ලංකා දේශපාලනයේ දූෂිතභාවයේ තරම පෙන්වන “දේශපාලනික සාදෘශ්‍යයන්” (political anomalies) කලින් කලට ඉස්මතු වේ. මෙය පරිස්සමට කියවා බැලිය යුතු තත්ත්වයකි. විශේෂයෙන්ම, නිදහසින් පසු මේ දක්වාම ලංකාවේ දේශපාලන බලය මාරු වෙමින් පවතින්නේ ප්‍රධාන පක්ෂ දෙක අත පමණක් වන අතර මේ පක්ෂ දෙකේම දේශපාලනික දැක්ම හා හැසිරීමෙහි සැලකියයුතු වෙනසක් නැති බව ප්‍රායෝගික තත්ත්වය දෙස බලන්නෙකුට ඉක්මනින්ම පෙනී යයි. මේ බව සනාථ වන කදිම නිදසුනක් තිබේ. එනම්, මේ දෙකින් කවර පක්ෂයක් බලයට පැමිණියද සිදු වන්නේ පාට මාරුවක් මිස දේශපාලන යාන්ත්‍රණය ආශ්‍රිත ප්‍රතිපත්තිමය ‘පරිවර්තනයක්’ නොවන අතර මැතිවරණයකින් පසුව සිදු වන එකම දෙය නව ඇමති මණ්ඩලයක් පත් කිරීමෙන් ඔබ්බට නොයයි. මීටත් වඩා ප්‍රබල ලෙස මෙම තර්කයට සහාය දක්වන යථාර්තයක් වන්නේ ශ්‍රීලනිප හා එජාප යන පක්ෂ දෙකින් කවරක් ආණ්ඩු පිහිටුවද එහෙට මෙහෙට පනිමින් සදාකාලික ඇමතිකම් ආරක්ෂාකර ගැනීමට සමත් වී සිටින්නන් පිරිසක් (by default ministers) නිර්මාණය වීම කෙරෙහි එය දක්වා ඇති දායකත්වයයි. පවතින ආණ්ඩුව මැතිවරණයකදී බලයෙන් පහකෙරුණද එසැණින්ම ඉන් පසුව බිහි වන ආණ්ඩුවටද පනින මොවුන්ට ඒ යටතේද කැබිනට් හෝ වෙනත් ඇමති තනතුරු හෙබවීමට අවශ්‍ය පරිසරය සකස් වීම තුළ ජනතා පරිමාධිපත්‍යය කොතරම් බාල්දු වීමකට ලක් වනවාද යන්න කීමට වචන නොමැත!

මෙවැනි තවත් එක් දේශපාලනික සාදෘශ්‍යයක් ප්‍රායෝගික තත්ත්වයක් ඇසුරින්ම පෙන්වා දිය හැකිය. එනම්, මහින්දපාලනයේ ජැක්සන් හා යහපාලනයේ සන්නස්ගල යන සාධක දෙකයි. පක්ෂ දේශපාලනය තුළ මේ දෙදෙනාගේම භූමිකාව දෙකක් නොව එකක්මය. එනම්, කොන්දේසි විරහිත වන්දිභට්ටකම හා එය සමාජගත කිරීමට දරන වෑයමයි. අනෙක, මේ දෙදෙනාම යම්තාක් දුරකට සමාජයේ ප්‍රකට නම් දරන දෙදෙනෙකි. එසේම, ජනතාව ඇවිස්සීමට හැකි සංවේදීම උපකරණයක් වන කලාව මේ දෙදෙනාටම සමීපය. එපමණක්ද නොව, රටක දේශපාලනය කෙරෙහි ජනතාව දක්වන ප්‍රතිචාරය තීරණය කරන අධ්‍යාපනය (අන් අයට ඉගැන්වීම) හැසිරවීම අතින් මේ දෙදෙනාම අඩු වැඩි වශයෙන් කිසියම් ප්‍රසිද්ධියක් උසුළති. යම් රටක දේශපාලනයේ හා සමාජ විඥානයේ ස්වභාවය තීරණය කිරීමේදී අධ්‍යාපනයට හිමි වන්නේ කොතරම් තීරණාත්මක භූමිකාවක්ද යන්නට මා මිත්‍ර ආචාර්ය සුරේන් රාඝවන් ලබා දුන් කදිම පැහැදිලි කිරීම වන්නේ අරගලයක් ඇති සෑම විටම පාහේ හැකිතාක් පුස්තකාල ප්‍රමාණයක් විනාශ කිරීමට දරනු ලැබෙන ප්‍රයත්නයන්ගෙන්ම එය මනාව පැහැදිලි වන බවයි. මන්ද, ජනතාවගේ හෘදය සාක්ෂියට ආමන්ත්‍රණය කිරීමේ භාෂාව එතුළ ඇති හෙයිනි. මීට වසර ගණනාවකට ඉහත කාලිංඝ මාඝ අප රට ආක්‍රමණය කළ අවස්ථාවේද ඔහු කළ දේවලින් එකක් වූයේ පොත්ගුල් සංහාරයයි. හිට්ලර්ද නාසි ජර්මනියේ පාසල් පෙළ පොත්වල මුල්ම පිටු කිහිපයෙන් එකක ‘අපේ අසහාය නායක හිට්ලර්’ යන්න මුද්‍රණය කරවන්නට කටයුතු කළේ යමෙකු සිතන පතන ආකාරය කෙරෙහි අධ්‍යාපනය ඇති කරන බලපෑමේ තරම හොඳින්ම දැන සිටි හෙයිනි.

මේ කාරණයේදී මට සිහිපත් වන්නේ අන්තෝනියෝ ග්‍රම්ෂි නමැති අති විශිෂ්ට පශ්චාත්-මාක්ස්වාදී චින්තකයා සිය ‘සිරමැදිරි සටහන්’ අතර හෙජමනිය හා එය සමාජගත කිරීමට අවශ්‍ය සමාජ අවනතිය (consent) එක්රැස් කිරීමේදී ‘බුද්ධිවෘත්තිකයා’ ඉටු කරන කාර්යභාරය පිළිබඳව සිදු කරන විග්‍රහයයි. Intellectuals යන වචනයට ඔහු දෙන්නේ සාමාන්‍ය භාවිතයේ ඇති අර්ථය ඉක්මවා ගිය පුළුල් හා වඩා දේශපාලනික අර්ථකථනයකි. අපි දැනට ඒ සඳහා “බුද්ධිවෘත්තකයා” යන්න යොදා ගනිමු. ඉතාම සරල අර්ථයෙන් ගත් විට, ග්‍රම්ෂිට අනුව ‘බුද්ධිවෘත්තිකයන්’ යනු හෙජමනිය සඳහා අවශ්‍ය සමාජ අවනතිය සංවිධානය කරන පිරිසයි. (“Intellectuals are the deputies of the dominant group”) ජනමාධ්‍ය වැනි උපක්‍රම හරහා ඔවුහු තමන් බැඳී සිටින පන්තියේ අදහස් සමාජගත කිරීමට තැත් කරති. මේ කාර්යයේදී නිර්ප්‍රභූ කණ්ඩායම් අතර එකමුතුවක් ඇති වීම වළක්වනු පිණිස (හෙජමනිය පවත්වාගෙන යාම සඳහා මෙය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි) සමාජය ඛණ්ඩගත කර තැබීමටද ඔවුහු වගබලා ගනිති. සෑම විටම පාලක කණ්ඩායමට විරුද්ධ අදහස් සමාජය තුළින් ඉස්මතු වීම හැකිතාක් අවම කිරීම එහි අරමුණයි.

මා ජැක්සන් හා සන්නස්ගල යන දෙදෙනාම දකින්නේ මේ කුලකයට වැටෙන දෙදෙනෙකු ලෙසය. මොවුන් අතර ඇතැයි මා සිතන එකම වෙනස නම්, පවතින වර්තමානයේ ඔවුන් යා වී සිටින්නේ එකිනෙකට වෙනස් පක්ෂ දෙකකට වීමයි. ජනාධිපතිවරණය ආසන්නයේ (සහ ඊට පෙර සිටම) මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය පුම්බා තැබීම වෙනුවෙන් ජැක්සන් සිදු කළ සියල්ල තවමත් අපේ මතකයෙන් වියැකී නොමැත. ඔහු මහින්දගේ නමට අලුත් අර්ථකථන ලබා දුන්නේය. මහින්ද දුටුගැමුණු රජුගේ මතු නොව බුදුන්වහන්සේගේ පවා ඥාතියෙකි යන අදහස සමාජය තුළ වැපිරීමට ඔහු උත්සාහ ගත් අතර අන්ධ මහින්ද භක්තිකයින් සැලකියයුතු පිරිසක් අතර එය ස්ථාපිත කිරීමට ඔහුට හැකි විය. සිය මුඛරිකම මෙහිදී ඔහුට මහෝපකාරී විය. (මහින්දගේ දේශපාලන භාවිතයේ ප්‍රධානතම උපක්‍රමය ජාතිවාදය හෙයින් සහ වසර ගණනාවක ඉතිහාසය මුළුල්ලේම සිංහලයාට අන්‍ය ජාතීන් සතුරන් ලෙස සිතන්නට හුරු කර ඇති හෙයින් නැතහොත් සෑම විටම සිය ‘සංස්කෘතික අන්‍යයා’ කෙරෙහි සැකයෙන් හා ඔරොප්පුවෙන් බැලීමට හුරු කර ඇති හෙයින් අදටත් මහින්ද වෙනුවෙන් හරාකිරි වීමට කැමති අය සිටින බව සත්‍යයකි)

මෙලෙසම, යහපාලන ආණ්ඩුව පිහිටවූ වහාම සන්නස්ගල සිය දේශපාලනික සබඳතා මත පිහිටා රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ස්වාධීන රූපවාහිනියට රිංගා පවත්වන්නට යෙදුණු ‘සත්‍යාගාරය’ නම් වැඩසටහනේ මූලික අරමුණ වූයේද මහින්ද රාජපක්ෂ හා ඔහුට හිතවාදී පාර්ශ්ව වෙත පහර ගසන අතර එජාපයේ හා රනිල්ගේ ප්‍රතිරූපය උලුප්පා දැමීමයි. ඇත්තෙන්ම සන්නස්ගල යහපාලනය ගැන කතා කළද ඔහුගේ හරය යූ ඇන් පී බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. අනෙක් අතට, ජැක්සන් මෙන්ම සන්නස්ගලද උපක්‍රමිකව ප්‍රයෝජනයට ගත්තේ වචන හරඹ නමැති තීරණාත්මක සාධකයයි. විවිධ රූපවාහිනී සාකච්ඡා හරහා ජැක්සන් විසින් ගොඩනගාගෙන තිබුණු සුවිශේෂී ප්‍රතිරූපයක් තිබිණ. විශේෂයෙන්ම ඔහුගේ මුඛරිකමේ පිහිටෙන් සිය කැමැත්තෙන්ම ‘ඉතිහාසඥයෙකුගේ’ තත්ත්වයට පත්වීමට භාග්‍යයක් ඔහු ලැබ සිටියේය. මේ නිසා ජනතාව අතර මහින්ද වෙත නිල නොවන දේවත්වයක් නැතහොත් පූජනීයත්වයක් ආරූඩ කිරීමට ඔහුට හැකි විය (එහෙත් එය ජනවාරි 08 සහමුළින්ම පරාජය විය). සන්නස්ගලගේ ගේමද මීට දෙවෙනි නැත. ටියුෂන් ව්‍යාපාරය හරහා මෙරට උසස් පෙළ සිසුන්ගේ ඔළු සේදීම තුළින් සහ හිතවත්කම් සහ මුදල්වල පිහිටෙන් කිසියම් ජනප්‍රියත්වයක් හා ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට ඔහුද අපොහොසත් නොවීය. ජනාධිපතිවරණයට කලින් සිටි සන්නස්ගල නමැති මාධ්‍යවේදියා එහෙ බලා මෙහෙ බලන්නට කලින් මහමැතිවරණ දේශපාලඥයෙකු බවට පත් වීමෙන් පෙනී යා හැක්කේ සමහර පැති අතින් සන්නස්ගල මෑත ඉතිහාසයේ ලොකුම හා විහිළුකාරීම වන්දිභට්ටයා ලෙස පෙනී සිටි ජැක්සන්ද අභිබවනු සමත් අයෙකු බවයි.

අප මොවුන් දැකිය යුත්තේ විවිධ යථා හා අයථා ක්‍රමවලින් ගොඩනගා ගන්නා ලද ප්‍රතිරූප උපායමාර්ගිකව භාවිත කිරීම තුළින් පවතින ක්‍රමයට කඩේ යමින් ජනතාවගේ ඔළු විකෘති කර ඉන් ස්වකීය අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමට වෙහෙසෙන දේශපාලනික අවස්ථාවාදීන් ලෙසයි! තමන් සහාය දක්වන පක්ෂය බලයට පත් වූ සැණින් පෞද්ගලික වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම අවස්ථාවාදීත්වයක් නොවේ නම්, අන් කවරක්ද? එසේ කිරීම අනිවාර්ය දේශපාලනික අවශ්‍යතාවක් නම්, සෝභිත හිමි, වියන්ගොඩ වැනි ගෞරවනීය ප්‍රතිසංස්කරණවාදීන්ටද ඉල්ලන්නට ඕනෑ තරම් තනතුරු තාන්න මාන්න ඇති නමුදු ඔවුන් තවමත් එසේ නොකර සිටින බව අප අමතක නොකළ යුතුය.

මේ නිසා, අධිපති පාලනය පෙරළා දමා වඩා ජනතාවාදී හා සංස්කෘතිකවත් නව දේශපාලනික විඥානයක් බිහිකර ගැනීමට අවශ්‍ය නම්, ග්‍රම්ෂි ඒ සඳහා යෝජනා කරන හොඳම විකල්පය වන්නේ නිර්ප්‍රභූ කණ්ඩායම් නියෝජනය කරන නව ‘බුද්ධිවෘත්තිකයින්’ පිරිසක් ඇසුරින් අධිපති හෙජමනියට ප්‍රතිපක්ෂ ප්‍රති-හෙජමනියක් බිහි කිරීම උදෙසා අවශ්‍ය සමාජ අවනතිය එක්රැස් කිරීමට කටයුතු කිරීමයි. එහෙත්, අපේ රටට සාපේක්ෂව කතා කරන කල, ජාතිවාදය, කල්ලිවාදය, අවස්ථාවාදය, ප්‍රතිපත්ති විරහිතභාවය ආදී ලක්ෂණ එකී ප්‍රති-හෙජමනියේ අංග බවට පත් වීම වැළැක්විය යුතුය. කොටින්ම කියනවා නම්, එය ‘මහින්ද දෘෂ්ටිවාදයේ’ ප්‍රතිපක්ෂය මිස එහි තවත් එක දිගුවක් නොවිය යුතුය.

Ashanඅශාන් වීරසිංහ | Ashan Weerasinghe