සිංහල, Colombo, Democracy, Election, Governance, Media

ජනාධිපතිවරණ ‛පොරොන්දු’…?

පසුගිය ජනපතිවරණ වේදිකාවේ දී වූ පොරොන්දු පිළිබඳ නැවත ආවර්ජනය

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දුන් සියළු මිත්‍ර පාක්‍ෂික දේශපාලඥයින් විසින් මැතිවරණ වේදිකාවේදී සුළු ජාතික ප්‍රජාවට ලබා දුන් ප්‍රතිඥාවන් පිළිබඳව නැවත ආවර්ජනය කිරීම මෙහි මූලික අදහසයි. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව දැන් අඩවසරක් නික්මගොස් ඇත. නමුත්, ඔවුන් ලබාදුන් බොහෝ පොරොන්දු තවමත් එලෙසම පවතී. මෙයින් පෙන්වා දීමට උත්සහ කරන්නේ සිංහල පුවත්පත් විසින් ජනාධිපතිවරණ කාලවකවානුව තුළ පළ කරණ ලද විවිධාකාර ආකර්ශනීය දේශපාලන පොරොන්දු පිළිබඳ ශීර්ෂ පාඨයන් ය.

උතුරේ වැසියන්ට කෝටි 100ක බැංකු ණය (දිනමිණ, 2009 දෙසැම්බර් 01, පි. 6), පුනරුත්ථාපනයෙන් පසු කොටි සාමාජිකයන් 10,000කට රැකියා (දිනමිණ, 2009 දෙසැම්බර් 4, පි. 4), වතු ජනතාවගේ ජීවනෝපාය නැංවීමට වතු කමිටුවලට රුපියල් ලක්‍ෂ 272ක් (දිනමිණ, නොවැම්බර් 30, පි. 11), රු. මිලියන 1500කින් ඉදිවන වවුනියාව නගර සංවර්ධන ගිවිසුමට අස්සන් තබති (දිනමිණ, දෙසැම්බර් 5, පි. 11), උතුරේ නැවත පදිංචි කෙරෙන අයට සුළු කර්මාන්ත ඇරැඹීමට රු 50,000 බැගින් (දිනමිණ, දෙසැම්බර් 8, පි. 4), වතුකරයේ ජනතාවට සහන පොලියට නිවාස ණය (දිනමිණ, දෙසැම්බර් 11, පි. 19), උතුරු නැගෙනහිරට විදුලි යෝජනා ක්‍රම 307ක් (දිනමිණ, දෙසැම්බර් 15, පි. 4), පුත්තලමේ අවතැන් කඳවුරුවල ජනතාවට මුල්ගම්වල සියලු හිමිකම් ලබා දෙනවා : පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්‍ෂ (දිනමිණ, දෙසැම්බර් 15, පි. 9),

යුද්ධය නිසා අවතැන් වූ මුස්ලිම් ජනතාව යළි පදිංචි කරනවා. ඔබගේ ඉඩම්වල වෙන කිසිකෙනෙක්ව පදිංචි කරන්නේ නෑ. (ලක්බිම, මුල් පිටුව, 2009 දෙසැම්බර් 28).

යාපනය රදගුරුවරයා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉල්ලීම් කිහිපයක් ලබා දෙන බවට රාජපක්‍ෂ මහතා පොරොන්දු වී ඇත. ඒවා නම්, සිර භාරයේ සිටින දෙමළ තරුණ පිරිස් බරපතළ චෝදනා නැත්නම් නීතිපතිවරයා මාර්ගයෙන් නිදහස් කිරීමට කටයුතු කිරීම, ධීවර ඇමතිවරයා මාර්ගයෙන් ධීවර ආම්පන්න ලබාදීමට කටයුතු කිරීම, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ජාතික පාසලක් බවට පත් කිරිම (දිවයින, මුල් පිටුවේ පුවතක්, 2010 ජනවාරි 11).

දේශපාලන විසඳුමක් දෙනවා : බැසිල් ඉන්දියාවට කියයි (රාවය, මුල් පිටුව, 2009 දෙසැම්බර් 13)

මේ මැතිවරණයෙන් පසුව උතුරේ ජනතාවට දෙන දේශපාලන විසඳුම කුමක්ද යනුවෙන් ජනාධිපතිවරයාගෙන් ලංකාදීප අසා ඇති ප්‍රශ්නයට ‛‛මම යෝජනා කරනවා අලුතෙන් සෙනෙට් සභාවක් හදන්න. උතුරේ පළාත් සභාව හැදෙනවා. සෙනට් සභාවට පළාත් සභාවලින් තමයි නියෝජිතයෝ පිරිසක් එන්නේ. මේ යෝජනා සියලු පක්‍ෂ වලට මම දෙනවා’’ යනුවෙන් පිළිවදන් දී ඇත(ලංකාදීප, පි. 4, ජනවාරි 22).
උපන් පොළොවේ ගෞරවනීය ලෙස මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරන බව සපත කිරීම (ලක්බිම, පි. 11, දෙසැම්බර් 29) – උතුරු නැගෙනහිර ප්‍රදේශවලින්ද ලෝකය ජයගත හැකි අය බිහිවනවා දැකීම මගේ අරමුණයි (වව්නිවායේ පැවති ජනරැළියකදී) (දිවයින, පි. 17, ජනවාරි 12) – අධ්‍යාපන පහසුකම්, නිවාස පහසුකම්, ධීවර පහසුකම්, මහ මාර්ග පහසුකම් වැනි සෑම පහසුකමක්ම තව තවත් ලබා දෙනවා. මේ රටේ මින් පසු ජාති, කුල බේද, ආගම් බේද, පන්ති බේද, පළාත් බේද කිසිවක් තියෙන්නට බෑ (ලක්බිම, පි. 11, ජනවාරි 12) – අපේ ගමේ මිනිසුන්ට රත්තරන් දෙන්නේ නම් කන්ද උඩරට මිනිසුන්ට යකඩ දෙන්නේ නෑ. ඔවුන්ටත් දෙන්නේත් රත්තරන් බව ප්‍රකාශ කිරීම, මින් මතු මේ රටේ සුළු ජාතීන් කියා කිසිවෙකු නැත. මේ රටේ සෑම දෙනාම අයිතිවාසකම් ඇතිව ගෞරවනීය ලෙස ජීවත්විය යුතුයි. උපාධිධාරීන් ඇතුළු උගත් අයට රැකියා ලබා දෙනවා (කොටගලදී, ලංකාදීප, පි. 5, ජනවාරි 20)

උතුරේ ළමයින් ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයෙන්ම ඉගෙනගත යුතුයි. අනාගතයේදී ඒ අය මේ රටේ ප්‍රධාන තනතුරු දරන්නට ඕනෑ. අනාගත පරපුර වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු (යාපනයේදී, දිවයින, පි. 17, ජනවාරි 16) – නැවත පදිංචිකිරීමේදී ලබා දෙන මුදල 50000 දක්වා වැඩි කරනවා : අවතැන් වැසියන් ජනවාරි 31 වන විට තම ගම්බිම්වල පදිංචි කිරීම ස්ථීරයි (සෙට්ටිකුලමේදි) (ලක්බිම, පි. 5, දෙසැම්බර් 11)

මන්නාරමේ වැසියන්ට තවත් සහන රැසක් : අවතැන් වූවන් සියලු දෙනා ලබන මසදී පදිංචිකර අවසන් : ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේසක බැසිල් රාජපක්‍ෂ (සිළුමිණ, පිටුව 10, 2009 දෙසැම්බර් 13)

පුත්තලමේ අවතැන්ව සිටින මුස්ලිම්වරුන් මුල් ගම්බිම්වල කඩිනමින් පදිංචි කරනවා : ජනාධිපති කල්පිටියේ දී කියයි (දිනමිණ, මුල් පිටුව, 2009 දෙසැම්බර් 28)

‛‛කියන දේ කරන කරන දේ කියන’’ උසස් ගුන ඇති මහතෙකු ලෙස ඔබ ඔබවම හඳුනාගනු ලබන නිසා අපද ඔබව හඳුනා ගැනීමට කැමැත්තෙමි. ඔබ දැන් පාර්ලිමේන්තු මහා මැතිවරණයද ජයග්‍රහනය කර ඇත. එහි ප්‍රතිඵල වලට අනුව තුනෙන් දෙකේ බලයේ ආසන්නයට පැමිණ ඇත. තුනෙන් දෙකේ බලය ලබා ගැනීම දැන් ඔබට මහ කජ්ජක් නොවේ. දැන් ඔබට ජනප්‍රිය ප්‍රතිපත්ති කිරියාත්මක කිරීමෙන් බැහැරව දිගුකාලීනව ප්‍රතිපල ගෙනදෙන, රට‛වැසියන්’ උදෙසා අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකියාවක් පවතී. එම නිසා ඔබ විසින් මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ කරුණු ඉෂ්ට කරණු ඇතැයි ලංකාවේ ‛වැසියන්’ බලාපොරොත්තු වේ.

සම්පත් කුමාර