Image By: Reuters/ibtime

අඛණ්ඩව වසර 40ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වෙනුවෙන් පසුගිය දා රනිල් වික්‍රමසිංහ අගමැති වෙනුවෙන්, සිරිසේන ජනාධිපති කේක් ගෙඩියක් කැපීය. එසේම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ, ‘හෙට දකින රනිල්’, තේමාවෙන් , අගමැතිගේ දේශපාලන දිවිය පිළබඳ මතක සැමරුම් ජනතාවට ප්‍රදර්ශනය කරණ ලදී. නිමල් සිරිපාල ද සිල්වා වැනි දේශපාලන විරුද්ධවාදීන් පවා, රනිල් මැතිදුන් මෙරට දේශපාලනයට අත්‍යාවශය නායකයකු යැයි පැවසිය. ආර්. සම්බන්ධන්- විපක්ෂ නායක විසින්, රනිල් වික්‍රමසිංහ ස්ථිරසාර, ශාන්ත ජනතා නියෝජිතයකු ලෙසට චාරිත සහතික නිකුත් කරණ ලදී. මේ හේතුවෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ඉතිහාසය මම සොයා ගියෙමි. “රෝයල් කොලොජියෙන් මුලික අධ්‍යාපනය හදාරා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලත් රනිල් වික්‍රමසිංහයන්, 1970 මැද භාගයේදී කැලණිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්විය. අවුරුදු 28 දී විදේශ කරයුතු නියෝජිත ඇමතිවරයා වූ හෙතෙම, පසුව තරුණ කටයුතු, අධ්‍යාපන සහ කර්මාන්ත, විද්‍යා සහ තාක්ෂණ ලෙස කැබිනට් අමාත්‍යංශයන් හෙබවූ අතර 2001 දී මෙරට අගමැතිවරයා ලෙස පත්වන්නේ විධායක ජනාධිපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික චන්ද්‍රිකා බණ්ඩාරනායක කටයුතු කරමින් සිටින අවධියකය ” (http://www.pmoffice.gov.lk/biography.php).

2001 දී මෙරට අගමැති වන රනිල් වික්‍රමසිංහ විසින් 2001 දෙසැම්බර් 24 වැනි දින සිට ක්‍රියාත්මක වන ලෙස සටන් විරාම ගිවිසුමක් දෙමළ කොටි සංවිධානය සමඟ අත්සන් කරණ ලදී. එම ගිවිසුමේ පුර්විකාවේ මෙසේ සදහන් වී ඇත. “ශ්‍රී ලංකා සමාජ වාදී ජනරජය සහ දෙමළ කොටි සංවිධානයේ සමස්ත අරමුණ වන්නේ ජනවාර්ගික අර්බුදය උදෙසා සාකච්ඡාමය විසදුමක් සොයා ගැනීමය. ශ්‍රී ලංකා ආණ්ඩුව සහ දෙමළ කොටි සංවිධානය එදිරිවාදිකම් අවසන් කිරීමත්, යුද්ධයෙන් වින්දිත වුවන්ගේ ජීවන තත්වය නඟා සිටුවීමත් වැදගත් බව අවබෝධ කරගනී. එසේම යුද්ධයේ සෘජු පාර්ශව කරුවෙකු නොවන එහෙත් යුද්ධයේ බලපෑමට යටත් මුස්ලිම් ප්‍රජාවගේ ජිවන සහ දේපල අයිතීන් ආරක්ෂා කිරීමටත් මෙම සම්මුතියෙන් අවධානය යොමු විය” (http://www.satp.org/satporgtp/countries/shrilanka/document/papers/memorandum2002.htm).

එසේ වූ ගිවිසුම අහෝසි වී යුද්ධය පමණක් විසදුම ලෙස සැලකු මහින්ද රාජපක්ෂ සහ වාර්ගික අන්තවාදීන් 2009 මැයි 18 වැනිදා නන්දිකඩාල් හිදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කරමින් සහ තවමත් තහවුරු වන ප්‍රමාණික දත්ත නොමැති අතුරුදහන් කරණ ලද සහ මරා දමන ලද ජනතාවක් සමඟ ලේ තැවුරුණු අවසානයක් මෙරට ඉතුරු කරණ ලදී. එම අවසානය විජයග්‍රහිව සමරමින්, ‘රාජ උන්මන්තකයක්’ මෙරට දේශපාලනය වෙත ගෙනා යුගයක් 2015 ජනවාරි 08න් අවසන් විය.

මහින්ද රාජපක්ෂ පරාජය කර ජනතාව විසින් ගෙදර යවන විට, හෙතම, රනිල් වික්‍රමසිංහ වෙත පණිවිඩයක් තබා ගියේ, විපක්ෂ නායක හැර වෙනකෙකු තමාට විශ්වාස කළ නොහැකි බව පෙන්වා දෙමිනි.

ඡන්ද 500,566ක් ලබා ගනිමින්, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ 2015 අගෝස්තු දිවුරුම් දුන්නේ නීතියට අනුව අවංකව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකුලව කටයුතු කරණ බව චීවර ප්‍රජාව සහ විධායක ජනාධිපති ඉදිරියේ ප්‍රසිද්ධ කරමිනි.

කණගාටුවට කරුණ නම්, මෙසේ සපථ කළ කරණු ඉටු කිරීමට පසුගිය අවුරුදු 02 තුළ වික්‍රමසිංහ අපෝසත් වීමය. හෙට දකින රනිල්, අද නොදකිම පුදුම සහගතය. මේ සටහන, ඔහුගේ සහ වර්තමාන ආණ්ඩුවේ ළග සහ අද නොපෙනීමේ ගැටළුව සම්බන්ධවය.

රනිල් ගේ දේශපාලනය ද, අන් සැමගේ මෙන්ම මුල්‍ය සහ සමාජ ප්‍රාග්ධනය සහ තෝරාගත් ජනතාවක් මත රදා පවතී.

එහෙත් අගමැති ලෙස හෙතම ගනු ලබන තීරණ රටේ සමස්ත ජනතාවටම බලපානු ලැබේ. ඔහුගේ දේශපාලන තීරණ සහ එහි බලපෑම රටේ සමස්ථ ජනතාවගේම දෛනික පැවැත්ම තීරණය කරනු ලබයි. මම මිතොටමුල්ලෙන් පටන් ගැනීමට කැමත්තෙමි.

කුණු කන්දක් නාය යාම හේතුවෙන් ජනතාව මිය ගිය සහ අතුරුදහන් වූ අතර අවතැන් විය මිය ගිය ජනයා අතර කුඩා දරුවන් 08 දෙනකු වූ බව සදහන් වේ (http://dailynews.lk/2017/04/17/features/113310/meethotamulla-tragedy-consequences-negligence-and-lethargy). මීතොටමුල්ලට මහා පරිමානිකව කුණු හැලීම ගෝඨාභය රාජපක්ෂ විසින් බලහත්කාරයෙන් සිදුකළ බව කුණු කන්දේ වින්දිතයන් පැවසීය. සිවිල් සංවිධාන එකමුතුවේ සම කැවුම්කරු, චමීර පෙරේරා පෙන්වාදුන් ආකාරයට 2008 දී ගෝඨාභය රාජපක්ෂ විසින් මීතොටමුල්ලේ කුණු හැලීමට තීරණය කරණ ලදී. අධිකරණ නියෝගයක් මගින් කුණු මීතොටමුල්ල වෙත ඉවත්කිරීම තහනම් කර තිබුන ද ගෝඨාභය මැතිදුන්ගේ පවුල් රාජධානියක් වූ ශ්‍රී ලංකාවේ, නීතියට ඉහලින් එතුමාගේ වචනය තබා, කුණු ඉවත් කිරීම එම ප්‍රදේශය තුල සිදුවුණි (http://dailynews.lk/2017/04/19/local/113518/%E2%80%98gotabhaya-responsible-meethotamulla-disaster%E2%80%99).

විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහයන් ඒ යුගය තුළ, මීතොටමුල්ලේ සිදුවෙමින් පැවති පුරවැසි සහ පරිසර අයිතීන් උල්ලංඝනය වීම් සහ නීතියට ඉහලින් සිවිල් නිලධාරියෙකුගේ වචනය පැවතීම සම්බන්ධයෙන් අවබෝධයක් වූ යේ ද? එදා හෙටක් ගැන නොසිතු රනිල් වික්‍රමසිංහ, අද හෙටක් ගැන කතා කරයි. වර්තමාන රනිල් වෙත පැවතිය හැකි ගැටළුව නම්, ඇයි මේ මිනිස්සු කුණු කන්ද අත්හැර නොයන්නේ? මේහි ජිවත්වන සියල්ලෝම යහපත් ජිවන තත්වයකට අයිතිය සහිත පාර්ශවයන් වේ. එහෙත්, දෛනික කම්කරුවන් වන ඔවුන්, ශ්‍රමය මත පමණක් යැපේ. වලව් හෝ ප්‍රවේනිගත ප්‍රාග්ධනයක් ඔවුන්ට අහිමිය. එහෙත් ජීවිතය ලද හෙයින් එය පවත්වා ගැනීම වෙනුවෙන් සුළු ගෙවීම් මාසිකව හෝ දෛනිකව ගෙවීම් කරණ කර්මාන්තයන්ගේ නියැලෙමින්, තමාට පහසුවෙන් රැකියාවට ප්‍රවේශ විය හැකි ස්ථානයන්ගේ, ඔවුන් නෛතික ඔප්පු සහිතව ජිවත් වේ. තම කර්මාන්තය පවතින ස්ථානයට දුරකින් වාසය කරන්නේ පොදු ප්‍රවාහයේ පැවතින දුගතින් හේතුවෙනි. හෙට දකින රනිල්ට මාර්ග තදබදය සහ පොදු ප්‍රවාහන සේවාවන් හි සිදුවන ප්‍රචණ්ඩතත්වයන් නොපෙනීම බරපතල ලෙස ගත යුතු කරුණකි.

රනිල්, මෛත්‍රී, හෝ වෙනත් බලයේ සිටි කිසිවෙකුට පෙනුන ද ඔවුන්ගේ නොවන ගැටලුවක් නම්, පොදු ප්‍රවාහන සේවයෙහි ඇති අගුණය. කෙටි හෝ දුර ගමන් බස් සේවාවන්හි කාල සටහන තීරණය වන්නේ රියදුරු සහ බස්රථ සහයකයන්ගේ සහ බස්නැවතුම් නියාමන නිලධාරින්ගේ රුචි-අරුචිතා මතය. එසේම බස්රියේ පැවතිය යුතු ආසන ප්‍රමාණය සහ එක් ආසනයක් වෙනුවෙන් වන ඉඩ පරිමාණය තීරණ කරනු ලබනුයේ ද බස් හිමියා, සහයක සහ රියදුරු විසිනි. හිද ගැනීමට ආසන 02ක් හෝ 03ක් වන ලෙස ඉතාමත් කුඩා තීරු තුළ යම්තමින් පශ්චාත් ශරීර කොටස තබා ගනිමින්, පැය පහක් -හයක් රනිල් නම් කිසිදිනක ගමන් කර නොමැති වනු ඇත. එක් අතකට එසේ පිඩාකාරී ජීවතයක් ගෙවූ සිරිසේන ජානාධිපති වරයාට, මගී වෙහෙස නොපෙන විට, සදළුතලෙන් බැසි කුමරෙකුට එය වටහා ගත හැකිවේ ද? කාන්තාවක් නම් පුරුෂයාගේ ලිගුවේ හෝ හස්තයේ බලහත්කාර ස්පර්ශය ඉවසා හෝ විරුද්ධව සටන් කර පොදු ප්‍රවාහන සේවාව භාවිතා කල යුතුය. ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නව ලිබරල් අධිපති රනිල් හට මේ කරනු එතරම් වැදගත් නොවන්නේ, පුරුෂමුලිකත්වය ඔහු ද එක සිතින් පිළිගන්නා නිසා නොවේද?

රනිල් මැතිදුන් ගේ දේශපාලන ඉතිහාසය වෙත හැරෙමු. 2002 අගමැති රනිල් වවුනියාවේ සිට සහ වේලුපිල්ලේ ප්‍රභාකරන් කිලිනොච්චියේ සිට යුධ විරාම අත්සන් කළෝය. එකී ගිවිසුමේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුව සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර වන මෙකි ගිවිසුමේ මුලික අරමුණ නම් පවතින ජනවාර්ගික ගැටලුව වෙනුවෙන් සාකච්ඡාමය විසදුමක් සොයා ගැනීම සහ ජනතාවගේ ජිවිත සහ දේපල අයිතිය සුරක්ෂිත කිරීමය.
(https://www.theguardian.com/world/ 2002 /feb/ 22 /srilanka).

එසේ ජනවාර්ගික කණ්ඩායම් හි අයිතිය වෙනුවෙන් පෙනී සිටි රනිල් විපක්ෂ නායක තුමා 2007 සිට 2015 වනතුරුම ආගිය අතක් නොවීය. නැවත මතුව, අගමැති ධුරයට පත් මෙතුමා, වෙල්ලමුල්ලිවයික්කාල් හිදී යුධ ගැටුම අවසන් වන අවස්ථාවේදී සහ, එයට ප්‍රථම සහ පසුව අතුරුදහන් කරණ ලද ජනතාව සහ මිය ගිය ජනයා වෙනුවෙන් ඉටු කර තිබෙන යුතුකම් මොනවාද? අතුරුදහන් කරණ ලද නිරායුධ සිවිල් වැසියන්ගේ තොරතුරු ඉල්ලා අවිහිංසාවාදී ව ගෙන යන අරගල වෙත නායකත්වය සපයන මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීනි, ඊශ්වරි ට පහරදී බලහත්කාරයෙන් පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන්නේ ද සටන් විරාම ගසා, කතිකාවෙන් ගැටලුවට පිළිතුරු සෙවීමට උත්සහ කළ රනිල් අගමැතිව සිටින මේ මොහොතේ දීය. උතුර පීරා ‘ආවා’ කල්ලිය සොයන හමුදාව උතුරේ තරුණ ජිවිත තැති ගන්වන්නේ හෙට දකින නායකත්වයක් බලයේ සිටින විටය.

දෙමළ සහ මුස්ලිම් වාර්ගිකයන් ගේ දේපල අයිතිය වෙනුවෙන් අතීතයේ පෙනී රනිල් සහ ඔහුගේ සම්මුතිවාදී ආණ්ඩුවට බල සේනා හි අශිෂ්ට සහ මිලේච්ඡ හැසිරීම් නිතිය මගින් පාලනය කිරීමට නොහැකි විය. නිතිය ආරක්ෂා කරමින් අවංකව කටයුතු කරණ බවට වූ ඔබගේ පෙරොන්දු ව මිත්‍යාවක් විය. අනෙක් වග නම්, ඔබ සහ ඔබේ ආණ්ඩුවේ ‘නපුරු සිහිනය – සයිටම්’ උදෙසා හැසිරීම, ඔබ දකින හෙටේ, අධ්‍යාපනයට සහ අදහස් දැරීමට වන අයිතින් හි පැවැත්ම ප්‍රශ්න කරයි. විශ්ව විද්‍යාල අධ්‍යාපන ආයතන හි ප්‍රමිතිය ගැටලුකාරී නම්, එයට පිළිතුර අධ්‍යපනය වෙළදපොල තුළ විකිණිම නොවන බව අධ්‍යාපන ඇමතිවරයකු ලෙස කටයුතු කළ ඔබ නොදන්නවා නොවේ. එසේම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අරගල වෙනුවෙන් පොලිස් මැර ප්‍රහාර එල්ල කර මැඩලීමට ඔබට හෝ ඔබේ ආණ්ඩුවට මේ මොහොතේ හැකිවෙන් නම්, අනාගතයේ දිනක ඔබගේ මතය නොඉවසන පුද්ගලයන් වධකාගාර තුල නොව ප්‍රසිධියේ ම මහත් හිංසාවට පත් නොකරන බවට කිසිවෙකුට සහතික විය නොහැක.

උමා ඔය වැනි එක්භිමතාර්ථව ක්‍රියාත්මක (අ)වර්ධනීය ව්‍යපෘති මගින් අවතැන් කරන ලද ජනයා වෙනුවෙන් අදක් උදාකර ඔවුන්ගේ ජිවත්වීමේ මුලික කොන්දේසි හෙට දකින ඔබට සපයා දීමට නොහැකි වී ඇත. අදක් නොමැති ජනතාවක් සහ රටක් සහිතව ඔබ හෙටක් ගැන කාතා කරයි. ඔබ, Disney ගේ කතා මෙන්ම අපට පවසන්නේ ඔබ වීරයා වී දුක් විදින අපව බේරා ගන්නා බවය. ඒ Diseny කතාව ජනාධිපතිවරණයේ පැරදුනු මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහචර ආණ්ඩුවෙන් අප කලින් අසා තිබේ. Disney ගේ රාජපක්ෂ පිටපත මෙරට ජනයා ප්‍රතික්ෂේප කර ඇත. ඔබත් එම අනුවාදනයම ගෙන එමින්, මේ මොහොතේ වන ගැටළු නොසලකා, සිහිනෙන් පෙනුණු ‘හෙටක්’ ගැන කතා කරන්නේ නම්, රටේ හෙට නොව, ඔබේ හෙට ගැන සලකා බැලිය යුතු කාලය ඔබට පැමිණ ඇත.

අරුණි සමරකෝන් | Aruni Samarakoon