සිංහල, Democracy, Human Rights, Peace and reconciliation

විමුක්ති කොටි සංවිධානයේ සුන්දර සිනහව මිලින වූ පසු …

අවස්ථාවක් ලද සැණින් සිය අරමුණ ඉටු කර ගැනීම උදෙසා කි‍්‍රයාත්මක වීම, ගරිල්ලා සංවිධානයක ස්වභාවය යි. දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන සැලසුම්වලට අමතරව හදිසියේ එළැඹෙන ඕනෑම අවස්ථාවක් සිය වාසිය පිණිස යොදා ගැනීම එහි උපක‍්‍රමික භාවය යි. සිය නායකත්වයේ සිට බිම් මට්ටම දක්වා ඕනෑම සමාජිකයෙක් එ් වෙනුවෙන් කැපකිරීමේ හැකියාව සංවිධානාත්මක හා විනය ගරුක ගරිල්ලා සංවිධානයකට හිමි ය. ලොව ප‍්‍රබලතම ගරිල්ලා ව්‍යාපාරය සේ සැලකෙන දමිළ විමුක්ති කොටි සංවිධානය එ් අතින් ඉහළ තලයක සිටින බව ඊට විරුද්ධ හා පක්ෂ සෑම දෙනාම පාහේ පිළිගන්නා කරුණකි. එ බැවින් තමිල් චෙල්වම් යනු ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් දිවි කැප කළ තවත් එක් සගයෙක් පමණක් වීම ද පිළිගත හැක. එහෙත් ඔහු දේශීයව මෙන්ම විදේශීයව ද විමුක්ති කොටින්ගේ ප‍්‍රතිරූපය බඳු සුවිශේෂී පුද්ගලයෙක් වීම සැලකිල්ලට ගත යුතුම ය.

රටක බහුතරය යුද මානසිකත්වයෙන් උන්මාදනීය මොහොතක ඊට එරෙහි විවේචන එල්ල කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර නැත. තමිල් චෙල්වම් වැන්නෙකු ඝාතනයට ලක් වූ පසුව එම තත්ත්වය තවත් තීව්ර වී ඇත. දකුණේ බොහෝ දෙනෙක් චෙල්වම් ගේ මරණය ජාතික ගැටලූව නිම කිරීම සඳහා සාධනීය සාධකයක් සේ සලකා කතා කරනු ඇසිණි. චෙල්වම් ගේ මරණය දක්වා එල්.ටී.ටී.ඊ නායක මට්ටමේ එකෙක් ඉලක්ක කරගත් ගුවන් ප‍්‍රහාර කීයක් නම් එල්ල වන්නට ඇද්දැයි මේ කිසිවෙකුත් ප‍්‍රශ්න නො කරන්නේ ය. මොහොතින් මොහොත උද්ධමනය ඉහළ යන විට යුද්ධය සඳහා වැයවෙන ධනස්කන්ධය මොවුන් හට ප‍්‍රශ්නයක් නො වන්නේ, යුද උන්මාදනීය ස්වයං රමණයෙන් මෝහනය වී සිටින නිසා ය. එසේම රටේ සමහර ප‍්‍රදේශයන් හි ඇතැම් හු චෙල්වම් ගේ මරණය අසා ප‍්‍රීතිවනු වස් රතිඤ්ඤා පත්තු කළ බව අසන්නට ලැබුණි.

රට තුළ වඩාත් කතා බහට ලක්වූවෙක් ඝාතනය කිරීමෙන් පසු එම ආරංචිය පැතිර යත් ම ඊට පක්ෂපාතීත්වය හා උද්දාමය සංකේතවත් කරනු පිණිස මෑත ඉතිහාසයේ රතිඤ්ඤා පත්තු කළ පළමු වතාව වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා අත් අඩංගුවට ගෙන මරා දැමීමේ සිද්ධිය යි. ඉන් අනතුරුව දෛවය විසින් ඊට බඳුන් කළේ හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස ඝාතනය වූ අවස්ථාව යි. වත්මනෙහි තමිල් චෙල්වම් මහතා ඝාතනය යි.

මේ සිද්ධීන් තුන වෙන් වෙන් ව ගත් කළ සැබෑ ලෙස ම, එකිනෙකට වෙනස් කාල පරාසයන් තුළ – එකිනෙකට වෙනස් සිද්ධිදාමයක් තුළ – එකිනෙකට වෙනස් සමාජ පරිසර තුළ සිදු වන්නකි. එහෙත් සමගාමී හා සමාන අරමුණක් එ් මිනිසුන් තුළ වූයේ ය. එනම් දේශපාලනික භාවය යි.

ඉහත සඳහන් කළ දේශපාලනික චරිත තුනම ඝාතනයට ලක් කළෝ ඔවුන්ගේ සතුරෝ වූ හ. ඔවුන්ට අනුව ඔවුහු ත‍්‍රස්තවාදියෝ ය. දෙ පාර්ශවෙන් – දෙ පාර්ශවයට එල්ල වන්නේ එම චෝදනාව ය. ලංකාව තුළ මෙ තෙක් ත‍්‍රස්තවාදය නිර්වචනය කර නො මැත. එ බැවින් මේ හඳුන්වන ත‍්‍රස්තවාදය යන්නට එ් අර්ථයෙන් එකඟ නො විය යුත්තේ ය.

බලය යනු අවි අත දැරීමට ඇති අයිතිය යි. බලය ව්‍යවස්ථානුකූල ව ලබා ගත්තවුන් හට අවි අත දැරීමට අයිතිය ඇත යනු එයම ය. එ් අනුව ඉන් බාහිර ව අවි පරිහරණය කිරීම ත‍්‍රස්තවාදය ලෙස හඳුන්වන බවක් හැෙඟ්. ව්‍යවස්ථානුකූලව අවි අත දැරීම දේශපාලනික ය. මේ දේශපාලනික කි‍්‍රයාවලිය තුළ අවි දැරීම කාලයක් තිස්සේ සුලබ ය.

එ ලෙස සමාජ අවධි කිහිපයක් පසු කර අද අපි මෙ තැනට පැමිණ සිටින්නෙමු. කෙසේ වෙතත් දියුණු යැයි සම්මත මේ යුගයේ පවා දේශපාලනික උවමනාවන් ඉටුකර ගැනීම උදෙසා අවි දැරීම තුළ ප‍්‍රචණ්ඩත්වය නිර්මාණය වේ. එසේ හෙයින් මෑත යුගයේ අප රටේ ද බලය හිමි කරගත්තෝ ප‍්‍රචණ්ඩත්වය තුළින්ම ය.

දකුණේ විප්ලවවාදී ( එවක මාක්ස්වාදී * කණ්ඩායමක් එ් ක‍්‍රමය අනුගමනය කරන තැනට පත් වීම ඔවුන්ගේ ප‍්‍රතිවාදියාට අනුව ත‍්‍රස්තවාදී ය. එ ලෙසම උතුරේ ජාතිකත්වයක කණ්ඩාමක් එ් ක‍්‍රමයම අනුගමනය කරන තැනට පත් වීම ත‍්‍රස්තවාදී ය.

ඕනෑම සමාජයක දී බලය හිමි කර ගන්නා බහුතර වර්ගය වෙතින් සුළුතරය පීඩාවට පත් වෙයි. මෙය මාක්ස්වාදී මූල ධර්මයන්ට ද අනුකූල විග‍්‍රහයකි. ජාතිකත්ව අරගල සැසඳීමේ දී මෙය කදිමට ගැළපේ. ඉඟියෙන්, වචනයෙන්, ක‍්‍රියාවෙන් ඇති කරනු ලබන වෙනස්කම් පීඩිත පාර්ශ්වය ඉවසා නො සිටින කල ගැටුම නිර්මාණය වේ. අද වන විට ලංකාව තුළ එය යුද්ධය ලෙස අර්ථ ගන්වා ඇත.

දශක පහකට අධික කාලයක් කැකෑරුණු ගැටලූව, දශක තුනකට අධික කාලයක් වර්ධනය වූ ගැටුම්කාරී පසුබිමක් තුළ අර්බුදයක් නිර්මාණය කොට තිබේ. එහි එක් ප‍්‍රකාශනයක් වන අවි ගැටුම් හමුවේ ආසන්න වශයෙන් ඝාතනයට ලක් වූ ප‍්‍රධාන චරිතය තමිල් චෙල්වම් මහතා ය. දකුණේ ඇතැම්හු ප‍්‍රීති ප‍්‍රමෝදයට පත්වූයේ මේ ප‍්‍රථිඵලය කණ වැකී ය.

චෙල්වම්ට පමණක් නොව විජේවීරට, පේ‍්‍රමදාසට රතිඤ්ඤා පත්තු කළේත් මේ ජන විඥාණයම ය. මෙදා ඊට අනුකූලතාව දක්වමින් පෝස්ටර්, බැනර් හා ප‍්‍රකාශන ද එළි දුටුවේය. එසේ ඊට අනුගත වන්නන් දේශපේ‍්‍රමී ය. දේශහිතෛෂී ය. ජාතිමාමක ය. අවසානයේ සියල්ලෝම සිංහල බෞද්ධයෝ ය. මේ සිංහල බෞද්ධයාට, අර්නස්ට් හෙමිං වේ ගේ එක් වැකියක් පමණක් මතක් කරමි.

”මිනිසා විනාශ කළ හැකිය – එහෙත් පරාජය කළ නො හැකි ය”.

ජනිත් විපුලගුණ
2007 නොවැම්බර් 05