Colombo, Featured Articles, Features

සිවා හෙවත් තාරකී – ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ඝාතනය කර වසර පහයි.


ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට වසර 5ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය. ඊට පසු දින සිවරාම්ගේ මළ සිරුර පාර්ලිමේන්තුව අසලින් සොයා ගත්තේය.

1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම්, ජනමාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු මෙන්ම ප්‍රවීන යුධපුවත් විශ්ලේෂකයෙකු සහ ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු විය. 1982 ගාන්ධියන් ව්‍යාපාරයෙන් තම දේශපාලන දිවිය ආරම්භකල සිවරාම් ප්ලොට්, ඩීපීඑල්එෆ් වැනි දේශපාලන සංවිධානවල ක්‍රියාකාරිකයෙක් විය. ජනමාධ්‍යවෙිදියෙකු ලෙස ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ප්‍රධානධාරාවේ මෙන්ම අන්තර්ජාලය පදනම් වූ ප්‍රවෘත්ති මාධ්‍යන් හි දේශපාලන සහ යුදපුවත් විශ්ලේෂකයෙකු ලෙස ක්‍රියාකාරී විය.

මෙවන් ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු, දේශපාලන විශ්ලේෂකයෙකු ලංකාවේ පොලීසියක් ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඝාතනය කලේ ය. එමපමණක් ද නොව ඝාතනය කරන ලද සිවරාම්ගේ සිරුර හමුවුයේ රටේ උත්තරීතරම ආයතනය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියසය දීය. අධිආරක්ෂිත කලාපය තුළදී ය. පොලීසියක් අසලදී පැහැරගෙන ගොස් පාර්ලිමේන්තුවක් අසලදී මිනිසෙකු මරා දැමීමට තරම් ඝාතකයන් ශක්තිමත් වූයේ කෙසේ ද? අධිආරක්ෂිත කළාපයක මෙවන් සිදුවීමක් සිදුකරන්නට හැක්කේ කාටද?

ආරක්ෂක අංශවලට හෝ බලධාරීන්ට විසඳාගැනීමට නොහැකි වූ ගැටලුවද එය යි. නොවිසිදී ඇති ගැටලුවද එයයි. එයින් මතුවන තවත් කරුණක් ඇත. අධිආරක්ෂිත කලාපයක මෙවන් දෙයක් සිදුවීමවත්, විසදාගැනීමට බලධාරීන්ට නොහැකි වූයේ ඇයි.?

කෙසේ නමුත් ඒ ප්‍රවීන දේශපාලන විචාරකයා ඝාතනය කර වසර පහක් නිකම යමින් තිබේ. නමුත් මේවන වටවත් සිවරාම් ඝාතනය කළ ඝාතකයින් හරිහැටි හඳුනාගන්නට බලධාරීන්ට නොහැකි වී ඇත. මෙවන් ඝාතනයන් සිදු වී වසර ගණනාවක් ගතවූත් එයට අදාල ඝාතකයින් සොයාගැනීමට බැරි රටක අනාගතය කෙසේ ‛සුභ අනාගතයක්’ වෙයි ද? මෙවන් මිනිසුන් මරා දමන රටක අනාගතය කෙසේ ‛සුභ අනාගතයක්’ වෙයිද?