සිංහල, Democracy, Human Rights, Human Security, Media, Peace and reconciliation

දෙසැම්බර් 02 දා කතන්දර කිහිපයක්….

මුරලි බූස්සට….??


image419.jpg

2007 දෙසැම්බර් 02 දා මෙරට ඉතිහාසයේ නොමැකෙන දවසකි. මුත්තයියා මුරලිදරන් එදින ලෝක වාර්තාවක් සම කළේය. ඉන්පසුදා ඔහු එම වාර්තාව බිද දැමුවේය. ‍

දැන් කවුරුත් කතා කරන්නේ මුරලි ගැනය. ඔහුගේ ලෝක වාර්තාව ගැනය. ඒ කතා කරන කවුරුත් මුරලිට සුබ පතති. සමහරු තෑගි දෙති. පෝස්ටර් ද ගසති. සිංහල, දෙමළ, මුස්ලිම් වෙනසක් නැත.

හැබෑටම මුරලි ක්‍රිතට් නොගැසුවා නම් දෙසැම්බර් 02 දා ඔහුගේ ඉරණම කුමක් වෙන්නට ඉඩ තිබුණේද?

එදා ඔහු කොළඹ ආවා නම් අතරමගදී පොලීසිය ඔහුගෙන් දහසක් ප්‍රශ්න අසනු නිසැකය. අවසානයේ රදවාගැනීමේ නියෝග යටතේ ඔහු බූස්සේ යැවීමට වුව ඉඩ තිබුණි.

එය එසේ වී නම් මුරලි ගැන කවුරුත් කතා කතා නොකරනු ඇත. පෝස්ටර් ගැන කවර කතාද?

ඉතින් ආදරණීය දෙමළ අම්මේ, ආදරණීය දෙමළ තාත්තේ, ඔබේ දරුවා මතු යම් දිනෙක මේ රටේ පාරක ගමන් කළ යුතු නම් ඔහුට දුස්රාව පුරුදු කරන්න.

* * * * * * * * * ** * * * * * * * * * * ** * * * * * * *

කළු අග්ගල ප්‍රකාශනය

බදුල්ලේ සිට කොළඹ බලා එන රාත්‍රී බස් ථය කළු අග්ගල පොලිස් මුරපොළේ නතර කරන විට වේලාව රාත්‍රී 3.00 පසු වී තිබුණි.

”බහින්න..බහින්න..බෑග් මලු අරගෙන ඔක්කොම බහින්න…”

‍පොලිස් භටයෙක් පා පුවරුවේ සිට හඩ නැගීය. වියපත් උදවිය හා ආරක්ෂක අංශවල සේවයේ නියුතු වූවන් හැර සාමාන්‍ය මගීන් බසයෙන් බැස පෝලිමට එක්වීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

හමුදාවේ සේවය කරන බැවින් මගේ මිතුරාට බසයෙන් බැසීමට අවශ්‍ය නොවීය. (මට මේ කතාව කීවේ ඔහුය) මිතුරාගේ අසුනට ඉදිරිපස අසුනේ වාඩිගෙන සිටියේ වියපත් මුස්ලිම් ජාතික මගියෙකි. අසනීප බවක්ද පෙනෙන්නට තිබුණි. එනිසා ඔහුද බසයෙන් නොබැස බසය තුළම රැදී සිටියේය. තවත් එබදු සිංහල මගින් දෙදෙනෙක්ද එසේ රැදී සිටියහ.

මගී පරීක්ෂණය සිදුවෙන අතර තවත් පොලිස් නිලධාරියෙක් බස් රියට ගොඩ වැදුණි. බසයෙහි අසුන්ගෙන සිටි සියලු දෙනා වෙත ගමන් කර සැක හැරගත් එම නිලධාරියා අවසානයෙහි නැවතුණේ මුස්ලිම් මගියා අසලය.

”මුස්ලිම් නේද?”
”ඔව් සර්”
”මුස්ලිම් නං දෙමළ නේද කතා කරන්නෙ? බහිනව, බහිනවා..”

වටපිට බැලූ වියපත් මුස්ලිම් මගියා හෙමින් හෙමින් බසයෙන් බැස පෝලිමට එක් විය.

දෙමළ වීම පමණක් නොව, දෙමළ භාෂාව දැනගෙන සිටීමද ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කළු අග්ගලදී එසේ ප්‍රකාශයට පත් විය.

* * * * * * * * * * ** * * * * * * * * * * ** * * * * * *

රාළහාමිගේ ඊළාම් පෝලිම

120 ලංගම බස් රථයක් වැල්ලවත්ත රෙදිමෝල අසල පොලිස් මුරපොළේ සුපුරුදු ලෙස නතර කෙරුණි.

මගීන් බසයෙන් බැසීමට පෙර දොරටුව වෙත පැමිණි පොලිස් භටයෙක් කෑ ගසන්නට විය.

”සියලු දෙනාම බස් එකෙන් බැහැලා පෝලිං දෙකක් හැදෙන්ඩ…”

සාමාන්‍යයෙන් පෝලිං දෙක හැදෙන්නේ ස්ත්‍රී සහ පුරුෂ යනුවෙනි. එහෙත් මෙහිදී තත්ත්වය වෙනස් විය.

”සිංහල අය එක පෝලිමකට යන්ඩ..දෙමළ මුස්ලිම් අය අනෙක් පෝලිමට යන්ඩ..”
බසයේ එකම දෙමළ මගියෙකු හෝ සිටියේ නැත. එනිසා සිංහල හා මුස්ලිම් අය පෝලිං දෙකකට බෙදී වෙන්ව ගියහ.

ප්‍රභාකරන් දෙමළ ඊළමක් ඉල්ලන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලටය. රාළහාමි ලෝස් නැතුවම වැල්ලවත්තේ ඊළම දුන්නේය. ප්‍රශ්නය මෙයයි, ඉල්ලුවේ දෙමළ ඊළමකි. රාළහාමි දුන්නේ මුස්ලිම් ඊළමකි.

* * * * * * * * ** * * * * * * * * * * ** * * * * * * *

තවත් කියැවීමත්….

ඔබට සිංහල , දෙමළ භාෂා දෙකම කියවිය හැකි නම් 2007 දෙසැම්බර් 03 වැනිදා පළවූ සිංහල හා දෙමළ දිනපතා පුවත්පත් සියල්ල කියවා බලන්න. ශ්‍රී ලංකාව දැනටමත් බෙදා වෙන් කර ඇති බව තේරුම්ගැනීමට වෙනත් කිසිදු කියවීමක් අව්‍ශ්‍ය නැත.

සීමා