනීම සමරන ආකාරය පිළිබඳ අර්බුදය පැරණි එකකි. මැසිඩොනි පිලිප් හෙවත් මහා ඇලෙක්සැන්ඩර් රජුගේ පියා කෙරෝනියා සටනින් ජයගෙන බීමත් වී සතුරන්ට අහිමි වූ වටිනා රන් හා සතුරන් ගේ සිරුරු මත රැයක් පුරා ම නැටුවේය. මැසිඩොනි පිලිප් ම්ලේච්ඡ විය. එහෙත් ඔහුගේ පුතාට ඉගැන්වීමට ගුරුවරයෙකු ලෙස ඇරිස්ටෝටල් ව යොදාගැනීමට තරම් ඥානවන්ත ද විය. තමන් ම්ලේච්ඡයෙකු වුවත් තම පුත‍්‍රයා ශිෂ්ට විය යුතු යැයි පිලිප් කල්පනා කරන්නට ඇත. කාලාන්තරයකට ම පහළ වූ ‘ශ්‍රේෂ්ඨතම සිතන්නා‘ ඇරිස්ටෝටල් බව අද පවා පිළිගැනෙන්නකි.

ත්‍කසේ වෙතත් ඇලෙක්සැන්ඩර්, තම පියා මෙන් නොව, සටනින් පරාජයවූ සතුරන්ට හොඳින් සැලකීමට පෙළඹිනි. ඔහු බොහෝ විට සතුරන් වෙතින් පක්ෂපාතිත්වය දෙනබවට දිවුරුම් ලබාගෙන තම තමන්ගේ තත්වය හා බලය ඔවුන්ට ආපසු දීමට කටයුතු කළේ ය. ඇලෙක්සැන්ඩර්ගේ ශිෂ්ටත්වයට ඇරිස්ටෝටල්ගේ බලපෑමක් තිබෙන්නට ඇත.

අශෝක අධිරාජ්‍යයා කාලිංග ජාතියට එරෙහිව කළ බිහිසුණු යුද්ධයේ දී ලක්ෂ ගණනක් සටනේදී මිය ගිය අතර තවත් ලක්ෂ ගණනක් වහලූන් බවට පත්විය. ඔහු යුද්ධයෙන් වූ මරණ සහ සමස්ත විනාශය දැක ගැඹුරු චිත්ත සන්තාපයකට පත් වූ අතර එම සන්තාපයෙන් මිදීමට ධර්මයේ පිහිට පැතීය. ධර්මය තුළින් යහ පාලනය කරා යොමුවිය. සුප‍්‍රකට 13වන ගිරි ලිපියෙන් දැක්වෙන්නේ මෙසේ චන්ඩාශෝක ධර්මාශෝක බවට පත්වීමේ පුවතයි.

මහාවංශය අනුව දුටුගැමුණු රජුට ද සටනින් පසුව සිත්තැවීමක් දැනුණු බව සඳහන්වේ. එළාර සෑය සහ මහ සෑය තනවා ඒ දැක පැහැදී පහන් සංවේගයට පැමිණීමට දුටුගැමුණු රජුට අවශ්‍ය විය.

මේ සියලුම උදාහරණ වවින් පෙන්වා දෙන එක් කරුණක් ඇත. එනම් රටක් ඉදිරියට යාම සඳහා පහුවුණු යටගියාවේ සිදුවීම් අරබයා සංහිඳියාවකට පැමිණිය යුතු ය.

බොහෝවිට මේ සඳහා පළමු පියවර තැබිය යුතු වන්නේ ජයග‍්‍රාහී පිළෙන්ය.

ජනාධිපති සිරිසේන මහතා තම නිදහස් දින කථාවේ දී ‘ම්ලේච්ච යුද්ධය‘ යනුවෙන් සඳහන් කරන විට ඔහු යුද්ධයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තෙකු ලෙස පෙනිණ. සුප‍්‍රකට එක්සත් ජනපද ජෙනරාල් ෂර්මන් මහතා පැවසු ආකරයට යුද්ධය ‘අපායකි‘.

අප දැනට කරමින් සිටින්නේ, යුද්ධය වෙනුවෙන් ජීවිත පිදීම ගැන වැළපීමත්, ලබාගත් ජයග‍්‍රහණ ප‍්‍රීතියෙන් සැමරීමත් ය. එහෙත් අප අමතක නොකළ යුතු කාරණය වන්නේ, යුද්ධය දෙපාර්ශවයටම අපායක් වූ බවත්, විශේෂයෙන් ම යුද්ධයට මැදි වූ අහිංසක සිවිල් වැසියන් සම්බන්ධයෙන් ගත් කළ ඔවුන් යුද්ධයේ ගොදුරු බවට පත් වූ බවත් ය.

වසර 2500කට පෙර එක් පුරාණ නාට්‍ය රචකයෙකු පැවසුවේ, යුද්ධයේ දී පළමුවෙන්ම හානි සිදුවන්නේ සත්‍යයට බවයි. සමහරවිට ඉදිරි අනාගතයේ මතු යම් දවසක ශ‍්‍රී ලංකාවේ යාපනයේ වැසියාත් මාතර වැසියාත් එක්වී යුද්ධය සමරන අවස්ථාවක 2009 දරුණු සිදුවීම් ගැන ඒ සියල්ලන් ම පොදු වූ හැගීමක අවබෝධයක සිටිය හැක.

ඩිලන් පෙරේරා