මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු මිතුරා මගෙන් ක්‍ෂණික ප‍්‍රශ්නයක් ඇසීය.

‘‘ඇයි, අපේ ළමයින් දෙමාපියන්ට වඳිනවාට කැමති නැද්ද?’’

අපේ සංස්කෘතිය ගැන කියූ පමණින්ම අපට මතකයට එන්නේදෙමාපියන්ට වැඳ නමස්කාර කිරීමයි. පෙර පාසල් වියේ දී ශ‍්‍රී ලංකාවේ සිට කැනඩාවට පැමිණි, දැන් සිංහලෙන් බහ තෝරන්නට පවා හරි හැටි බැරි, යොවුන් වියේ සිටින මගේ බාලපුතා සෑම රැයකම නින්දට යන්නේ ඉතා පැහැදිලි සිංහලෙන් ‘‘බුදු සරණයි’’ කියා අපට වැඳීමෙන් පසු ය. මා දන්නා තරමට ඔහු ඉතා නිවැරදිව උච්චාරණය කරන එකම සිංහල පාඨය මෙයයි. මෙය කවදා කෙසේ ඇරැඹි පුරද්දක් ද යන්න ගැන මට නිච්චියක් නැතත්, මා දන්නා කලෙක සිට මෙය කරයි.

එය එසේ වූ පමණින් මුළු ශ‍්‍රී ලාංකික සංස්කෘතියම දෙමාපියනට වැඳීම දක්වා ලඝු කරන්නට මගේ මිතුරාට මෙන් මට නොහැකිය. මගේ බාල පුතා අපේ ශ‍්‍රී ලාංකික සංස්කෘතියට අයිති නොවන බව මම හොඳින් දනිමි. එහෙත් වරින් වර අප විසින් ඔවුන්ගේ ජීවිතයට ඇතුලූ කළ පුරුදු මේ ලෙස පවත්වාගෙන යන බව පෙනේ.

දිනක් මගේ බාල පුතාගේම වියෙහි වූ තවත් ශ‍්‍රී ලාංකික මිතුරෙකුගේ පුතෙකු හා ඔහුගේ සංවාදයකට අහම්බෙන් සවන් දෙන්නට මට හැකි විය.

‘‘අපේ දෙමාපියන් හරිම ජාතිවාදීන්.’’ ඒ මිතුරාගේ පුතාය.
(ඉංග‍්‍රීසියෙන් වූ සංවාදයේ ඔහු භාවිත කළ Racist යන්නට ජාතිවාදය කෙතරම් ගැලපේදැයි නොදනිමි.)

‘‘ඔව් ඒක නම් හරියට හරි.’’ මගේ පුතා එය අනුමත කරයි.

‘‘අපේ තාත්තා කලින් වැඩ කරපු තැන දී එයාට කරදර කරපු චීනෙක් නිසා එයා හැම චීන මිනිහෙක් එක්කම තරහයි.’’ මගේ මිතුරාගේ පුතා තම මතය සනාථ කරනු වස් සාධක සපයයි.

‘‘අපේ තාත්තත් එහෙම තමයි.’’ ඒ මගේ පුතාගේ අදහසයි. මම එකවර තිගැස්සුණෙමි. මෙතෙක් කල් සිතා සිටියේ මා ජාතිවාදය පිළිකුල් කරන්නෙකු ලෙසය. එහෙත් පළමුවරට ඊට එරෙහිව මගේ පුත‍්‍රයා සිය ප‍්‍රහාරය එල්ල කරයි. ඔහුට අනුව මා ද ජාතිවාදියෙකි. විශ්ව විද්‍යාල සමයේ මගේ සිංහල මිතුරන් විසින් ඉතා අකාරුණික ලෙස හේතු රහිතව අප හා එකට සිටි දෙමළ සහෝදරයින්ට ගරහන විට ඔවුන් වෙනුවෙන් කතා කළ නිසා සිංහල කොටියා කියා නමක් ලැබු මට, දැන් අපේ පුතා ජාතිවාදියෙකැයි පරිභව කරයි.

‘‘මං පංතියේ ළමයෙකුගේ නමක් කිව්වාම අපේ තාත්තා අහනවා එයා ඉන්දියානුවෙක් ද කියලා. අපට කවදාවත් අපේ පංතියේ ළමයින් මොන ජාතියේ ද කියලා කල්පනා වෙන්නේ නැති වුණාට අපේ තාත්තලාට කෙලින්ම යන්නේ ඔවුන්ගේ ජාතිය හොයන්න.’’

මගේ පුතා සිය මතය සනාථ කළේ එලෙසිනි. එය සත්‍යයකි. පුතා තම මිතුරෙකුගේ නමක් කියන විට එය ඉන්දියානු නමක් නම් හැම විටෙකම වාගේ මා මේ පැනය ඔහුගෙන් අසා ඇත. ජාති වාදය ගැන මෙරට දී අපේ දරුවනට ලැබී ඇති සංවේදීතාවය අපට අපේ රටේ දී කිසිවිටෙකත් ලැබී නැති බව මට දැන් හැඟී යයි. තමන් ජාතිවාදීන් නොවේ යැයි සිතන මා වැනිම ශ‍්‍රී ලාංකික ජාතිවාදීන් අප අතර කෙතරම් සිටිනවා දැයි මට සිතේ. ජාතිවාදය අපේ සංස්කෘතිය හරහා ජාතිවාදයක් නොවන ලෙස අපේ සිත් තුළට කාවද්දා ඇති බව මගේ බාල පුතා මට පෙන්වා දෙයි.

සචින් අරුණෝද් ජයනෙත්ති