සිංහල, Colombo, Democracy, Governance, Media

පිලිපීනය ජනාධිපතිවරණය – අතරමං වූ කහ විප්ලවයට තවත් ඇකිනෝ කෙනෙක්

විසි ලක්ෂයක් මහා ජනයා පිලිපීනයේ වීදි අල්ලා ගෙන විසිවසරක් හමුදා යකඩ සපත්තුවෙන් එරට පාලනය කළ ඒකාධිපතියා පෙරළා දැමූ වසර ඔබට මතක ද? ශ්‍රී ලංකාවේ ද රූපවාහිනී නරඹන්නන් තිරයට ඇලී ඒ මහා ජනකාය මහ පොළව දෙදෙරවනු බලා සිටි ඒ වර්ෂය 1986 විය. දැන් ඒ කහපාට නිරායුධ විප්ලවයට වසර විසිපහකට ආසන්න ය. එම නිරායුධ විප්ලවයට කහ විප්ලවය යන නම ලබා දුන්නේ පිලිපීනය සිය හමුදා දඬු අඩුවෙහි ලා පාලනය කළ පර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ මිනීමරු හමුදා විසින් ඝාතනය කරන ලද ජනප්‍රිය දේශපාලඥවකු වූ බෙනිග්නෝ ඇකිනෝගේ ආධාරකරුවන් විරෝධතාවයන් සඳහා පැළද සිටි කහපටි නිසා ය. එකී මහජන නැගිටීම හමූයේ මාර්කෝස් ඇමෙරිකාවට පලා ගිය අතර ඝාතනය කරන ලද සෙනෙට් සභිකයාගේ වැන්දඹු බිරිඳ කෙරාසෝන් අකීනෝ පශ්චාත් ඒකාධිපති යුගයේ ප්‍රථම ජනාධිපතිධුරයට පත්විය.

දැන් තවත් ඇකීනෝ කෙනෙකු පිලීපිනයේ ජනාධිපතිවරයා වීමට ආසන්න ය. පසුගිය 10වන සදුඳා පැවැති එරට ජනාධිපතිවරනයෙන් විසි පස් වසරකට පෙර ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය වූ කෙරාසෝන් ඇකීනෝගේ පුත්‍රයා වන නොයි නොයි ඇකීනෝ ජය දිනන බවට ජනමත සමීක්ෂන පෙන්වා දී තිබුණි. මෙම ලිපිය ලියන 12වන බදාදා සවස් වනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව නොයි නොයි ඇකීනෝ ජන්ද 41%ක් ලබා ඉදිරියෙන් සිටී. ඔහුගේ ලඟම ප්‍රතිවාදියා වන ජෝශප් එස්ට්‍රාඩා ලබා ගෙන ඇත්තේ ජන්ද 26%ක් තරම් ය.

පිලිපීනයේ ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට මෙරට මෙන් 50% ඉක්මවා ජන්ද ලබා ගැනීමට අවශ්‍ය නැත. ඉදිරිපත් වන ජන්දදායකයින් අතරින් වැඩිම ජන්ද ලබා ගන්නා අපේක්ෂකයා ජනග්‍රාහකයා ලෙස නම් කැරේ. දෙවන මනාප යැයි ක්‍රමයක් එරට නැත. තවත් කැපී පෙනෙන ලක්ෂණයක් නම් ජනාධිපති තනතුරු දැරිය හැකි වන්නේ එක් ධුරකාලයකට පමණක් වීමයි. ජනාධිපතිවරණ ධුර කාල බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ධුරකාල දෙකකට සීමා කර ඇත්තේ විධායක බලය තනි පුද්ගලයකු විසින් දීර්ඝ කාලයක් පාවිච්චි කිරීම අනිසි විපාක ගෙන දිය හැකි නිසා ය. පිලිපීනය ඒ අතින් තවත් ඉදිරියට ගොස් ජනාධිපතිධුරය එක් වතාවකට සීමා කොට තිබේ. ශ්‍රී ලංකාවේ දැන් විධායක ජනාධිපතිධූරය කිසිදු කාල සීමාවකට යටත් නැති ජීවිතාන්තය දක්වාම සිටිය හැකි ධුරයක් ලෙසට වෙනස් කිරීමට නියමිත ය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිලිපීනයේ ද වසංගතයකි. විශේෂයෙන්ම දුර බැහැර දූපත් හි තවමත් විවිධ සන්නද්ධ කල්ලි පවත්වාගෙන යන රදළ ඉඩම් හිමි පිරිස් නීතියේ පාලනය සළකන්නේ නැත. මෙම ජනාධිපතිවරණ සහ කොන්ග්‍රස් සභා මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිසා ඝාතනය වූ 100 ඉක්මවූ බව මැතිවරණ නිරීක්ෂන කණ්ඩායම් වාර්තා කළේ ය. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කිරීමට ප්‍රයෝගික පියවරක් නොගෙන ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා මෙන් ආතතියෙහි ගැලී සිටිනු වෙනුවට පිලිපීනයේ මැතිවරණ කොමිසම විද්‍යුත් නොහොත් ඉලෙක්ට්‍රෝනික ජන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේ ය. එම ක්‍රමය බාවිත නොකරන ලෙස හෝ ජනධිපතිවරණය කල් දමන ලෙස විවිධ දේශපාලන පක්ෂ කල බලපෑම් මැතිවරණ කොමිසම ගනන් ගත්තේ නැත. මැතිවරණ දිනයෙහි ජන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍ර 400ක් ක්‍රියා විරහිත විය. එනමුත් එමගින් අතහැරුණු ජන්ද සංඛ්‍යාව 0.05% ක් බව කියූ මැතිවරණ කොමිසම එම ජන්ද පොළ සඳහා මැතිවරණයක් පැවැත්වීමට යෝජනා කළේ ය. පිලිපීන මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට මැතිවරණ දිනයේදීම ප්‍රතිපල ලැබෙන පරිදි ප්‍රකාශ කිරීම මෙවර ඇරඹුණේ මෙම ජන්දය දීමේ ඉලෙන්ට්‍රෝනික යන්ත්‍ර භාවිතය නිසා ය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලේ උච්චතම සිදුවීම වූයේ මින්ඩනාවෝ ස්වායත්ත ප්‍රන්තයේ දී මැතිවරණ ප්‍රචාරක කටයතු පිණිස යමින් සිටි 53 දෙනෙකු විරුද්ධවාදී නාම යෝජනා වැළැක්වීම පිණිස පසුගිය නොවැම්බර් 23 දා එක තැන ඝාතනය කිරීම යි. ලොකයේ එකම තැන මරා දැමුනු වැඩිම ජනමාධ්‍ය කණ්ඩයම ද මෙම සමූළ ඝාතනයට ගොදුරු විය. එනම් තිස් දෙදෙනෙකි. 2009 වර්ශයේ දී පමණක් මාධ්‍යවේදීන් 18 දෙනෙකු මරා දමා ජනමාධ්‍ය ඝාතන අතින් වාර්තා තබා ඇති පිලිපීනයේ මෙම සමූළ ඝාතනය අන්තර් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාවේ මහත් හෙළා දැකීමට ද ලක් විය. මෙම ඝාතනය පසු පස ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා ෂස්ඩි අම්පාතුන් සහ ඔහුගේ සහෝදර නගරාධිපතිවර අක්මඩ් අම්පාතුන් සිටින බවට චෝදනා එල්ල විය. දෙදෙනාම අත් අඩංගුවට ගැනුණි. එනමුත් ජනාධිපතිවරණයට සති තුනක් තබා දේශපාලන බලපෑම් මත විනිසුරු විසින් එම චූදිතයන් දෙදෙනා නිදහස් කරන ලද්දේ සාක්ෂි නැතැයි යන පදනම මත ය. දේශපාලන හේතුන් මත පුද්ගලයන් සිර බාරයට ගැනීමත් නිදහස් කිරීමත් ශ්‍රී ලංකාවේ දැන් සාමාන්‍ය සිදුවීමකි. එවැනි අවස්ථාවන්හි කරබාගෙන සිටීම යහපත් නිලධාරීන්ගේද සිරිත බවට දැන් පත් වී තිබේ. නමුත් ශත්කිමත් සිවිල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් ඇති පිලිපීනයේ සිදුවූයේ වෙනත් දෙනකි. මෙම සමූළ ඝාතනයේ චූදිත දේශපාලනඥයින් නිදහස් කිරීම හෙළා දකිමින් ප්‍රන්තයේ නීතිපති සහ එම දෙපාර්ථමේන්තුවේ නීතිවේදීහු ප්‍රකාශයක් නිකුත් කළහ. ඔවුන් කියා සිටියේ මෙමගින් විපතට පත් පිරිස් වෙත සාධාරණය ඉටුවීම වැළැක්වෙන බව යි. එපමණක් ම නොවේ. මෙළෙස නිදහස් වූ ආණ්ඩුකාරයා සහ නගරාධිපතිවරයා තමන්ගේ සහාය ජය දිනන බවට පෙනෙමින් තිබූ නොයි නොයි ඇකීනෝට ලබා දෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ විට ඇකීනෝ ඒ දෙදෙනාට මෙසේ කීවේ ය:


“ බොහොම ස්තූතියි. මට ඔබේ සහාය අවශ්‍ය නැහැ”

පිලිපීනය දූපත් 7,100ක් සහිත කොදෙව්වකි. ලූසෝන්, විසයාස් සහ මින්ඩනාවෝ ලෙස මෙම දූපත් සමූහය කාණ්ඩ තුනකට බෙදී තිබේ. අගනුවර මැනිලා පිහිටි ඇත්තේ ලූසෝන්හි ය. ජනගහණය මිලියන 90 කි. භාෂාව තගලොග් ය. ඉංග්‍රිසිය ද බෙහෙවින් පාවිච්චි වේ. 2006 සංඛ්‍යා ලේඛන අනුව මිලියන 27ක් ජීවත් වූයේ දවසක ආදායම ඩොලරයක් වන දුප්පත්කමේ සීමාවට යටිනි. එනම් ජනගහනයෙන් සෑම තුන් දෙනෙකුටම එක් අයෙක් තරම් ය. ජනගහනයෙන් 44%ක දවසක ආදායම පවතිනනේ එක්සත් ජනපද ඩොලර් 02 සීමාවේ ය.

දූගීබවයේ සහ අඥාදාකත්වයට පිළිතුරක් ලෙස ශක්තිමත් වූ විප්පලවාදී කොමියුනිස්ට් ව්‍යාපාරයක් 1980 ගණන් මැද බාගය දක්වා පිලීපීනයේ වාම විකල්පය ලෙස මතුවමින් පැවැතුණි. එහි සන්නද්ධ අංශය වූ නව මහජන හමුදාව එරට දිසා 83න් 69 ක ක්‍රියාත්මක විය. එයට පුහුනු භටයන් 25,000ක් සිටියේ ය. ඊට අමතරව පිලිපීනයේ ශක්තිමත්ම ගොවි ව්‍යාපාරය තිබුණේ එහි මඟ පෙන්වීම යටතේ ය. ජාතික ප්‍රජාතන්ත්‍ර පෙරමුණ නමින් ගොඩ නඟා තිබූ පුළුල් පෙරමුණ කරා බුද්දිමතුන්, කලාකරුවන්, ආගමික නායකයින් ආකර්ශනය වෙමින් පැවැතුණි. එය සතු ජනමාධ්‍ය ජාලය ද විස්තීර්ණ විය. එකළ පර්ඩිනන්ඩ් මාර්කොස් ගේ අඥාදායකත්වය පරාජය කළ හැකි එකම බලවේගය ලෙස පෙනෙන්නට තිබුනේ නව මහජන හමුදාව සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යි. එසේ නමුත් 1986 දී මාර්කොස් විරෝධී මහාජන ව්‍යාපාරය පැන නැගුණු කළ එය සමඟ ගමන් කරනු සහ ඊට නායකත්වය දෙනු වෙනුවට මහජන නැගිටීම ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරයකැයි තීරණය කළ කොමියුනිස්ට් පක්ෂය ඉන් කර ඇරියේ ය. ඒ සා ශක්තියක් තිබූ පිලිපීන කොමියුනිස්ට් ව්‍යාපාරයේ අවගමන ආරම්භ වූයේ එතැනිනි. අද අඩපණව ගිය එහි ඇත්තේ සටන්කරුවන් 8000ක් පමණ ය. නාගරික ප්‍රජාව අතර එහි බලපෑම ඉතා දුර්වල ය.

අනිත් අතින් දූගී බාවයේ ම විපතක් ලෙස බල පුලුවන්කාර පිරිස් කරා වූ දේශපාලන ආකර්ෂනය ද පිලිපීනයේ දැකිය හැකි වර්ධනයකි. මාර්කොස් එළවා දමන ලද අවස්ථාවේ දී රටින් පැන ගොස් පසුව යළි පැමිණි ඔහුගේ බිරිඳ ඉමෙල්ඩා මාර්කෝස් මෙවර කොන්ග්‍රසයේ අසුනක් සඳහා තරඟ වැදුනේ ය. මාර්කෝස් දියණිය ඉමී ආණ්ඩුකාර තනතුරක් සඳහා තරඟ කළ අතර පුත්‍රයා පර්ඩිනන්ඩ් කනිෂ්ඨ දැනටමත් කෝ‍රන්ග්‍රස් සභිකයෙකි. මාර්කොස් පාලනය බිඳ පෙරළා දැමුනු අවස්ථාවෙහි දී ඉමෙල්ඩා ප්‍රසිද්ධ වූයේ ඇය සතුව තිබූ පාවන් යුගල 3000ක් විසින් සංකේතමත් කළ නාස්තිකාර ජීවන රටාව වෙනුවෙනි. නමුත් අද ඇය ඇගේ බල ප්‍රදේශයේ දේශපාලන චරිතයකි.

මෙවර ජනාධිපතිවරණයේ අනෙක් ඉදිරිපෙළ අපේක්ෂකයින් දෙදෙනො ද එවැනි සුවිශේෂ චරිත දෙකක් විය. වත්මන් ජනාධිපතිනි ග්ලෝරියා අරෝයෝගේ ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ මැනුවල් බම්බා විලාර් දුප්පතකුව සිට මහා ධනපතියකු බවට පත් අයෙකි. නිවාස ඉදිකිරීමේ සමාගමක් සතු විලාර් කියා සිටියේ තමා පොහොසත් වු පරිදි පිලිපීනයම පොහොසත් කිරීමට තමන්ට හැකි බව යි. අනෙක් චරිතය 2001 වර්ශයේ දී මහජන ව්‍යාපාර මගින් පෙරළා දැමුණු හිටපු ජනාධිපති එස්ට්‍රාඩා ය. අනතුරුව දූෂණ චෝදනා උඩ ඔහු වසරකට සිර ගත කරන ලදී. හිටපු ජනප්‍රිය චිත්‍රපට නළුවකු වන එස්ට්‍රාඩා මෙවර පෙනී සිටියේ දුප්පතාගේ හිතවතා ලෙස ය.

මේ දෙදෙනා පැරද වූ පනස් හැවිරිදි නොයි නොයි ඇකීනෝ අයකු විසින් හැදින්වූයේ ධනපතියාට සහ වයසක නළුවාට එරෙහි සාන්තුවරයා කියා ය. ඔහු නියෝජනය කරන්නේ ලිබරල් පක්ෂ යි. පිලිපීනය විසිතුන් වසරක් පුරා බලා සිටින ප්‍රජාතන්ත්‍රවාදය හා බැඳුණු සමෘද්ධිය ලබා දීමට ඔහු සමත්වනු ඇත්දැයි කීමට තවම කල් වැඩිය. 1986 සිට ම පිලිපීනයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගත්තේ දේශපාලනඥයින් විසින් නොව කහ විප්ලවය විසින් පණ පොවන ලද ශක්තිමත් සිවිල් සමාජය විසිනි. එරට දේශපාලඥයින් පමණක් නොව සන්නද්ධ නව මහජන හමුදාව ද සිවිල් සමාජ කතිකාවන්ට ගරු කරති. ජනාධිපතිවරණ දිනයෙහි කොමියුනිස්ට්වාදී නව මහජන හමුදාව සැඟව සිට එල්ල කළ ප්‍රහාරයකින් යුද හමුදා සෙබළුන් 04 දෙනෙකු සහ මැතිවරණ නිලධාරීන් තිදෙනෙකු මිය ගිය අවස්ථාවෙහි සිවිල් සමාජ බලපෑම නිසා නව මහජන හමුදාව වහාම මැතිවරණ නිලධාරීන් මිය යෑම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කිරීම ඊට නිදසුනකි.

පිලිපීනයෙහි කහ විප්ලවයේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් බිදී විසිරී යා නොදී පවත්වා ගෙන යන්නේ විවිධාකාර වූ එකී සිවිල් ජනතා ව්‍යාපාරයන් ය. ප්‍රජාතන්ත්‍රවාදී මාවතින් බලයට පැමිණ ඒකාධිපති මවත කරා යෑමට උත්සාහ කළ දේශපාලනඥයින් පලවා හැරීමට සමත් වුයේ ද එකී ව්‍යාපාරයන් ය. අලුත් ජනාධිපති නොයි නොයි ඇකීනෝ සම්බන්දයෙන් ද සමජමය විගණනයක් පවත්වා ගෙන යමින් බලයේ තුලන සහ සංවරණය මෙන් ක්‍රියා කිරීමට පිලිපීන සිවිල් ජනතා ව්‍යාපාර සමත් වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ආරක්ෂාව එය යි.

සුනන්ද දේශප්‍රිය