සිංහල, Colombo, Election, Governance, Media

කැබිනට් මණ්ඩලය දිවුරුම්දේ – ප්‍රභලයෝ එළියේ

තිස් හතදෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 39 දෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී අද(23) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් අතර මෙවර මැතිරවරණයේදී කැපී පෙනෙන චරිත කිහිපයකට කැබිනට් තනතුරු හෝ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු හිමිව තිබුනේ නැත.

ජනාධිපතිවරයාගේ පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි කැබිනට් අමාත්‍යවරුන් මෙවර කැබිනට් මණ්ඩලයෙන් ඉවතට විසිවී ඇති අතර පසුගිය පාර්ලිමේන්තුවේ සිටි කැබිනට් නොවන අමාත්‍යවරුන්ට නියෝජ්‍ය අමාත්‍යධූර හිමිව තිබේ.

පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි සරත් අමුණුගම මහතාට හා කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙවර කැබිනට් මණ්ඩලයට ඇතුළත් වන්නේ නැත. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය සමයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය හැරදා ආණ්ඩුවට එක්වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් එස්.බී. දිසානායක මහතාට කැබිනට් ඇමති තනතුරක් තබා නියෝජ්‍ය අමාත්‍යධූරක්වත් හිමිවූයේ නැත. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිට ආණ්ඩුවට එක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කැබිනට් ඇමතිධූරයක් හිමිවිය. ඔහුත් සමග ආණ්ඩුවට එක්වූ ඉන්දික බණ්ඩාරනායක මහතාට නියෝජ්‍ය අමාත්‍යධූරයක් හිමිවිය.

කැබිනට් නොවන අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ මර්වින් සිල්වා, ගුණරත්න වීරකෝන්, පණ්ඩු බණ්ඩාරනායක, රංජිත් සියඹලාපිටිය, නිර්මල කොතලාවල, විනයගමූර්ති මුරලිදරන්, සරත් ගුණරත්න යන මහත්වරුන්ට නියෝජ්‍ය අමාත්‍යධූරයකින් සෑහීමකට පත්වීමට සිදුවිය.

බස්නාහිර පළාත් මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කර පසුව පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙසින් කටයුතු කළ රෙජිනෝල්ඩ් කුරේ මහතාටද හිමිවූයේ නියෝජ්‍ය අමාත්‍යධූරයකි.

මේ අතර මෙවර කැබිනට් මණ්ඩලයට කෝඩුකාරයින් කිහිපදෙනෙක්ද පත්ව සිටී. විමල් වීරවංශ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා මෙවර කැබිනට් මණ්ඩලයට ඇතුල්වන කෝඩුකාරයෝ වෙති.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තිලංග ෂුමතිපාල මහතා දුමින්ද දිසානායක මහතා හැර අනික් සියලුම පාර්ලිමේන්තු නියෝජිතයෝ කැබිනට් මණ්ඩලයට ඇතුළත්ව සිටී.