Featured Articles, Features, Jaffna

‛‛මට තොරතුරක් අවා. මම ඒක ලිව්වා’’ වගකීමක් නැති මාධ්‍ය’කරැවන්’

‛‛මට තොරතුරක් අවා. මම ඒක ලිව්වා. දැන් බලන්න දිවයින පත්තරේ ඒක දාලා තියෙන්නේ මුල් පිටුවේ. අපි දාලා තියෙන්නේ මැද පිටුවක. අපිට ආරංචි උනා ගල් මුල් වලින් අන්තරේ අයට ගැහුවා කියලා. නෑ. අපිට මූලාශ්‍ර සඳහන් කරන්න බෑ. ඔව් අපිට තොරතුරක් ආවා අපි දැම්මා. මමයි තව මල්ලි කෙනෙකුයි තමා ලිව්වේ.’’ මේ ‛අන්තරේ කැඳවුම්කරු ඇතුලු පිරිසට යාපනයේදී ගල්මුල් ප්‍රහාරයක්’ යන හිසින් ඊයේ(14) ලක්බිම පුවත්පත වාර්තා කර තිබූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් එය වාර්තාකර තිබූ රමේෂ් වරල්ලේගමගෙන් අද(15) දුරකථනයෙන් මා විමසූ විට ඔහු ලබා දුන් පිළිතුරුය.

එම සිදුවීම පිලිබඳව ලක්බිම තවදුරටත් මෙසේ වාර්තා කරයි. ‛‛උපුල් ප්‍රේමරත්න මහතා(ෙමහි උදුල් ෙවනුවට උපුල් ෙලස වැරදිවට ෙයාදා අැත.) ඇතුළු හැත්තෑ දෙදෙනකු නැවතී සිටි යාපනය විශ්ව විද්‍යාලය අසල රාමනාදන් පාරේ නැවතුම්පළට යාපනය විශ්ව විද්‍යාපයේ සිසුන් පිරිසක් ගල්මුල් ප්‍රහාරයක් එල්ලකර ඇති බවත්, මෙම ප්‍රහාරයට හේතුව වී ඇත්තේ දේශපාලනයට සම්බන්ධ ශිෂ්‍ය ව්‍යාපාර යාපනය විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට විරුද්ධ වීම බවත්, 13 වැනි දින උදෑසන උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිස සිටි ස්ථානයට පැමිණ ශිෂ්‍යයින් හා දෙමාපියන් පිරිසක් විසින් ඔවුන්ට විරුද්ධව විරෝධතාවයක් පවත්වා ඇති බවත්, අන්තරේ මෙම පිරිස අතරේහි භික්‍ෂූන් වහන්සේලා හය නමක් සහ ශිෂ්‍යාවන් පිරිසක් සිටි බව හා මේ අයට 13 වැනි දින උදෑසනම කොළඹ බලා පිටත් වීමට සිදු වූ බවත්ය.’’

ෙම් එම ලක්බිම පුවතයි.

මෙම ප්‍රවෘත්තිය සදහා එක් මූලාශ්‍රයක් ලෙස භාවිතා කර ඇත්තේ, යාපනයේ සිවිල් සම්බන්ධිකරණ කාර්යාලයේ ආරංචිමාර්ග බව මෙම ලක්බිම ලියුම්කරු කියයි. අප ඒ සම්බන්ධයෙන් සිවිල් සම්බන්ධීකරන කාර්යාලයෙන් විමසා සිටියදී එහි නිළධාරීයෙක් ප්‍රකාශ කර සිටියේ, ‛‛මගෙන් එහෙම කවුරුත් ප්‍රකාශයක් අරගෙනත් නෑ. ඔය පත්තර කියන්නේ බොරුනේ. සිද්ධියක් උනා. ඒක තමයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මන්ඩලයේ සිසුන් යාපනේ විශ්ව විද්‍යාලයේ සිසුන්ට අධාර අරගෙන අවා. පරිපාලනය විසින් ඔවුන්ට විශ්ව විද්‍යාලය ඇතුලට යන්න දුන්නේ නෑ. ඊට පස්සේ ඔවුන් එළියෙදි ඒ අධාර දීලා යන්න ගියා.’’

කෙසේ වෙතත් යාපනයේ සියලු මූලාශ්‍ර පවසන්නේ කිසිදු ගැටුම්කාරී තත්වයක් සිදුනොවු බවයි. නමුත් ලක්බිමට අනුව ගල් මුල් ප්‍රහාරයක් එල විය. යුද්ධය අවසන් වී වසරක් ඉක්ම යමින් තිබෙන් මොහොතක සහජීවනය සඳහා කටයුතු කරනවා වෙනුවට තමන්ට තොරතුරක් ලැබුනු පමණින් මෙසේ ප්‍රවෘත්ති ලිවීම තූලින් නැවත වරක් සිදුවන්නේ ජාතිවාදය ඇවිස්සීමට බීජ සැපයීමය. රමේෂ් වරල්ලේගමට මේ පිළිබද එතරම් ගැටලුවක් නැති බව ඔහුගේ ඉහත ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. ‛‛මමයි තව මල්ලි කෙනෙකුයි ලිවුවේ’’ යනුවෙන් ඔහු පවසන්නේ ජනමාධ්‍ය පිළිබදවත්, ලාංකීය දේශපාලනය පිලිබදවත් ඔහු තුළ ඇති අන්ධ බාවයත් දේශපාලනික දුප්පත් කමත් ය. කිසිදු දේශපාලනික හෝ ජනමාධ්‍ය අචාරධර්ම ගැන කිසිවක් නොදන්නා මෙවන් ලියුම් කරුවන් 1983 දී ද දෙමළ ජනයා ඝාතනය කිරීමට, ජාතිවාදීන්ට තම පෑනෙන් උදවු කලේ ය. දෙමළ ජනයා අමු අමුවේ මරා දමද්දී තම පෑන ඊට එරෙහිව නැගී සිටියේ නැත. අවසානයේදී සිදුවුයේ වසර 30කට වඩා කාලයක් ලංකාව සොහොන් භූමියක් බවටපත් වීමය. පසුගිය කාලයේදී ද මිනිසුන් ඝාතනය කරනවිට දකුනේ පුවත් පත් සහ බොහෝ මාධ්‍යවේදීන් ඇතුලු බොහෝ ප්ිරිස් ජය පැන් බිව්වේය. මරණවා බල බල ප්‍රීතී වුයේ ය. ඇතැමුන් තම මත්පැන් සමග බයිට් එකට ගත්තේ වේදනාවය. අහිසංක මිනිසුන්ගේ ඇස්වලින් ගලා ගිය කඳුඑ ය. එසේම කිසිදු මාධ්‍ය ආචාර ධර්මයකට යටත් නොවී යුද්ධයෙහි මිලේච්ඡත්වය වාර්තා කළේය. වෙඩි වැදී සිදුරු උනු මිනිසුන්ගේ වේදනාත්මක ඡායාරූප තම මාධ්‍යවල ප්‍රචාරය කලේය. ඒත් කිසිවිටකත් වෙඩි වැදී කෑ මොර දෙන මිනිසුන්ගේ විලාපය පුවත් පත් අතර ගලා ගියේ නැත. ඒ වේදනාව දකුණේ පෑන් තුඩුවලට දැනුනේ නැත. යුදබිමේ තුවක්කුවෙන් කරනා දේ දකුනේදී පෑනෙන් සිදු කලේය.

දැන් යුද්ධය අවසන් ය. ඇත්තේ සියලුදෙනා අතර සංහිදියාව ඇතිකර ගැනීමේ කාලයයි. බිදී ගිය සබදතා යළි සකස්කර ගැනීමට කාලයයි. ඒ සඳහා ජනමාධ්‍යට විශාල වගකීමක් පැවරේ. නමුත් රමේශ් වරල්ලේගමට ඒ වගකීම නොදැනෙන සේය. සිදුනොවුනු සිදුවීමක්, සිදුවුනු දෙයක් ලෙස වාර්තා කිරීමට පෙලබෙන්නේත් ඒ පිළිබදව ඔහු දක්වන වගකීම් විරහිත භාවයෙනුත් පෙන්නුම් කරන්නේ එයයි. නැවත් වරක් ජාතීවාදී හැඟීම් ඇවිස්සීම පිළිබද ප්‍රවෘත්ති පලකරන්නේත් එබැවිනි. අන්තරේ පිළිබදව ඇති දේශපාලනික කරුණු කෙසේ වෙතත් ඔවුන් විසින් එහිදී සිදුකිරීමට ගිය දෙය යුද්ධයේ වේදනාව දත් හෝ දැක ඇති කාටවත් ප්‍රතික්ෂේප කරන්නට බැරිය. අත පය යුද්ධය විසින් උදුරාගත් මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ ඇස්වල ඇති වේදනාව දැක ඇති මිනිසෙකුට එය ප්‍රතික්ෂේප කිරිමට බැරි ය. එය ප්‍රතික්ෂේප කළ හැක්කේ නැවත වරක් ලංකාව ලෙයින් නැහැවනු දකිමින් ‛නග්නප්‍රිතියට’ පත්වන අයෙකුට පමණි.

එහෙත් මෙම සිදුවීම පිලිබදව උතුරේ මාධ්‍ය වාර්තා කර තිබුනේ, දකුණේ මෙවන් මාධ්‍යට බොහෝ වෙනස්වය. ලක්බිම වාර්තා කළ පරිදි කිසිදු ගැටුමක් හෝ ප්‍රචන්ඩ සිදුවීමක් පිළිබදව ඔවුන් දැක තිබුණේ නැත්තේ ඔවුන් එම භූමියේ සිටි නිසාය. සත්‍ය ඔවුන් දැක තිබූ නිසාය. උතුරේ මාධ්‍ය මෙය වාර්තා කලේ එහි ඇති සමාජ, දේශපාලනික වැදගත්කමය. නමුත් ඒ සිදුවීමේ ඇති වැදගත්කම පිළිබදව දකුණේ කිසිදු සිංහළ මාධ්‍යක් වාර්තා නොකලේ ය. ඔවුන්ට සංහිදියාව, බැදීම් ඇති කිරිම, ආදරය වැනි කාරණා ඔවුන්ට ප්‍රවෘත්ති නොවන නිසාය. ඒ ඒවා විකිණිමට බැරි නිසාය. වේදනාව, මරණය, ලේ, ගුටි.., මාධ්‍ය සමාජයටත්, ලාංකීය යටත්වැසි සමාජයටත් තලු මර මර රසවිදිය හැකි ‛දේවල්’ බව ලක්බිමත්, දිවයිනත් ඇතුලු බොහෝ මාධ්‍ය හොඳින් දන්නා නිසාය. කුකලක් නැති ශිෂ්‍යාවකට, කෘතිම කකුලක් දෙන්න යන දකුණේ ශිෂයන්ගේ සහෝදර ක්‍රියාව ඔවුන්ට අසුවන්නේ නැත්තේ ඒ නිසාය. ඒ තරමටම මාධ්‍යසමාජය හදවතින් සහ ආචාරධාර්මික ලෙස දුප්පත්ය.
ඒ නිසාම ඉහත ලක්බිම ප්‍රවෘත්තියේ කිසිදු මූලාශ්‍රයක් සටහන් කිරීමට රමේශ් වරල්ලේගම උනන්දු වන්නේ නැත. ප්‍රවෘත්තියක් ලිවීමේදී අවම මූලාශ්‍ර 3ක්වත් භාවිතා කිරීම යන ‛භාවිතාව’ ඔහුට අවශ්‍ය නැත. එම ප්‍රවෘත්තිය පළවීමෙන් පසු සමාජයේ ඇතිවන තත්වයන් පිළිබදව ඔහුට අවබොධයක් නැත. අවශ්‍ය වන්නේ එකම දෙයකි. විකණිමට හැකි සහ තලුමරමර රසවිදිමට හැකි ද යන්න පමණ ය. ‛අන්තරේ කැඳවුම්කරු ඇතුලු පිරිසට යාපනයේදී ගල්මුල් ප්‍රහාරයක්’ යන්න ශීර්ෂයක් යොදන්නේත් ඒ නිසාම ය. අනෙක් කරුණ නම් මේය සිදුනොවුන දෙයකි. නමුත් සිදු නොවුනත් විකිණිමට හැකි බව රමේශ් වරල්ලේගම දනියි. ඒ නිසා කිසිදු සොයා බැලීමකින් තොරව මෙය පළ කළේ ය. නමුත් මේ පුවත දැකපු දකුණේ ඇතැම් මෝඩ ශිෂ්‍යින්, තරුණයින්, දකුණේ දෙමළ ශිෂයින්ට පහර දුන්නා නම් රමේශ් වරල්ලේගමත්, ලක්බිමත් එහි වගකීම බාර ගන්නවා ද? (මීට පෙර මෙවන් තොරතුරු නිසා දකුනේ සමාජය දෙමළ සමාජයට ප්‍රතිචාර දැක්වූයේ ප්‍රචන්ඩත්වයෙනි. කියවන්න ජාතික ගැටලුවේ ඉතිහාසය.) එසේම නැවත වරක් දකුණේ දමිළ සංහාරය කොතනකින් හෝ ආරම්භ වුවානම් රමේෂ් සහ ලක්බිම කියන්නේ මොනවා ද?
නමුත් මොවුන් නොදන්නා සැඟවුනු එක් සත්‍යයක් ඇත. තමන් විකිණුනාට, සමාජයේ ස්වල්ප ලෙස හෝ පවතින සහෝදරත්වය සහ ප්‍රේමය විකිණිමට, ලක්බිමට හෝ රමේෂ් වරල්ලේගමට නොහැකි බව ය.

මේ පිළිබදව යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. ශ්‍රිරංගන්ගේ මෙම ප්‍රකාශයෙන් තවදුරටත් සනාථ වෙයි.

‛‛දකුණේ සිට අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ සහෝදරයින් යුද්ධයෙන් විපතට පත් අප සරසවියේ සිසු සිසුවියන්ට උදව් කිරීමට පැමිණියා. නමුත් මේ පිරිසට විශ්ව විද්‍යාප භූමියට පැමිණීමට අවසර දී නොමැති බව ආරක්‍ෂකයින් අපිට කිව්වා. මෙම වැලැක්වීම සඳහා ඉහළින්ම උපදෙස් දීලා තිබෙනවා. නමුත් මේ පිරිස අපිට අදව් කිරීමට පැමිණ තිබෙන්නේ. මේ අයට මනුස්සයින් ලෙස සලකා ඇතුලට ඒමට ඉඩ දෙන්න තිබුනා. ශිෂ්‍යයින් විදියට අපි කිසි විටක ප්‍රචන්ඩත්වයට ගියේ නැහැ. අපි සමාධානයෙන්, ප්‍රජාතන්ත්‍රවාදයෙන් විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්න උත්සහ කළා. අපිට මේකට බලහත්කාරයෙන් ඇතුල් වෙන්න පුලුවන්. නමුත් අපි එහෙම කරන්නේ නෑ. අපි ප්‍රචන්ඩකාරීන්වත්, සටන්කාමීන්වත්, දේශපාලන විරෝධතාකරුවන්වත් නෙමෙයි. අපි ශිෂ්‍යයෝ. මෙම ප්‍රශ්නයට සිදු කර ඇති දේශපාලන ඇඟිලි ගැසීම් හෙළා දකිනවා. දේශපාලන ඇඟිලි ගැසීම්වලට අපි කැමති නැහැ. ඒවාට ඉඩ දෙන්නෙත් නැහැ. දැඩි දුක් කන්දරාවකට මුහුණ දුන් අපිට, අධ්‍යාපනය කියන වස්තුව විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. දකුණේ රජය මාධ්‍යවල බොරු ප්‍රචාර ගෙන යනවා. දකුණේ සිට පැමිණි ශිෂ්‍යන්ට ප්‍රහාරයක් එල්ල කල බවට දකුණේ මාධ්‍ය වාර්තාකරලා තිබෙනවා. මේක බොරු ප්‍රචාරයක්. අපි දකුනේ තියෙන සෑම විශ්ව විද්‍යාලයකටම ගිහින් තියෙනවා. දැන් අපි සාමයෙන් සමාධානයෙන් ජීවත් වෙන්න ඕන. අපි ශිෂ්‍යයන් අතර සාම අඩිතාලමක් හදාගෙන යන්නේ’’

මේ පිළිබදව අන්තර් විශ්ව විද්‍යාලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න පවසන්නේ මෙවන් අදහසක්,

‛‛අපි යාපනය විශ්ව විද්‍යාලයට ගියේ එම විශ්ව විද්‍යාලයෙන් කළ ඉල්ලීමකට අනුවයි. පම්පමඩු පුනරුත්ථාපන කඳවුරේ ඉඳලා සිසුවියන් 43 දෙනෙකු මෙම විශ්ව විද්‍යාලයීය නේවාසිකාගාරයට ගෙනවිත් තිබෙනවා. මෙම ශිෂ්‍යාවියන් අතරින් 12 දෙනෙක් විවිධ අබාධ තත්වයන්ගෙන් පෙලෙනවා. අත් නැති, පාද අහිමි, උරහිසේ හා කොන්දේ ආබාධ සහිත සිසුවියන් 12 දෙනෙකු පමණ සිටිනවා. මේ අය රැඳවුම් කඳවුරේ සිට පැමිණ මාස 4ක් පමණ වුනත් තවම දේශන වලට සහභාගී වීමටවත් අවස්ථාව ලබා දී නෑ. මේ අය වෙනුවෙන් අපි, කිහිලිකරු 5ක්, පොත්පත් ඇතුලු ආධාර තොගයක් රැගෙන ගියා. නමුත් පරිපාලනය විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීමටවත් අවස්ථාව ලැබුනේ නෑ. දෙවතාවක් විශ්ව විද්‍යාලයට පිවිසීමට උත්සහ කළත් නොහැකි වුනා. අපව යාපනය පොලිසියට පවා කැඳවාගෙන ගියා. මේ මොහොත වන විට දකුණේ මාධ්‍ය විසින් අපහට ගල්මුල් ප්‍රහාරයක් යාපනය සිසුන් විසින් එල්ල කරණ ලද බවට අසත්‍ය ප්‍රකාශක් නිකුත්කර තිබුනා. ගැටුමක් සම්බන්ධයෙන් ආණ්ඩුව කළ මෙම චෝදනාව තනි විහිළුවක්. මෙම බොරු ප්‍රචාරය සම්බන්ධයෙන් ඉතාමත්ම භයානකම කාරනය වන්නේ, උදව් කිරීමට ගිය සිංහල ශිෂ්‍යන්ට පහරදීම පිළිබඳව බොරු ප්‍රචාරය නිසා දකුණේ විශ්වවිද්‍යාල වල සිංහල සිසුන් කෝප වෙලා දමිළ සිසුන්ට පහරදීමට පටන් ගත්තේ නම් එම වගකීම ආණ්ඩුව විසින් බාරගනු ලබනවාද? එවැනි අධූරදර්ශී ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගකීම මොකක්ද? ආණ්ඩුව නොකරන ඓතිහාසික කාර්යභාරයක් ඉටු කිරීමට ගමයි අපි උත්සහ කරන්නේ. බෙදී වෙන් වී නොයන වාතාවරණයක් නිර්මාණය කිරීමට තමයි අපි උත්සහ කරන්නේ. ආණ්ඩුවේ ගැත්තන් නොවු මාධ්‍ය පවා මේ අසත්‍ය ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙනවා. එය නිවැරදි කරයි කියා අපි හිතනවා’’

සම්පත් සමරකොන්
[email protected]

ෙම් දිවයින පුවතයි

යාපනය විශ්ව විද්‍යාලෙය් අබාදිත සිසුවියන්