Featured Articles, Features, Kurunegala

කෑදර ජාවාරමක මහා අපරාධය නොහොත් මෙක්සිකෝ බොක්ක තෙලින් වැනසීම

කෑදර ජාවාරමක මහා අපරාධය නොහොත් මෙක්සිකෝ බොක්ක තෙලින් වැනසීම

සුනන්ද දේශප්‍රිය

ෆරෑන්ක් ලෙන්ස්මයර්ගේ කුඩා ධිවර බෝට්ටුව බරතාරියා බොක්කෙහි අශෝබන ජරාවර්ණ තෙල් කැටිති අතරින් යාත්‍රා කරයි. හාත්පස පැතිර ඇති නිහඩතාවය සහ නිසළතාවය බියකරු ය.

සාමාන්‍යයෙන් වසරේ මේ කාලයෙහි මේ මුහුද ඉස්සන් හඹා යන ට්‍රවුට් සහ රතු මත්‍යසයින් ගෙන් නලියයි. ගොදුරු සොයා යන මුහුදු පක්ෂීන් සහ කරවැල් කොකුන් ද ජලය සිසාරා සොබාමත්ව මතුවන රංචු ගැසුණු මුහුදු ඌරන් ද ඒ දසුන වර්ණවත් කරයි.

නමුත් අද මේ මුහුදෙහි මසුන් මැරීම නතර වී තිබේ. විසිපස් වසරක් මෙහි ධිවර කර්මාන්තයේ යෙදුනු ලෙන්ස්මයර් ද සන්ඩේ ටෙලිග්‍රාප් පුවත්පතෙහි වාර්තාකරුවන් සමඟ සිය සුපරුදු මුහුදෙහි පසුගිය දිනෙක යාත්‍රා කරත් දී දක්නට ලැබුණේ ඇමෙරිකානු ඉතිහාසයේ දැවැන්තතම තෙල් පිටාරය සමඟ අසාර්ථක සටනක යෙදෙන බීපී සමාගමේ යාත්‍රා පමණි.

පසුගිය අප්‍රෙල් 20 දා ඇමෙරිකානු සමාගමක් වන බීපී ට අයත් ගැඹුරු මුහුදේ පිහිටි ඩීප් වොටර් හොරිසන් නම් තෙල් නිධියක පිපිරීමක් ඇති විය. මෙම තෙල් නිධිය පිහිටි තිබුණේ වෙරළෙහි සිට කිලෝමීටර 55කට දුරින් කිලෝමීටර් එකහමාරක් තරම් ගැඹුරු මුහුදු පත්ලේ සිට තවත් කිලෝ මීටර පහක් පමණ පොළව යට ය. සාගර පත්ලේ සිට කිලෝ මිටරයක් තරම් යටින් සිදුවූ, හේතුව තවම සොයා ගෙන නැති මෙම පිපිරීම සිදුවන අවස්ථාවෙහි සේවකයින් 126 දෙනෙකු එහි සේවය කරමින් සිටි අතර ඉන් 15 දෙනෙකුට තුවාල සිදු විය. තුවාල ලද 11 දෙනෙකු එහිදී ම ජීවිතක්ෂයට පත් විය. දින දෙකකට පසු ඩොලරි මිලියන 540 ක් වටිනා තෙල් නිශ්කාෂණ වේදිකාව සාගරයෙහි ගිලී ගියේ ය.

පුසුව අනාවරණය වූ අන්දමට මේසා ගැඹුරක තෙල් හෑරීමේ යෙදී සිටි බීපී සමාගම සතුව මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය තාක්ෂනය හෝ දැනුම තිබුණේ නැත. පිපිරීම සිදුවූ පසු ඔව්නට කළ හැකිව තිබුණේ විවිධ අත්හදා බැලීම් මගින් තෙල් කාන්දුව නතර කිරීමට උත්සාහ කිරීම පමණි.

බීපී යනු බ්‍රිතාන්‍යයෙහි මූලස්ථානය පිහිටි අති දැවැන්ත සමාගමකි. තෙල් සමාගම් අතර තෙවැන්නා වන එය විශාලත්වය අතින් ලෝකයේ හතරවැනි සමාගම ය. 2001 දී සහ 2005 දී මදර් ජෝන්ස් නම් ඇමෙරිකානු සඟරාවක් විසින් ලොකයේ නරකම සමාගම් දහයෙන් එකක් ලෙස බීපී නම් කරන ලදී. පරිසර දූෂනය සහ මානව හිමිකම් කෙළෙසීම සම්බන්ධයෙන් එය යළි යළි චෝදනා ලබා තිබුණි. එමෙන්ම මෙම චෝදනාවන්ට වැරදිකරුවූ බීපී සමාගමට ඩොලර් මිලියන ගණනින් වන්දි සහ දඩ මුදල් ද ගෙවීමට සිදුවිය. ඩීප් වොටර් හොරිසන් පිපිරීමට පිළියමක් කර ගත නොහැකිව සිටින බීපී අද පෙන්වන්නේ ලාභ උපරිම කර ගැනීම මිස මහජන ආරක්ෂාව ගැන ප්‍රමාණවත් තැකීමක් එයට නොතිබුණ බව යි.

අනෙත් අතට ගැඹුරු මුහුදෙහි සවිකර තිබූ ඩීප් වෝටර් හොරිසන්හි තෙල් නල පුපුරා ගොස් තෙල් මුහුදු ජලය මතු පිටට කාන්දු වීමට ආරම්භ වූ අවස්ථාවේ සිට බීපී බහුජාතික සමාගම උත්සාහ කළේ මෙම දැවැන්ත අනතුර ලුහු කිරීමට ය. ප්‍රථමයෙන්ම එය කියා සිටියේ දිනකට තෙල් බැරල් 1000ක් පමණ මෙම පිපිරීම නිසා මුහුදු මතුපිටට එක් වෙමින් ඇති බව යි. නමුත් ඉන් දින පහකට පසු ස්වාධීන පරිසර සංවිධානයක් සිය පර්යේෂණ මගින් පෙන්වා දුන්නේ දිනකට තෙල් බැරල් පන් දහසක් ( ගැලුම් 210,000/ලීටර 795,000) මුහුදු මතුපිටට පිටාර ගලමින් ඇති බව යි.

නමුත් තව දුරටත් කළ පර්යේෂන මගින් එක්සත් ජනපද භූ-විද්‍යාත්මක වාර්තාවක් කියා සිටියේ දිනකට තෙල් බැරල් 12,000 සිට 19,000ක් තරම් මුහුදට එක්ව ඇති බව යි. මුහුද මතුපිටට පිටාර ගලනවාට වැඩි තෙල් ප්‍රමාණයක් මුහදු පත්ලට කාන්දු වන පෙන්වා දුන් තවත් විද්‍යාඥයින් කියා සිටියේ එහි ජලජ ජීවිත සහමුලින්ම වාගේ විනාශ වී ඇති බව යි. මෙවැනි තත්ත්වයකදී විශාල මත්‍යසයින්ට එම ප්‍රදේශය හැර යා හැකි නමුත් කුඩා මසුන් සහ වෙනත් ජීවීන් මරණයට පත් වෙයි. එමගින් ජලජ ජීවන චක්‍රය බිදවැටී මෙම කලාපයේ ධිවර කර්මාන්තනයට දීර්ඝ කාලීන විපත් ඇති කරන බව ද විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මෙම ගණනය කිරීම අනුව මේ වන විට මුහුදට එක්ව ඇති තෙල් ප්‍රමාණය බැරල් මිලියන 30ක් ඉක්වමා තිබේ. මේ වනාහී මෑත ඉතිහාසයේ දැවැන්තම තෙල් පිටාර ගැලීම බවට පත් වීමට ඉරණම් ලබා ඇති ඇදහිය නොහැකි තරමේ පාරිසරික සහ ආර්ථික විනාශයකි. දැනට ඇති තක්සේරු මගින් කියැවෙන්නේ අඩුම වශයෙන් එලඹෙන අගෝස්තු මාසය දක්වා තෙල් පිටාර ගැලීම වැලැක්වීමට නොහැකි වනු ඇති බව යි. තවත් වාර්තා කියන්නේ ලබන දෙසැම්බරය වන තුරුම මෙම තෙල් කාන්දුව පවතිනු ඇති බව යි. දෙමසකින් පමණ තෙල් කාන්දුව නවතිනු ඇත්තේ දැන් දැරෙමින් ඇති ප්‍රයත්නයක් වන ඒ අසළම වෙනත් තෙල් ලිදක් හෑරීම සාර්ථක වුවහොත් පමණි. ඒ ගැන කිසිවකුට සහතිකයක් නැත.

තෙල් කාන්දුව නතර කිරීමට ගත් කිසිදු ප්‍රයත්නයක් මෙතෙක් සාර්ථක වී නැත. ප්‍රථමයෙන්ම බීපී සමාගම තෙල් නල පිපිරුම වසා දැමීම පිනිස දැවැන්ත කොන්ක්‍රීට් ආවරණයක් පතිත කිරීමට උත්සාහ කළහ. එය උපන්ගෙයිම අසාර්ථක විය. අධික පීඩනයක් සහිත විදුම් උපකරණ භාවිත කරමින් පිපිරුම තුළට කැපූ ටයර් වැනි අපද්‍රව්‍ය පොම්ප කිරීමට දරණ ලද තැත ද සාර්ථක වූයේ නැත. අනතුරුව රෝබෝ සබ්මැරීන යවා නලයේ කැපුමක් ඇති කර ප්‍රභළ මූඩියක් සවි කිරීමට යෝජනාවක් මතු විය. එසේ නමුත් එම පියවර අසාර්ථක වුව හොත් වැඩි තෙල් ප්‍රමාණයක් පිටාර ගලනු ඇතැයි යන තර්කය මත එම යෝජනාව අත හැර දමන ලදී. මේ වනවිට බීපී සමාගම මෙම තෙල් කාන්දුව නතර කිරීමට සහ විපත් අවම කිරීමට ඩොලර් මිලියන 940 ක් වැය කර තිබේ. එහෙත් සාර්ථකත්වයක් නැත.

මෙම ව්‍යසනයේ පාරිසරික සහ ආර්ථික පාඩුව ඩොලර් ට්‍රිලියනයක් (1,000,0000,000,000) වනු ඇතියි තක්සේරු කරන විචාරකයේ එම මුදල බීපී සමාගම විසින් ගෙවිය යුතු බවට තර්ක කරති. ඒ සමඟම තවත් අයෙක් තර්ක කරන්නේ බරක් ඔබාමාගේ ජනාධිපතිවරණ අරමුදලට බීපී සමාගම විසින් කරන ලද පරිත්‍යාගයන් නිසා අවම වන්දියක් නියම කිරීමට ඔබාමා සූදානම් වන බව යි. තෙල් කාන්දුව පාලනය කළ බවට බීපී සමාගම කළ ප්‍රකාශ මහජනයා මුලා කිරිමට කරන ලද ප්‍රචාරක ගුන්ඩුවක් බව පෙන්වා දෙන මෙම පිරිස් දින 90ක් ගතවන විට මෙම කාන්දුව නතර නොකළ හොත් ජලජ ජීවී පද්ධතිය යළි පිලිසකර නොවෙන තරමට විනාශ වනු ඇති බව පෙන්වා දෙති. එය හුදෙක් මෙක්සිකෝ බොක්කට සීමා නොවනු ඇති අතර උතුරු අත්ලන්තික් සාගරයට සහ ඉන් එපිටට ද පැතිර යාමට ඉඩ තිබේ. තෙල් කාන්දුවට යටින් සාගර පත්ලෙහි සිදුව ඇති විනාශය පෙන්වන ජායාරූප මේ තාක් ප්‍රසිද්ධියට පත් කර නැත. තෙල් තට්ටුවෙහි සමස්ත පැතිර යාම පෙන්වන ප්‍රථම චන්ද්‍රිකා ජායාරූප නැෂනල් ජියෝග්‍රුපි සඟරාව විසින් පළ කරන තුරු ඇමෙරිකානු ආණ්ඩුව ඒවා ප්‍රසිද්ධියට පත් කළේ ද නැත. සාගරය මතු පිට ගලා යන තෙල් ඛන්ඩනය කිරීම පිණිස බීපී සමාගම යොදා ගන්නේ කුමන රසායන ද්‍රව්‍ය ද යන්න රහසක් වශයෙන් පවත්වා ගැනුනි. සමහර වාර්තා ප්‍රකාශ කරන්නේ ගිනි කන්දක ආකාරයෙන් මුහුදු පත්ලෙහි සිට සාගරයට තෙල් විදිමින් ඇති අතර එමගින් දැනටමත් එවරස්ට් කන්ද තරම් කුහරයක් සෑදී ඇති බව යි.

ලාභය පමණක්ම මුල් කැරගෙන කැරෙන මහා පාරිමාණ ජාවාරම් විසින් මහ ජනයාගේ සුභ සිද්ධිය සහ පාරිසරික සමතුලිතබව රැක ගැනීම අවශ්‍ය කර්ණක් ලෙස සළකන්නේ නැත. ඉන්දියාවේ බෝපාල් ඛේදවාචකය තවමත් විපාක ගෙන දෙන එවැනි මහා කාර්මික ව්‍යසනයකි. තවත් එවැනි ව්‍යසනයක් වූ ෂෙල් ගෑස් සමාගම නයිජීරියාවෙහි ඔගොනි ජනයාගේ භූමියෙහි කරන ලද අක්‍රමවත් සහ අපරීක්ෂාකාරී තෙල් නිශ්කාශන ක්‍රියාවාලිය එම ජනයාට මහත් විපත් ගෙන ආවේ ය. එම සාහසික කාර්මික තස්ත්‍රවාදයට එරෙහිව සටන් කළ ජනයාගේ නායකයකු වූත් සුප්‍රසිද්ධ ලේඛකයකු වූත් කෙන්සාරෝ විවා සමාගමේ බලපෑම් මත 1995 දී එල්ලා මරා දමන ලදී. මෙවැනි බහු ජාතික සමාගම් ඇමෙරිකාවේ දී වුවත් අප්‍රිකාවේදී වුවත් ආසියාවේ දී වුවත් රාජ්‍යයන්හි රැකවරණය ලබති.

එසේ නමුත් බීපී සමාගමේ බොරු ප්‍රචාර යටපත් කරමින් විපතෙහි ඇත්ත තත්ත්වය එරටෙහි හෙළිදරව්වත්ම ඇමෙරිකානු ආණ්ඩුවට නිහඩව සිටිය නොහැකි විය. එම තත්ත්වය ඇති වූයේ සමාගමට සහ ආණ්ඩුවට ගැති නොවූ ජනමාධ්‍ය සහ සිවිල් සමාජ සංවිධාන විසින් කරන ලද ගවේශනාත්මක වාර්තාකරණයන් ය. විශ්ව විද්‍යාල දෙකක ඉංජිනේරු විද්‍යාඥයින් කියා සිටියේ සිය පරීක්ෂණ අනුව දිනකට තෙල් බැරල් 100,000 පමණ සාගරයට මුදා හැරෙමින් ඇති බව යි. එය සමාගමේ මුල් පකාශය වු බැරල් 1000 මෙන් සිය ගුණයක වැඩි වීමකි. මෙම ව්‍යසනය පිලිබඳව අදහස් දැක් වූ ඇමෙරිකානු ජාතික වන සත්ව සංගමයේ ප්‍රධානියා කියා සිටියේ පිපුරුම අපරාධයක් සේ සැළකිය යුතු බවයි. වර්ධනය වෙමින් ආ මෙම තත්ත්වය යටතේ සමාගමට එල්ල වන මහජන විරෝධය තමන් කෙරෙහි එල්ල වීම වළක්වාගනු පිණිස ඔබාමා පාලනයට ඍජු පියවර ප්‍රකාශයට පත් කිරීමට සිදු විය. එරට අභ්‍යන්තර ලේකම් කෙන් සල්ෂා කියා සිටියේ බීපී සමාගම කියන කතා මගින් තමන් තීරණයන්ට නොඑළෙඹෙන බව යි. සමාගම අවසානයේ දී බීපී සමාගමේ ප්‍රධානියා ක්‍රොන්ග්‍රසය හමුවට කැදවනු ලදුව උග්‍ර ප්‍රශ්ණ කිරීමකට ලක් විය. එය සජීවීව දැක ගැනීමට ඇමෙරිකානු ජනයාට අවස්ථාව ලැබුණි.

තෙල් කාන්දුව අවමයක් ලෙස දැක්වීම පිළිබඳ සමාගමේ බොරු ප්‍රචාරයන්හි අරමුණ වුයේ ගෙවීමට සිදුවන වන්දි දැවැන්ත ලෙස අඩු කර ගැනීම සහ මහජන අපවාදයෙන් බේරීම ය. සිය අපරීක්ෂාකාරිත්වය නිසා සිදුවූ මෙම මහා ආර්ථික සහ පාරිසරික විනාශය ගැන බීපී සමාගමට කිසිදු කැක්කුමක් තිබුණේ නැත.

එනමුත් දැන් මෙම පාරිසරික ව්‍යසනය විසින් බීපී සමාගම මත ගෙන එනු ඇති මහත් ආර්ථික අවාසි ඉහළ යමින් තිබේ. සමාගමේ කොටස් මිල පහත වැටී ඇති අතර 2010 මැයි මාසයෙන් පසු කාලය සඳහා බීපී සමාගම සමඟ වෙළද ගනුදෙනු සඳහා ගිවිසුම් ඇති කර ගැනීමෙන් වළකින ලෙස බැංකු උපදෙස් ප්‍රකාශයට පත් කර තිබේ. බීපී සමාගම ඇද වැටෙනු ඇත්දැයි අද අන්තර් ජාතික ව්‍යාපාර ක්ෂේත්‍රයේ සකච්ජාවට ලක් වෙමින් තිබේ.

ලාභ උපරිම කරගත හැකි නම් ප්‍රාග්ධන විසින් මිනී මැරිමට වුව නෙපෙසුබට වන බව කාල් මාක්ස් කීවේ වසර 150කට තරම් පෙර ය. දැන් බීපී සමාගමේ මෙම දුෂ්ට හැසිරීම විසින් පෙන්නුම් කරන්නේ එම ප්‍රකාශයේ සත්‍යතාවය යි. ලාභ ලැබීම පමණක් අරමුණු කර ගත් සංවර්ධනයක් නොව චිරස්තායී සංවර්ධන මාදිලියක් ලෝකයට අවශ්‍ය බව මෙවැනි ව්‍යසන අපට යළි යළි සිහිපත් කර දෙයි.