Image By: rtiodisha

දින 100 වැඩ සටහන සමග දියත් වූ ආණ්ඩුව හරහා රටට ලැබුණු එක් ප‍්‍රධාන ජයග‍්‍රහණයක් වුණේ, තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය නව පාලකයන් විසින් පිළිගනු ලැබීමයි. එහිදී මේ නීතිය ගෙන එනු ලැබුණේ සාමාන්‍ය නීතියක් වශයෙන් නොව, පසුගිය අපේ‍්‍රල් 28 වැනි දා පාර්ලිමේන්තුව මගින් සම්මත කරගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක් කරනු ලැබූ අයිතියක් වශයෙනි. එහෙත් ඒ, ඇතැම් සීමාවන්ට යටත්වයි.

තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ කතිකාව යනු බොහෝ කාලයක් තිස්සේ මේ රටේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අපේක්ෂා කළ මාධ්‍ය ප‍්‍රජාව සහ සිවිල් සමාජය ගෙන ගිය වැදගත් අරගලයකි. ඉහත කී අයිතිය නීතියක් බවට පත්කර ගැනීමේ බොහෝ වෑයම්, පසුගිය ආණ්ඩුවේ නිරන්තර විරෝධය නිසා ව්‍යර්ථ කෙරුණි.

2010 සැප්තැම්බර් මාසයේදී, එදා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය ඊට අදාළ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. එහෙත් එදා ආණ්ඩුවද ඊට අදාළ පනතක් මාස හයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටින බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට කියා සිටි අවස්ථාවේ කරූ ජයසූරියගේ යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට සිදු විය. කෙසේ වෙතත්, එවැනි යෝජනාවක් තමන් විසින් ගෙන එමියි කියමින් ආණ්ඩුව කෙළේ විපක්ෂය ගොනාට ඇන්දවීමක් බවත්, ඇත්ත වශයෙන්ම එවැනි නීතියක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසි උනන්දුවක් ආණ්ඩුවට නැති බවත් ඉහත කී කාලය ගෙවී ගිය පසු අවබෝධ කරගත් කරූ ජයසූරිය, නැවතත් 2011 ජුනි මාසයේදී තමන්ගේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. එවර ආණ්ඩුව කෙළේ, කරූ ජයසූරියගේ යෝජනාව විවාදයටවත් නොගෙන ඡන්ද විමසීමක් පවත්වා පරාජය කරනු ලැබීමයි.

‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ නීතිය සම්මත කර ගැනීමට එදා විපක්ෂය ගත් ප‍්‍රයත්නය ව්‍යර්ථ කිරීමට එකල පැවති ආණ්ඩුවට අනන්තවත් හේතු තිබුණාට සැක නැත. දූෂණය ඉහවහා ගිය පාලන තන්ත‍්‍රයක් හැකි හැම ආකාරයකින්ම නිල මෙන්ම නොනිල වාරණයටත් නිතැතින් යොමු වෙනු නිසැකයි. මන්ද යත්, රටවැසියාගෙන් වැසැංගිය යුතු රහස් බොහොමයක් එවැනි පාලකයන්ට කොහොමත් තිබෙන බැවිනි. එදා ආණ්ඩුවට එරෙහිව නැගුණු ප‍්‍රධාන චෝදනාවක් වුණේත්, අවසානයේ එම ආණ්ඩුව ගෙදර යැවීමට ප‍්‍රධාන හේතුකාරකයක් වුණේත් දූෂණයයි. මේ නිසා, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ නීතියක් වශයෙන් සම්මත වීම වැළැක්වීම සඳහා එම ආණ්ඩුව හැම ප‍්‍රයත්නයක්ම එදා ගැනීම තේරුම්ගත හැකිය.

ජනවාරි 8 වැනි දා පැවති ජනාධිපතිවරණය සඳහා මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ දින 100 වැඩපිළිවෙල තුළ ඔහුගේ ප‍්‍රමුඛතා ලැයිස්තුවේ ප‍්‍රධාන අංගයක් වශයෙන් ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පනතක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීම සඳහන් කොට තිබුණි. එම දින 100 වැඩ සටහන තුළ, පෙබරවාරි 20 වැනි දා එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මාර්තු 20 වැනි දා එය සම්මත කර ගැනීමටත් ප‍්‍රතිඥා දුනි. එසේ වෙතත්, දෙන ලද වෙනත් ඇතැම් පොරොන්දු සේම මෙකී කටයුත්තත් ඉෂ්ට කර ගැනීමට ඔහුගේ ආණ්ඩුවට නොහැකි විය. එසේ වතුදු, බරපතල සීමාවන්ට යටත්ව වුවද, එම විෂය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර ගැනීමට එම ආණ්ඩුව සමත් වීම අප අගේ කළ යුතුය. කෙසේ වෙතත්, දැන් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළම මහජන අයිතියක් වශයෙන් අඩංගුව පවතින ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’, ඊට අදාළ නිසි යාන්ත‍්‍රණයකින් තොරව යථාර්ථවාදීව ක‍්‍රියාත්මක කළ නොහේ. ඒ සඳහා, තොරතුරු දැන ගැනීම සඳහා ජනතාවගෙන් ඉදිරිපත් වන ඉල්ලීම් නියාමනය කිරීමට සේම, එම ඉල්ලීම් රාජ්‍ය නිලධාරීන් විසින් නොසළකා හරින විට කටයුතු කිරීමටත්, නිසි යාන්ත‍්‍රණයක් අවශ්‍ය කරන්නේය.

මේ නිසා ඒ සඳහා තවත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබේ. එවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිත් කිරීම සඳහා දැනට සූදානම් කොට ඇති බව, මීට දින කිහිපයකට පෙර මාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේ නුවරදී ප‍්‍රකාශ කොට ඇත.

මෙය, ජනතාව සඳහා ඉතා අත්‍යාවශ්‍ය යාන්ත‍්‍රණයකි. විශේෂයෙන්, මාධ්‍ය ප‍්‍රජාවට එය අදාළ වෙයි. මන්ද යත්, පසුගිය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ කාලය අතරතුර ඉතා සක‍්‍රීය ඉල්ලීමක් වශයෙන් පැවති මෙම ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ කතිකාව, එම මැතිවරණ අවසන් වීමෙන් පසු අද වන විට කෙමෙන් වියැකී යන බවක් පෙනෙන්ට ඇති බැවිනි.

පෙනෙන්ට ඇති පරිදි, දූෂණය ගැන කතා කිරීමට පවා දැන් ඉන්නේ ඉතා සුළු පිරිසකි. අනිත් අතට, පසුගිය මැතිවරණය සඳහා ඇතැම් දේශපාලඥයන් වියදම් කොට ඇති අධික ධනස්කන්දය දෙස බලන විට, ඉදිරියේදී මතුවීමට නියමිත දූෂණ චෝදනා තවත් වැඩි වෙනු නිසැකයි. එසේම, එදා බරපතල දූෂණ චෝදනාවන්ට ලක්ව සිටි ඇතැම් දේශපාලඥයන් දැන් වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන් වශයෙන් පත්ව සිටින තත්වය තුළ මෙය තවත් බරපතල කාරණයක් වන්නේය.

මේ නිසා, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැංවිය හැකි නිසි යාන්ත‍්‍රණයක්, අඩු වශයෙන් දූෂණයෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රටට ඇති කර ගැනීම සඳහාවත් නැතිවම බැරි කොන්දේසියකි. මේ කතිකාව පිළිබඳ උනන්දුව කෙමෙන් වියැකී යන තත්වයක් තුළ සහ අළුතෙන් තවත් දූෂණ චෝදනා දේශපාලඥයන්ට එරෙහිව අනාගතේ එල්ල වීමට නියමිත තත්වයක් තුළ, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ නීතිගත කිරීම පස්සට තල්ලූ වීමට ඇති ඉඩකඩ වැඩි ය. මේ නිසා ඒ ගැන ඇස් ඇරගෙන සිටීමටත්, ඊට අදාළ මහජන උනන්දුව නොකඩවා පවත්වා ගැනීමටත් වගකීමක්, මාධ්‍ය ප‍්‍රජාවට සේම සිවිල් සමාජයටත් ඇත්තේය.

*2015 සැප්තැම්බර් 15 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ Wake Up to the RTI මැයෙන් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි