සිංහල, Colombo, Democracy, Governance, Media, Peace and reconciliation

කේපී නිදහස් ද…?

කොටි සංවිධානයේ ජත්‍යන්තර කටයුතු පිළිබද නායකයෙක් වන කුමරන් පද්මනාදන් හෙවත් කේපී පසුගිය කාලයේ මහත් ඝොෂාවක් නඟමින් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආවේ ය. නමුත් මේවන විට ඔහු නිදහස් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. නිදහස් කරන ලද කේපී මේවන විට නිදහසේ රටතොට සැරිසරන බව හැඟවෙන වාර්තාවක් අද දිනමිණ වාර්තා කළේ ය. ‛දිනමිණ’ වාර්තාකරන අන්දමට එය මෙසේය.

කොටි සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රධානි කුමරන් පද්මනාදන් ඇතුළු දෙමළ බුද්ධිමත්හු නව දෙනෙක් තමන් උගත් පාඩම් ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිති.
කැනඩාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, සහ ඕස්ට්‍රේලියාව යන රටවල දේශපාලන රැකවරණ ලබමින් සිටි කොටි හිතවාදීන් වූ මෙම පිරිස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන් හමුවී ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
නව දෙනෙකුගෙන් යුතු මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කුමරන් පත්මනාදන් දැඩි උත්සාහයක් ගත් අතර ඔහුද මෙම හමුවට එක්වී සිටියේය. කොටි හිතවාදීන් වූ මෙම විද්වතුන්ට ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් දැන් ලැබී ඇති බව කේ. පී. ප්‍රකාශ කරයි.
එතෙර වාසය කරන දෙමළ හිතවාදීන්ට දැන් තත්ත්වය අවබෝධ වී ඇතැයි ඔහු කියයි. යළි පදිංචි කරන අය ගැන සොයා බැලීමට ගිය මෙම නියෝජිතයන් පෙන්වා දුන් අඩු පාඩු සපයාදීමට බලධාරීහු එකඟ වූහ. මෙම පිරිස වවුනියාව යාපනය සහ කිලිනොච්චියේ සංචාරය කළහ.

යුද්ධය අවසන් වී වසරක් ගතවී ඇතත් යුද්ධයෙන් හෙම්බත් වුනු උතුරේ වැසියන් තවමත් සිටිනුයේ විශාල පීඩනයකය. එසේම යුද්ධයට හේතුවුනු දේශපාලනික කරුනු පිළිබඳව ආණ්ඩුව ගන්නා ඉදිරි පියවරයන් ගැන තවමත් කිසිදු පැහැදිළි සාකච්ඡාවක් නැත.
තත්වයන් මෙසේ තිබිය දී මහත් ගොෂාවක් නගමින් අත්අඩංගුවට ගත් කේපී, කරුණා සහ පිල්ලෙයාන් මෙන් ආණ්ඩුවේ දමිළ හොරණැවක් බවට පත් කර ගැනීමට උත්සහ දරණ බවක් වාර්තාවෙයි.

විශේෂයෙන් දමිළ ජනයාට අවශ්‍ය දේශපාලනික නිදහස ඔවුන්ට තීරණය කිරිමට තිබෙන අයිතිය මෙම ආන්ඩුවේ දමිළ හොරනෑ පාවිච්චි කරමින් හකුළා දෑමීමේ උත්සහයක් පවතියි. විශේෂයෙන් ජාතික ප්‍රශ්නයට ලබා දීමට උත්සහ කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ‛සිංහල විසඳුම’ සඳහා ආණ්ඩුවේ දමිළ හොරණෑ (කරුණා වැනි..)දැන් භාවිතා කරමින් සිටින පරිදි ආණ්ඩුව ඉදිරියෙදි මෙම කොටි නායකයින් ද පාවිච්චි කිරීමට සැරසෙන බව වැඩිදුරටත් වාර්තා වේ.
තපූ