හාමුදුරුවෝ රතන හිටි හැටියේම ස්වාධීන විය. දේශපාලනය පිළිබඳව අවදියෙන් සිටින පිරිස් තුෂ්නිම්භූත විය. හාමුදුරුවෝ රතනගේ ස්වාධීනවීම හෙළ උරුමය හා උන්වහන්සේ අතර ඇති අර්බුදයක් නිසා සිදු වූවක් බව බැලූ බැල්මට පෙනෙන්නට විය. හාමුදුරුවෝ රතනට එසේ ස්වාධීන විය නොහැකි බවත්, ස්වාධීන වන්නේ නම් හෙළ උරුමයට හිමි මන්ත්‍රී ධූරය නැවත හෙළ උරුමයට ලබා දී උන්වහන්සේ ඉවත් වී යා යුතු බවත් හෙළ උරුමයේ ස්භාපති ඕමල්පේ සෝභිත හිමි රටට හෙළි කළේ මේ අතර තුරය.

මාධ්‍යවේදීන් මේ ගැන ප්‍රශ්න කළ විට හාමුදුරුවෝ රතන දේශනා කළේ එවැනි ලිඛිත ඉල්ලීමක් තවම තමන් වෙත ලැබී නැති බවය.

මන්ත්‍රී ධූරයේ අයිතිය පිළිබඳ වාදය දින කිහිපයක් ඒ අතටත් මේ අතටත් දෝලනය වෙමින් තිබිණ.

මේ අතර හිටි හැටියේම හාමුදුරුවෝ රතන ශ්‍රී ලංකා ජාතික සභාවේ හදිසි සම්මේලනයක් පැවැත්විය. සම්මේලනයේ ප්‍රධාන අමුත්තා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. සම්මේලනයට සහභාගිවූ බහුතරයක් මැති ඇමැතිවරුන් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය ය. එයිනුත් වැඩි පිරිස වුණේ මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති මැතිවරණයෙන් පරාජය කිරීමට අවසාන දක්වා කැපවී ක්‍රියා කර පසුව ආණ්ඩුවේ ඇමැති තනතුරු ලබා ගත් උදවිය ය.

මේ සම්මේලනයේ දී හාමුදුරුවෝ රතන දේශනා කළේ අලුත් සූත්‍රයක් ය. මේ අලුත් සූත්‍රයට අනුව 2015 ජනවාරී 08 විප්ලවයෙන් සිදු වී ඇත්තේ කාරණා තුනක් පමණි.

පළමු වන එක මහින්ද රාජපක්ෂ පරාජය වීමය. දෙක රනිල් වික්‍රමසිංහ පැරදීමය. තුන මෛත්‍රීපාල සිරිසේන ජය ගැනීමය. ඒ නිසා එක එකාට ඕනෑ විදිහට තීරණ ගැනීමේ අවශ්‍යතාවයක් නැත. වැඩ කළ යුත්තේ මෛත්‍රීපාල සිරිසේනට ඕනෑ විදිහටය. මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩ කළ යුත්තේ බුද්ධි මණ්ඩලයේ උපදෙස් අනුවය. මෛත්‍රීපාල මහතාට උපදෙස් දෙන බුද්ධි මණ්ඩලය ඇත්තේ හාමුදුරුවෝ රතන ලඟය. ( මේ “රතන සූත්‍රය” යැයි කවරකු හෝ වරදවා වටහා නොගත යුතුය.)

හාමුදුරුවෝ රතන ගේ සූත්‍රය අනුව මහින්ද රාජපක්ෂ පරාජය වූ බව සබෑය. එහෙත් ඔහු පරාජයට පත්වූයේ කවර හේතු නිසා ද? ඔහුව පරාජය කරනු ලැබුවේ කවර බලවේග ඒකරාශිවීමෙන්ද ? යන්න ඒ සූත්‍රයෙන් හෝ අටුවා ටීකාවකින් හෝ හාමුදුරුවෝ රතන පැහැදිලි කළේ නැත.

රනිල් වික්‍රමසිංහ පරාජය ලැබුවා යැයි කීම මේ සූත්‍රයේ පළමු වැනි මුසාවය. ඒ නිසාම රනිල් වික්‍රමසිංහ පරාජය වූ ආකාරය නො වදාරන්නට හාමුදුරුවෝ රතන ප්‍රවේශම් විය.

දිනුවේ මෛත්‍රීපාල සිරිසේන යැයි කීම මේ සූත්‍රයේ ඇති දෙවැනි විශාලතම මුසාවය.

ඒකාධිපති ජනාධිපති ව්‍යවස්ථාව අහෝසි කිරීම, පාර්ලිමේන්තුවට බලය පැවරීම, ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමවැනි ප්‍රජාත්න්ත්‍රවාදය උදෙසා වූ ඉල්ලීම් ද, දූෂිතයන් නීතිය හමුවට ගෙනවිත් දඬුවම් වැනි නීතියේ ආධිපත්‍ය පිහිටුවීම වෙනුවෙන් ඉල්ලීම ද ඉදිරිපත් කරමින් රාජපක්ෂ සමය තුළ ජීවිත අවදානම නොතකා පෙනී සිටියේ මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සිවිල් සංවිධාන හා ඇතැම් වාමාංශික පක්ෂ හා බහුජන ව්‍යාපාරවල පිරිස්ය. ඒ අවධියේ වත්මන් ජනාධිපතිවරයා සිටියේ රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමැති පදවියකය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ තෝරා ගැනීමක් වූ මෛත්‍රීපාල සිරිසේන, 2015 ජනාධිපතිවරණයේ ආණ්ඩු විරෝධී පොදු අපේක්ෂකයා වූයේ රනිල් වික්‍රමසිංහගේ එකඟත්වය නිසාය. වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය ලබා ගැනීම වෙනුවෙන් සෘජු ලෙස මැදිහත් වූයේ මාදුළුවාවේ සෝභිත හිමි සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකය. රනිල් වික්‍රමසිංහ එකඟ නොවුනා නම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීම යනු හිතළුවක් පමණය.

හමුදුරුවෝ රතන දේශනා කරන පරිදි රනිල් වික්‍රමසිංහ පරාජය වී හෝ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කර හෝ නැත. ජනවාරි 08 සිදු වූයේ රනිල් වික්‍රමසිංහට හිමි එ.ජා. ප. යේ මුළු ඡන්ද පදනම ම, මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි සකළ බලවේග අපේක්ෂා කළ වැඩපිළිවෙල ජයග්‍රහණය කරවීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෙදවීමය. එසේම උතුරු නැගෙනහිර ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවද, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දකුණේ ගොඩ නැඟුණු බලවේගයේ ජයග්‍රහණය උදෙසා තම දායකත්වය සැපයීමය.

ජනවාරි 08 රනිල් වික්‍රමසිංහ පැරදුනේවත්, මෛත්‍රීපාල සිරිසේන ජයගත්තේවත් නැත. සිදු වූයේ ඒකාධිපතිත්වයට ගමන් කරමින් තිබූ දුෂ්ට බලවේගය පරාජය වීමත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ඒකාධිපතිත්වයට එරෙහිව ක්‍රියා කළ ප්‍රගතිශීලී බලවේගය ජය ගැනීමත්ය.

ජනවාරි 08 සේම අගෝස්තු 17 වැනිදා ද එකී දුෂ්ට බලවේගය නැවත වරක් පරාජයට පත්වූ අතර ජය ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි බලවේගය ය. හාමුදුරුවෝ රතන වැඩ සිටි පක්ෂය වූ ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක මහ මැතිවරණයෙන් ජයගත්තේ ද එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණින් තරඟ කිරීමෙන්ය. හාමුදුරුවෝ රතනට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට වැඩම කරවන්නට හැකි වුණේ ද අලියාට පිං සිදුවන්නටය. හාමුදුරුවෝ රතන හක් ගෙඩියෙන් ඉල්ලුවා නම් වෙන්නේ අලියා ගිලපු දිවුලට වූ දේමය.

මෛත්‍රීපාල මහතාව ජනාධිපතිවරයා බවට පත් කර ගත්තේ ඒකාධිපති විධායක බලතල සහිත ජනාධිපතිධූරය අහෝසි කොට නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුය යන උවමනාවෙන් පෙළුණු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයය. රට නොබෙදා බලය බෙදිය යුතුයි යනුවෙන් පැහැදිළි ලෙස ප්‍රකාශ කරමින්, ඒ වෙනුවෙන් පෙනී සිටි බලවේගය ය. ඒ අනුව ජනවාරි 08 ජයගත්තේ හාමුදුරුවෝ රතන කියන විදිහට මෛත්‍රීපාල නම් වූ මහින්ද රාජපක්ෂගේ කැබිනට්ටුවේ සිටි සෞඛ්‍ය ඇමැතිවරයා නොවේය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි මහ ලේකම්වරයාත් නොවේය. ජය ගත්තේ ඒකාධිපතිත්වය පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් ජීවිත පරදුවට තබා වීදි බට ජනතා බලවේගයය. මෛත්‍රීපාල වනාහී එකී බලවේගයේ ඒ මොහොතේ ප්‍රකාශකයා පමණය.

මේ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉටු කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ බලවේගයේ උවමනා එපාකම් මිස, මහජන දේපල මංකොල්ල කා මාලිගා තැණූ බැසිල් රාජපක්ෂලාගේ උවමනා එපාකම් හෝ ජාතිවාදය කරපින්නා ගෙන බලයට ඉව අල්ලන මහින්ද හා ගෝඨාභයලාගේ උවමනාව එපාකම් හෝ නොවේය. ඒ වගේම, මහජන දේපල මංකොල්ල කා රිමාන්ඩ් වූ හැටියේම ගෙවන වාට්ටුවල කල් ගත කරන මංකොල්ල කරුවන් බලන්නට රහසින් වැඩම කොට උන්ට පිරිත් නූල් ගැට ගසන හාමුදුරුවෝ රතනලාගේ උවමනා එපා කම් ඉටු කිරීම ද නො උවමනාය.

උතුරු පලාතට පොලිස් හා ඉඩම් බලතල ලබාදීමේ අළුත් සූත්තරයක් ඉදිරිපත් කරමින් හාමුදුරුවෝ රතන තම උවමනාවේ බළලා මල්ලෙන් එළියට දැම්මේ ජනාධිපතිවරයා ලඟ තබාගෙනම ය.

හාමුදුරුවෝ රතනගේ සූත්තරයට අනුව සන්නද්ධ පොලිස් නැත්නම් ‘තුවක්කු පොලිස් ’ඕනේ දකුණට පමණය. උතුරට දිය යුත්තේ ‘විසිල්‘ පොලිස් නොහොත් ට්‍රැපික් පොලිස් පමණය. බැරි වෙලාවත් කචල් එකක් ආවොත් ඒක මැඩලන්න දකුණේ ඉන්න ‘තුවක්කු පොලිස්‘ යැවිය යුතුය.

ඉඩම් අයිතියත් එසේමය. උතුරු පලාත් සභාවට ඉඩම් අයිතිය නොදිය යුතුය. දුන්නොත් ඉඩම් ගන්නේ දේශපාලකයන්ය. ඒ නිසා උතුරේ ජනතාවට ඉඩම් දීමේ අයිතිය දකුණේ මහ ආණ්ඩුව තබා ගත යුතුය.

හාමුදුරුවෝ රතන ගේ මේ අළුත් සූත්තරය එළිදක්වන්නට අවුරුදු 29 කට පෙර පළාත් සභා වලට පොලිස් හා ඉඩම් බලතල නීතිමය වශයෙන් ලබා දී ඇත. එහෙත් පළාත් සභා වලට මේ දක්වා එම නීතිය පාවිච්චි කරන්නට බැරි වී ඇත. ඒ වෙනකක් නිසා නොව ඊට අදාල ගැසට් පත්‍රය මේ වන තෙක් ජනාධිපතිවරයා විසින් පළ නොකළ නිසාය.

හාමුදුරුවෝ රතන මේ බව දන්නවාද? දැන නොදන්නා සේ සිටිනවා ද ? යන්න පැහැදිළි නැත.

එක්කෙනෙකුට දෙන්නෙකුට ඕනෑ විදිහට රට ගෙනියන්න ඉඩ දිය නොහැකි යැයි හාමුදුරුවෝ රතන දේශනා කළේ ජනාධිපති සිරිසේන මහතා ලඟ තබා ගෙනමය. ඒ එක්කෙනා දෙන්නාට මෛත්‍රීපාල මහතා ඇතුලත් නොවන්නටද පුළුවන. රට වෙනුවෙන් තීරණ ගත යුත්තේ බුද්ධි මණ්ඩලයක උපදෙස් මතය. බුද්ධි මණ්ඩලය ඇත්තේ ද හාමුදුරුවෝ රතන ලඟය.

2015 ජනවාරි 08 ජයග්‍රහනය ලබා ගන්නා විට හාමුදුරුවෝ රතන දේශනා කරන ඔය බුද්ධි මණ්ඩල තිබුණේ නැත. රට යා යුතු මඟ පිළිබඳව ඉදිරි දැක්ම හැදුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි බලවේගය ය. දින 100 වැඩ සටහන හැදුවේ එම බලවේගය විසින්මය.

හාමුදුරුවෝ රතන වදාරන පරිදි ඔය කියන බුද්ධිය ඇතැයි පවසන බොහෝ දෙනකුගෙන් උපදෙස් ගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත්, මහින්ද රාජපක්ෂ මහතාටත් අවසාන කාලයේ වෙච්ච දේ රටේ මිනිසුන්ට අමතක නැත. ටික කලක් යන විට උපදේශකයා ජනාධිපති බවටත්, ජනාධිපතිවරයා උපදේශකයා බවටත් පත් වී උන්හිටි තැන් නැති කර ගත් හැටි රටට රහසක් නොවේය. හාමුදුරුවෝ රතනගේ ඔය කියන බුද්ධි මණ්ඩලයෙන් උපදෙස් අරන් රට කරවන්නට ගියොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් සිදුවන්නේ ඊට පෙර සිටි නායකයන්ට වුණු දේමය.

ජාතික ප්‍රශ්නයට ස්ථීරසාර විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වී සියයට 62 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන බලයට ආ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සාමයට අත වනා අවසානයේ යුද්ධය කැඳවා ගත්තේ ඔය කියන ජාතිවාදී උපදේශකයන්ගේ හිරකාරියක් වූ නිසාය. ත්‍රස්තවාදය පරාජය කොට ජාතික සංහිඳියාවකට ගමන් කළ යුතුව සිටි මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙකුගේ භූමිකාවට අන්ඳවනු ලැබුවේ ඔය කියන යුද උන්මාදයෙන් පෙළුණු උපදේශකයන් විසින්ය.

රට නො බෙදා බලය බෙදිය යුතුය යන බලවේගයේ ප්‍රකාශකයා වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවත් තමන්ගේ සිරකාරයෙකු බවට පත් කර ගැනීමට මේ ජාතිවාදී බලවේගය ඉව අල්ලමින් සිටින බව පැහැදිළිය.

1987 – 89 යුගයේ හැට දහසකට අධික තරුණ ජීවිත ඝාතනයට ලක් කරවීමේ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකුව සිටි හාමුදුරුවෝ රතන, ඉන් පසුව ‘ජනතා මිතුරෝ‘ වේශයෙන් පැමිණ චන්ද්‍රිකා සමඟ එක්වී ඇයව යුද්ධයට ඇදගෙන ගිය අයුරුත්, ඊට පසු හෙළයන්ගේ උරුමය ගැන කතා කොට පක්ෂයක් හදා ගෙන මහින්ද රාජපක්ෂව යුද උන්මත්තකයෙකු කළ අයුරුත් දන්නා බොහෝ අයට, හාමුදුරුවෝ රතනගේ මේ අළුත් ‘කස්තිරම’ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ඉරණමට සිදු කිරීමට නියමිත ඛේදජනක බලපෑම කුමක්ද යන්න තේරුම් ගැනීමට අපහසු නැත.

පැරණි නායකයන් ගිය මඟම යනවාද? නැති නම් ඉන් මිදී ජනතාවගේ සැබෑ නායකයෙකු වෙනවාද? යන්න තීරණය කිරීමට හාමුදුරුවෝ රතනගේ මේ ‘වසුරු‘ සූත්තරය හොඳින් විමසා බැලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයිති කාරණයක් ය.

සුනිල් ගාමිණී | Sunil Gamini