අධිකරණ ඇමතිකමත්, බුද්ධ ශාසන (හෝ වෙනත් ඕනෑම ආගමකට අයත්) ඇමතිකමත් එකම කණුවේ බඳින්නට යාමෙහි ප්‍රතිවිපාකයක් ලෙසද විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විසින් නීතීඥ ලක්ෂාන් ඩයස්ට එරෙහිව සිදු කර ඇති තර්ජනය තේරුම් ගත හැක. ලක්ෂාන් ඩයස් නීතීඥවරයා විසින් මෑතකදී ‘දිගින් දිගටම ක්‍රිස්තියානි මධ්‍යස්ථානවලට එරෙහිව එල්ල කර ඇති ප්‍රහාර’ පිළිබඳව කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රතිචාරයක් දක්වමින් රාජපක්ෂ ඇමතිවරයා එය සාවද්‍ය බව ඔප්පු කිරීමට උත්සාහ ගනිමින් තර්ජනය කරන්නේ “මේ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගතහොත් පැය 24 ක් ඇතුළත ඔහු නීතීඥ වෘත්තියෙන් නෙරපන” බවයි. මේ සම්බන්ධයෙන් තමන් කාදිනල්තුමන්ගෙන්ද කරුණු විමසූ නමුත් එවැනි කිසිදු ප්‍රහාරයක් පිළිබඳව තමන් නොදන්නා බව එතුමන්ද ප්‍රකාශ කළ බව ඇමතිවරයා කියයි. කෙසේ වෙතත්, අප විශ්වාස කරන්නේ නීතීඥ ඩයස්ගේ ප්‍රකාශය සාවද්‍ය එකක් බව ඒකපාර්ශ්විකව තීන්දු කිරීමට කිසිදු බලයක් අධිකරණ ඇමතිවරයාට නොමැත බවයි. මෙවැනි ප්‍රහාර සිදුවී ඇති බව හෝ සිදු නොවී ඇති බව කෙනෙකු තිර ලෙස ප්‍රකාශ කරන්නේ නම් හුදෙක්ම එකී ප්‍රකාශ විධිමත් පදනමක් මත කළ යුතුය. අපට පෙනෙන හැටියට මෙහිදී විජේදාස ඇමතිවරයා හැසිරී ඇත්තේ කල් තියාම කතෝලික නොවන පාර්ශ්වය පැත්තේ කකුල තබාගෙන බවයි.

විජේදාස රාජපක්ෂ යනු මහින්දගේ කැබිනට්ටුවට මිස ‘යහපාලනය’ යන වචනයවත් නිකමට හෝ ගෑවුණු ආණ්ඩුවකට ඔබින කෙනෙකු නොවන බව ඔහු විසින්ම අවස්ථා කිහිපයකදීම ඔප්පු කොට තිබේ. සිංහල-බෞද්ධාගම සටන් පාඨයක් ලෙස ගෙන ජාතිවාදී අදහස් සමාජයේ පතුරුවන කල්ලි සහ ඒවායෙහි නායකයන් සමග විජේදාසට තිබෙන කුප්‍රකට ඇයිහොඳයිය ගැන රටම දනී. විජේදාස ඇමතිවරයා මේ පෙනී සිටින්නට උත්සාහ කරන්නේ බුදුහාමුදරුවන්ගේ ‘බුද්ධ ශාසනයද’, නොඑසේ නම් ඥානසාරලාගේ රස්තියාදුකාර විකෘතියද? යන ප්‍රශ්නය අසන්නට අපට සිත් දෙන අවස්ථා සොයා ගැනීමට ගත වූ කෙටි කාලය වුව ප්‍රමාණවත්ය.

ලක්ෂාන් ඩයස්ගේ ප්‍රකාශය සාවද්‍ය නම් කරුණු සොයා බලා ඊට විරුද්ධව ප්‍රතිචාර දැක්වීම ගැන අපගේ විරෝධයක් නැත. එහෙත්, මේ ගැන මේ සා හදිස්සියෙන් තර්ජනාංගුලි දිගු කිරීමට විජේදාස ඇමතිවරයා කුලප්පු වන්නේ ඇයි? විජේදාස රාජපක්ෂගේ හැසිරීම දකින කෙනෙකුට පහසුවෙන්ම පෙනී යන්නේ යහපාලන ආණ්ඩුවක ඇමතිකම් දැරුවද ඔහු නියෝජනය කරන්නේද සිංහල-පමණක් පිළ බවයි. වෙනත් ලෙසකින් කියන්නේ නම්, ආණ්ඩුව මෛත්‍රීගේ වුණාට විජේදාසගේ දෘෂ්ටිවාදය මහින්දගේය. මෙවැනි පටු දැක්මක් ඇති පුද්ගලයෙකුට අධිකරණ සහ බුද්ධ ශාසන යන ඇමතිකම් දෙකම පංගනාතු කිරීමේ භයානකකම අප තේරුම් ගත යුතුය.

බහුත්වවාදී සමාජයක් වෙනුවෙන් කැප වුණ රාජ්‍යයක කාර්යභාරය විය යුත්තේ රාජ්‍ය පාලනය මිස තෝරාගත් ආගම් සහ වාර්ගික කණ්ඩායම් වෙත වැඩි වරප්‍රසාද ලබා දෙමින් ඒවා වෙනුවෙන් පෙනී සිටීම නොවන්නේය යන අදහස අප විසින් නිතර නිතර මතු කර ඇත. වාර්ගික සංහිඳියාවට සෘජු ලෙසම බලපෑම් කරන ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම මෙරට සුළුතර වාර්ගික ප්‍රජාවන්ට නොමැති බලයක් හා ආධිපත්‍යයක් සිංහල-බෞද්ධ ප්‍රජාව අතට සීමා වන විධිවිධාන සපයා ඇති බව අපි දනිමු. බහුත්වවාදය පිළිගන්නා රජයක් නම් ඒ ඒ ආගම වෙනුවෙන් එකිනෙකට වෙනස් අමාත්‍යාංශ පිහිටුවීම වෙනුවට ආගමික සංහිඳියාව වෙනුවෙන් කැප වූ තනි, පොදු ආගමික අමාත්‍යාංශයක් පිහිටුවීමට කටයුතු කළ යුතුය. එහෙත් ලංකාවේ තත්ත්වය මීට සපුරා වෙනස්ය. සෑම ආගමික ප්‍රජාවකටම තම නිදහස භුක්ති විඳිමින් පැවතීමට හැකියාව ලැබෙන්නේ එවිටය. අනෙක් අතට, ආණ්ඩුව එක් ආගමක නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම වැළැක්වීමටද එමගින් ඉඩකඩ සැලසෙයි. කෙසේ වෙතත්, මෙවැනි කාරණා බහුතර සිංහල සමාජය පවා තේරුම් ගන්නේ බුද්ධාගම මර්ධනය කිරීමේ උත්සාහයන් ලෙස වීම ගැන පුදුමයට කාරණාවක් නැත. එහෙත්, ස්ව-පැවැත්ම පිළිබඳ සදාකාලික අනියත භීතිකාවක සිරකරුවන් බවට පත් කොට ඇති බහුතර-සිංහල බෞද්ධ සමාජය තේරුම් නොගන්නේ දේශපාලනික මැදහත්වීම් ඉවත් කළ විට වඩා නිදහසේ ආගමික කටයුතුවල නිරත වීමට වාතාවරණය නිර්මාණය වන බවයි. සමහරවිට දේශපාලනික මරාගැනීම් වෙනුවට සැබෑ අර්ථයෙන්ම ‘ආගමික’ ක්‍රියාවල නිරත වීම මගින් තමන්ගේ ආගම ආරක්ෂා කර ගැනීමටද එවිට ඔවුන්ට හැකි වනු ඇත.

ගලගොඩඅත්තේ ඥානසාර යනු අවස්ථා කිහිපයකදීම අධිකරණයට අපහාසර කරමින් සහ අධිකරණය තඹයකටවත් නොසලකමින් කටයුතු කළ ම්ලේච්ඡ ඉතිහාසයක් ඇති අයෙකි. මහේස්ත්‍රාත්ලා නඩු අසන අධිකරණ පරිශ්‍ර වෙත පවා පාතාලකාරයෙකු මෙන කඩා පැන රටේ යුක්තිය පසිඳලීමේ සමස්ථ යාන්ත්‍රණයටම අපහාස කළ මැරයෙකි. කාලයක් තිස්සේම මඩකලපුව ප්‍රදේශයේ දමිළ ජනතාව පීඩාවට පත් කිරීම සඳහා නොයෙකුත් නීතිවිරෝධී ක්‍රියාවල නිරත වූ මඩකලපුවේ සුමණේද ඊට දෙවැනි නැත. උසස් පොලිස් නිලධාරීන් වටකරගෙනම තම රාජකාරිය ඉටු කළ රාජ්‍ය සේවකයෙකුට මරණ තර්ජන කරන්නට ඔහුට හැකියාව තිබුණි. එහෙත්, කණගාටුවට කාරණය නම්, දුෂ්ට රෙජීමයක් පළවා හැර සෑම මිනිස් ප්‍රජාවකටම වාසය කිරීමට සුදුසු යහපාලන පාලන තන්ත්‍රයක් ගෙන ඒම වෙනුවෙන් පෙළ ගැසුණු අප සැමගේම දෛවයේ සරදමට මෙන් නීතිය හෑල්ලු කළ මේ මැරයින් දෙදෙනා සමග හිටගෙන ඡායාරූප ගැනීමට අවශ්‍ය ලැජ්ජානැතිකම මේ අධිකරණ අමාත්‍යවරයාට පහළ වී තිබුණි!

ඒ අර්ථයෙන් ගත් කල අධිකරණ අමාත්‍යවරයා කරන්නේද අධිකරණයට බරපතල ලෙස අපහාස කිරීමය. අප විශ්වාස කරන පරිදි රටක අධිකරණ ඇමතිකම යනු ඉතාම භාරදූර එකකි. මන්ද, ක්‍රියාත්මක ස්වරූපයේදී විවිධ ගැටළු දක්නට ලැබෙතත්, අධිකරණ පද්ධතියක් පිහිටුවීමේ සරලතම අරමුණ වන්නේ රටක සමස්ථ පුරවැසියන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ඇති බව සහතික කිරීමයි. එහෙත්, බහුවාර්ගික රටක අධිකරණ ඇමතිවරයෙකු බැලූ බැල්මටම එක් වාර්ගික ප්‍රජාවකට පක්ෂග්‍රහීව කටයුතු කිරීම කිසිසේත්ද අනුමත කළ හැකිද? අධිකරණ ඇමතිකම තිබුණත් නැතත් විජේදාස බුද්ධාගම නොව වාර්ගික සිංහල-බෞද්ධකම වෙනුවෙන් ඉදිරියටත් දරදිය අදිනු ඇතැයි අපට සිතේ. මේ නිසා, ජනපතිතුමාට සහ අගමැතිතුමාට අධිකරණය තවදුරටත් අපහාසයට ලක් වීම වැළැක්වීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඊට අදාළ ඇමතිකම ආත්මයක් ඇති කෙනෙකුට ලබා දීමයි.

අශාන් වීරසිංහ | Ashan Weerasinghe