Colombo, end of the War, Featured Articles, Features, Jaffna

මා යුද්ධයට විරුද්ධ වීම වරදක් වී ද?


පරාජිතයා විසිනි
අන්තිමේ දී අවිහිංසාව ජය ගනු ඇතැයි සිතන්නට මම පුරුදු වී සිටියෙමි. මිනීමරු අහංකාරෝන්මාදයෙන් පෙළෙන විරුද්ධවාදියෙකු සම්බන්ධයෙන් පවා (මා මෙහි දී අදහස් කරන්නේ ප්‍රභාකරන් ගැන මිස මහින්ද ගැන නො වේ) මිට විදැහුණු හස්තය මිට මෙළවුණු අත පරදා ජය ගනු ඇතැයි මම විශ්වාස කළෙමි. අවසන් යුද්ධයේ දී වඩා වැඩි සටන්කරුවන් සංඛ්‍යාවක් ද, වඩා බිහිසුණු ආයුධ ද ඇතිව සටන් වන් ලේ වැකි ඊළාම් යුද්ධ තුනම, මට නම්, මෙම සටන සංග්‍රාම භූමිය මත දී ජය ගත නොහැකි බවේ සාක්ෂ්‍යයක් විය. එනිසා අවසන් ජයග්‍රහණයක් පිළිබඳ ප්‍රතිඥාවක් ද සහිතව, එහෙත් මේ වතාවේ සාහසික නව මූලෝපායක් (එනම්, වැඩි සටන්කරුවන් සංඛ්‍යාවක් ද බිහිසුණු ආයුධ) ද සහිතව සිව් වන ඊළාම් යුද්ධය ඇරඹුණු විට, එය ද පසු ගිය තෙවතාවේ දී මෙන් ම අවසන් වනු ඇතැයි – අවසානයක් නැතිව අවසන් වනු ඇතැයි – මම උපකල්පනය කළෙමි. එහෙත් මා වැරදි විය. එල්ටීටීඊයේ ඉතිරිපහදු වූ සටන්කරුවන් මුල්ලකට කොටු වුණු විට ඔවුන් පලා ගොස් සැඟවී ගනු ඇතැයි ද අසූ ගණන්වල මුල් භාගයේ දී ඇරඹුණු පහර දී පලා යන කැරැල්ල යළි අමුතුවෙන් ඇරඹෙනු ඇතැයි ද, වීදි මධ්‍යයෙහි, බස් රථවල සහ වෙළඳ පොළවල එල්ටීටීඊ සටන්කරුවන් සහ සටන්කාරියන් පුපුරවා ගෙන මියෙද්දී කොළඹ සසල වනු ඇතැයි ද මම සිතා ගත්තෙමි. යළිදු මා වැරදි විය. යුද්ධය අවසන්ව වසරක් ගෙවී ඇත. බෝම්බ නැත. පහර දී පලා යාම් නැත. මෙහි සිදු වෙමින් පවතින්නේ කුමක් ද? යුද්ධය ඒකාන්ත වශයෙන් ම අවසන් විණි ද? එය එසේ යැයි මම සිතමි. ඒ හැරුණු විට තව මොනවා ද… අවිහිංසාව පරාජය විණැයි මම සිතමි. එහෙත් සංග්‍රාම භූමියේ දී නම් නො වේ, වතාවක් වඩා ශ්‍රේෂ්ඨ වූ පරමාදර්ශයන් උසුලා දරා සිටි, මහජන අපගේ පරමාර්ථවල කුරිරු තර්කයට විනිවිද යා නොහෙන තැන දී ය.

මම යුද්ධයට විරුද්ධ වූයෙමි. සටන් පාඨ සහිත පුවරුවක් රැගෙන වීදියේ දී නම් නො වේ, මා හදවතිනි. කුමනාකාරයෙන් සාධාරණීකරණය කෙරුණත් ඝාතනය වැරදි දෙයකැයි මම ඇදහුවෙමි. සිව් වන ඊළාම් යුද්ධයේ දී සෙබළු හයදහසක් මරුමුව වැටුණහ, එලෙස ම එල්ටීටීඊ සාමාජිකයෝ දසදහස් ගණනක් ද මරුමුව වැටුණහ. සිවිල් මරණ සංඛ්‍යාව බිංදුවකැයි ජනාධිපති කී ය. සමහර විට ඔහු සඳහන් කළේ සැබෑ සංඛ්‍යාවට පසුපසින් පවතින බොහෝ බිංදු ගැන විය හැකි ය. සත්‍යය කිය යුතු ය, එහෙත් අපි සැබවින් ම නො දනිමු. බොහෝ දෙනෙකු මියෙන්නට ඇත. වරදක් විණැයි හැම විට ම මට හැඟිණ. බෝම්බයකින් මියෙනු ඇතැයි කිසි ම බයක් සැකක් නැතිව කලින් මාර්ග බාධක යොදා තිබුණු පාරවල් හරහා මා වාහනය පදවාගෙන යද්දී මගේ මුවඟට මඳ සිනා නැගුණු හැම මොහොතක ම, දෙපාර්ශ්වයේ ම පුතුන් සහ දියණියන් ගෙවූ විශාල මිල ගැනත් අපගේ මතභේද සාමකාමීව විසඳා ගැනීමට අසමත් වීම ගැනත් මම සිහිපත් කළෙමි. යුද්ධයෙන් වසරක් ගෙවී ගිය තැන, සංචාරකයන් රංචු පිටින් රට තුළට ගලා එමින් සහ කලින් පැවති යුද කලාප තුළ වේගයෙන් සංචාරක හෝටල් වර්ධනය වෙමින් පවතිද්දී, මම හැම විට ම සතුටින් සිටිමි, ජයග්‍රහණය නිසා මධුවිත තොල ගෑමි, එහෙත් මා සිනා සෙද්දී මා මගේ ලේ තැවරුණු දසන් නිරාවරණය කරන බව මට අමතකව ගොසිණි.

යුද්ධය සැබවින් ම අවසන්ව ඇත් ද? නැත් නම් එය, දශක දෙකකට පසුව දෙවන ලෝක යුද්ධය පැන නැග ඒමට කොන්දේසි නිර්මාණය කළ නිසා පසුව පළමු වන ලෝක යුද්ධය ලෙස යළි නම් කෙරුණු, සියලු යුද්ධ අවසන් කිරීමට කළ මහා යුද්ධය වැන්නක් ද? කෙසේ වුව ද, අප දැන් ජය ගෙන ඇත, ඉන් අදහස් වන්නේ අප මුල දී සටන් වැදුණේ ඇයි ද යන්න අමතක කර දමන්නට යන බව ද? යුද්ධය හොඳින් අවසන් විණැයි ද මතභේදය සමථයකට පත් වී යැයි ද එය යළි ඇවිලවීම සඳහා දරන ඕනෑ ම ප්‍රයත්නයක්, අප සතුව පවතින වඩාත් ම ඵලදායක මග ගනිමින්, එනම් අතිමහත් මිලිටරි බලය යොදා ගනිමින් මැඩ ලිය යුතු යැයි ද රටේ අතිමහත් බහුතරය සිතා සිටිති. නිදහසේ මෙපිට දී, විශාල පරිමාණයේ මිලිටරි බලය අභ්‍යන්තරික වශයෙන් යොදා ගෙන ඇත්තේ තෙවතාවකි: එනම්, 1971 ජවිපෙ කැරැල්ලේ දී, 1989 ජවිපෙ කැරැල්ලේ දී සහ ඊළාම් යුද්ධවල දී ය. (අප තව මත් බාහිර ආක්‍රමණිකයෙකු සමග සටන් වැදී නැත, එහෙත් න්‍යායිකව ගත් කල, මිලිටරියක් ගොඩ නැගීම සඳහා හේතුව වන්නේ එම කරුණ ම ය). මෙම අවස්ථා තුනෙහි පැවති අමු ක්‍රූරත්වය, අප මිලිටරිමය විකල්පය වෙත යොමු වීමෙන් වළකා අපගේ නොඑකඟතාවන් අවිහිංසා මාධ්‍යයන්ගෙන් විසඳා ගැනීම සඳහා අප යොමු කිරීමට හේතු විය යුතු යැයි කෙනෙකු සිතිය හැකි ය. එහෙත් විමතිකභාවය විසඳා ගැනීම සඳහා පවතින එක ම ඵලදායී විධික්‍රමය මිලිටරිමය විකල්පය බව යථාර්ථයේ දී තහවුරු වී ඇත. 1971 දී රෝහණ විජේවීර ඝාතනය කර තිබුණා නම් 1989 කැරැල්ලක් ඇති වන්නට කිසිදු ඉඩක් නැතැයි පිළිගන්නට සාමවාදී ලිබරලයෙකු වැනි මට පවා සිදු වී ඇත; වඩමාරච්චි මෙහෙයුමේ දී ප්‍රභාකරන් ඝාතනය කර තිබුණා නම් දෙවන, තෙවන සහ සිව් වන ඊළාම් යුද්ධ ඇති නොවනු ඇත.

මනා අනුගාමිකත්වයක් සහිත, ජනකාන්ත, පරමාදර්ශී තරුණයෙකු තමන්ට ඇහුම්කන් දෙවා ගැනීම සඳහා ප්‍රචණ්ඩකාරී වුව හොත්, ඒ ඊළඟ වතාවේ දී අප කළ යුත්තේ කුමක් දැයි මෙම ලේ වැකි ප්‍රඥාවෙන් යුතුව ඔබ ඔබගෙන් ම අසා ගන්න: ඔබ ඔහු අත් අඩංගුවට ගෙන ඔහු සමග ඔහුගේ දුක් ගැනවිලි ගැන කතා කරනවා ද, නැත් නම් ඔබට ලැබුණු පළමු අවස්ථාවේ දී ම ඔහු ඝාතනය කර දමනවා ද? සාකච්ඡා කිරීමෙන් සිදු වන්නේ නො වැළැක්විය හැකි දෙය කල් දැමීම පමණක් බව අපගේ මෑත ඉතිහාසය සැලකිල්ලට ගන්නා විට පෙනෙයි. මිලිටරි බලය පිළිබඳ වඩා බුද්ධිමය බවක් පළ කරන කිසියම් යෝජකයෙකු (දයාන් ජයතිලක?) අප පළමුව ඔහු ඝාතනය කර පසුව ඔහුගේ අනුගාමිකයන්ට කතා කළ යුතු යැයි යෝජනා කළ හැකි ය. එනම්, ඉගෙන ගත් පාඩම්වලින් පෙනී යන්නේ මිලිටරි බලයෙන් සිදු වන නිස්කාරණ විනාශය වැළකීම සඳහා පවතින හොඳම මග වන්නේ පසුව කරුණු කාරණා විසඳීමට අසීරු තත්ත්වයට පත් වන්නට කලින් මුල දී ම එය යොදා ගැනීම බව යි.

අප අතර සිටින විමතිකයන් සහ වෙනස් අදහස් දරන චින්තකයන් විනාශ කිරීම සඳහා බලගතු මිලිටරියක් වුවමනා කරන, විමතිකයන් අතුරුදන් කිරීම සඳහා ගෙස්ටාපෝවට බඳු හපන්කමක් ඇති ආණ්ඩුවක් වුවමනා කරන, අපගේ තොරතුරු දැඩි ලෙස පාලනය කිරීම ඉවසා සිටින ජාතියක් බවට අපි අද දින පත්ව සිටිමු. උත්ප්‍රාසාත්මක ලෙස, විකල්පය යුද්ධය යැයි අපි විශ්වාස කරමු. ලිබරල් සාරධර්ම සහ පීඩාකාරී බවින් තොර පාලනය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ඕනෑ ම දේශපාලනඥයෙකු, ජාත්‍යන්තර අධිරාජ්‍යවාදයට විකිණුණෙකු සහ ජාතියට ද්‍රෝහී වූවෙකු ලෙස දැකීම ඊටත් වැඩියෙන් උත්ප්‍රාසාත්මක ය. එල්ටීටීඊයට යළි සන්නද්ධ වීමට, යළි කණ්ඩායම්ගත වීමට සහ තවත් යුද්ධයක් දියත් කිරීමට ඉඩ සලසා දුන්නේ රනිල් වික්‍රමසිංහගේ ලිබරල්වාදී, මාධ්‍යයට හිත පක්ෂපාතී, සංහිඳියාවෙන් සපිරි පාලන තන්ත්‍රය යැයි පෙන්වා දීමට ඔවුන් හැම විට ම සමත් වීම මෙම තර්කය සනාථ කරන සාක්ෂ්‍යයකි.

මා යුද්ධයට විරුද්ධ වීම වරදක් වී ද? අපි ප්‍රශ්නය යළි ප්‍රකාශයට පත් කරමු: මැනවින් සන්නද්ධ වුණු තවමත් ජීවතුන් අතර සිටින ප්‍රභාකරන් කෙනෙකුට ද තවමත් තර්ජනාත්මක වන එල්ටීටීඊයකට ද හුමවාරුවක් වශයෙන් සිව් වන ඊළාම් යුද්ධයේ දී මිය ගිය සියලු දෙනාට (පූර්ණ සංඛ්‍යාවක් ලෙස ගත් විට පනස් දහසක් පමණ යැයි සිතමි) බොත්තමක් ඔබා යළි පණ ගෙන දිය හැකි නම්, දිවි නසා ගැනීම සඳහා ඔවුන් යොදා ගන්නා බැනියම් තුළ හැම මුල්ලකම රහසින් සැඟවී සිටිය හැකි නම්, මම එය කරන්නෙම් ද? මට සහතිකව කිව නොහැකි ය. ඔව්, එම ජනයාට යළි පණ ගෙන දෙන්නෙමි යි වහා කිව හැකි යැයි මම සිතමි; මම එල්ටීටීඊය සමඟ තවත් දශකයක් හෝ දෙකක් සාකච්ඡා කිරීමට ප්‍රයත්න දැරීමේ අවදානම දරමි. එහෙත් මට එය කළ නොහැකි ය. මම ඒ වෙනුවෙන් තිස් වසරක් කැප කර ඇත, මට එය එපා වී ඇත. එහෙත් මා එල්ටීටීඊය මුලිනුපුටා දැමීම සඳහා ඒ පනස්දහසක් ජනයා ඝාතනය කිරීමට අණ දෙන්නෙමි යි ද මම නො කියමි. මට එය කිසි දා කළ නොහැකි ය. මම අන් අයෙකුගේ මිනීමරු අපරාධවල ඵල සතුටින් භුක්ති විඳින, ඒත් මා ම ඉදිරිපත් වී මිනී මරන්නට තරම් එඩිතරකමක් නැති බිය ගුල්ලෙක්මි, කෛරාටිකයෙක්මි
.

මහත්මා ගාන්ධි සහ කනිටු මාටින් ලූතර් කිං තුළ අවිහිංසාව කෙරෙහි තිබුණු කැපවීම, ඔවුන් ජීවත් වූ අවධිවල දී ඔවුන් මුහුණ පෑ ගැටලුවලට සැබෑ විසඳුම් රැගෙන ආවේ ය. එහෙත් ඔවුන්ගේ සාර්ථකත්වය රැඳී පැවතුණේ න්‍යායෙහි නොව න්‍යාය බැහැර කිරීමෙහි යැයි විශ්වාස කරන්නට මම පටන් ගනිමින් සිටිමි. අවිහිංසාව උදාර යැයි ද නිවැරදි යැයි ද මම තව මත් සිතමි, එහෙත් ප්‍රාතිහාර්යයන් ගැන තව දුරටත් විශ්වාස නොකළත් පල්ලියට යන ක්‍රිස්තියානුවෙකුගේ මෙන් මගේ විශ්වාසය ද නැතිව ගොස් ඇත.

http://www.groundviews.org හි පළවූ Was I wrong to oppose the war? ලිපියේ සිංහල පරිවර්ථනයයි..(2010 මැයි 20)