උදෑසන වැහි මේ දින වල අරුමයක් නොවේ. නිරිත දිග මෝසම් වැසි නිසා රටේ බොහෝ ප්‍රදේශ ගංවතුරෙන් යට වී ඇතුවාක් මෙන්ම ඒ හේතුවෙන් විවිධ හානි වලට රටේ සැලකිය යුතු පිරිසක් මුහුණ දෙමින් සිටිති. ඒ අතර තව නොබෝ දිනකින් රටේ ප්‍රධාන අමාත්‍යංශයක් සිවුරක් පොරවාගෙන සිටින එක් චීවරධාරී යැයි කියා ගන්නා භික්ෂුවක් සමග දුර්භික්ෂය නිවාරණය කිරීම සඳහා යැයි චීවර 65,000ක සිවුරු පුජාවක් කිරීමට නියමිතව ඇත.
http://www.bodubalasena.org/?p=1663

ඒ දුර්භික්ෂ නිවාරණය කෙසේවෙතත් භීෂණ විදාරණය කිරීමේ හොඳ හැකියාවක් නම් අදාළ හිමි නමට ඇති බව මුළු රටම දන්නා කරුණකි. ඒ විහිලු සැපයීම් කොයි හැටි වෙතත්,මේ මහා වැසි අස්සේම අද මේ රටේ යුක්තිය වෙනුවෙන් අල්ප මාත්‍ර හෝ හැඟීමක් හදවතක ඇති ගැහැනියකට, මිනිසෙකුට නම් සතුටු විය හැකි දිනයක් යයි මම සිතමි. නිමිත්ත මම මෙසේ සටහන් කරමි.

අද උදෑසන මම හෝමාගම අධිකරණ සංකීර්ණය වෙත යන්නේ සන්ධ්‍යා එක්නැලිගොඩ “සන්ධ්‍යා අක්කා” ගේ නඩුව අද දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට නියමිතව තිබු නිසාය.

2016 ජනවාරි මස 25 වන දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ නඩු වාරය අවසන් ව එන ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ පරිශ්‍රයේදීම ඥානසාර නමැති චීවරධාරියා විසින් ප්‍රකෝපකාරී ලෙස බැන වදිමින් අපහාස කිරීම සම්බන්ධව සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් හෝමාගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කරන ලදී. ඒ අනුව පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත මුලිකව යොමු කරනු ලදුව එයින් සමතයකට පත් වීම ඈ විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩුව ගෙන එන ලදී. එහිදී ඒ වෙනුවෙන් හෝමාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ගොනු කළ පැමිණිල්ල මත, පැමිණිලි පාර්ශවය වෙනුවෙන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටි අතර ඊයේ දින එනම් 2018.05. 24 වන දින උදෑසන තීරණාත්මක නඩු විභාගයක් ඒ අනුව යෙදී තිබුණි.

අද එහි යන මොහොතේ මට තිබුනේ එක්තරා දෙගිඩියාවකි. කුමක් සිදු විය හැකිද? පසුගිය කාලය පුරාම වරෙන්තු නිකුත් කොට තිබියදී පවා අධිකරණය කර අරමින් , ඉතිහාසයේ එකම දින අධිකරණයකින් දෙවරක් ඇප ලබමින්, එමෙන්ම චන්ඩි කම් පාමින්, රාජ්‍යයේ සත්කාර ලබමින් සිටින කද බඩ උස්මහත් චීවර බල මහිමයෙන් වැජඹෙන මැර ඥානසාරගේ පැමිණීම අද අත්‍යාවශ්‍ය වුවත් ඒ ගැන කෙසේවත් විශ්වාසයක් තැබිය හැකිද? අනෙක් අතට මේ සිද්ධිය අරභයා සන්ධ්‍යා එක්නැලිගොඩ නඩුවකට පැටලීම සම්බන්ධයෙන් ඇයගේ හිතවත්තු පවා උරණව සිටියේ මේ මහා අමාරු කාර මිනිහා සමග මොකට පැටලෙන්න යනවාද වගේ හැඟීමකිනි. ඔව්වවට ඔච්චර නහින්නේ “සමාව භාරගත්තා නම් ඉවරයි නේ” වගේ එකක්ද එයින් නොකිය වුණා නොවේ. ඒ ගැන සහ සමථ මණ්ඩලයේදී සිද්ධ වුණු සියලු අලකලංචි සන්ධ්‍යා “විකල්ප” වෙත තම සම්පුර්ණ අත්දැකිමම අළලා මිට මාස 4 කට (ජනවාරි මස 4 ) http://www.vikalpa.org/?p=31741 උඩදී ලියා තිබේ.

පණ්ඩිත වැඩක් යැයි බෝහෝ දෙනා ඇයට දොස් කියූ ඒ අභියෝගය ඇය භාරගත්තාය. මට අනුව නම් ඇය දිනුවේ එතැනින්ය. රටක්ම බය ඒ චන්ඩි කම් වලට ඇය නැමුණේ නැත. ඒ දිරියට මං නියම ගැහැනුකම යයි කියමි. තම සැමියා වෙනුවෙන් අඛණ්ඩව කරන අනවරත අරගලයද, ජිවිත අරගලයද මැද රටේම යුක්තිය, සාධාරණත්වය පිලිබඳ අල්ප හෝ හැඟීමක් ඇති සියල්ලන් වෙනුවෙන් ඈ උසාවි ගියාය. ඒ නිසා අද ඒ තීන්දුව සැමරීමේ අයිතිය මුළුමනින්ම ඇයට තිබේ.

හෝමාගම මහේස්ත්‍රාත් උසාවි භූමිය උදෑසන සිට පිරි ඉතිරි ගොස් තිබුණි. නඩු අසන කාමරයේ ඉඩ නොවූ හෙයින් බොහෝ දෙනෙක් කාමරයේ කොරිඩෝව දෙපස දත කට නියවා බලා සිටියේ විනිසුරුතුමන් අසනාරුඪ වනතුරුය. උදෑසන 9.30 වන විට සන්ධ්‍යා පැමිණි අතර තවත් හිතවතියක් හා හිතවතෙකු අපට එකතු විය. කොයිකටත් අපට සිටියේ 4 දෙනෙකි. බලය පිලිබඳ අපට තිබු සාධකය දුර්වල වුවත් සන්ධ්‍යාගේ හිතේ හයියට අපි සිටියෙමු. 10.30 වනතුරු බලා සිටීමෙන් අනතුරුව විනිසුරුතුමන් පැමිණීමෙන් නඩුවාර ආරම්භ විය. ඒ වන විටත් ඥානසාර පැමිණ සිටියේ නැත. හරියටම පෙ.ව 11.30 ට ඥානසාර ප්‍රමුඛ 5 නමක සපිරිවරක් මහේස්ත්‍රාත් අධිකරණ භූමියට වැඩම කළහ. බොදු බල සේනාවේ නිල තල දරණ අනෙකුත් අය වලුත්, ගිහි මුදල් සපයන්නාත් ඒ අතර විය. ඈතින් එන ශරීර දැක කොරිඩෝව දෙපස අසුන් වල සිටි ඇතැමුන් නැගිට ආචාර කරන්නට වීමද හාස්‍යට කාරණයකි. මේ බුදු චීවරය හැද ගෙන මේ චිවරධාරියා අධිකරණයට එන්නේ කාන්තාවකට අක්‍රෝෂ පරිභව කිරීමේ පැමිණිල්ලක් හේතුවෙනි. චීවරධාරීන් විනාඩි 3 ක් පමණ කොරිඩෝවේ දොර අසල ඉන්නට ඇත. නඩු කාමරයේ අසුන් සියල්ලම පිරි ඉතිරි තිබුණි. එහෙත් 5 දෙනාටම පළමු පෙළින් අසුන් ලැබුණු අතර හරියටම උදෑසන 11.45 වන වන විට නඩුව කැඳවිණි. ඥානසාරගේ “ටයිමින්” නම් මාරය. අපි නම් පැය ගාණක් සෙනග අතරේ හිටගෙන බලා සිටියෙමු. කමක් නැත.

මහේස්ත්‍රාත් විනිසුරු උදිත රණතුංග ඉදිරියේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ ජනක බණ්ඩාර පෙනීසිටි අතර ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥ මංජුල මාකුඹුර පෙනිටියේය. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මොහොතකින් ඇරඹිණි.

ආහ! විත්ති කුඩුවට නැගී ඥානසාරගේ මුහුණට කැමරාවක් අල්ලන්ට හැකියාවක් තිබුනානම් ඒ මුහුණේ තිබු හැඟීමි ටික ෂා ! කියල වැඩක් නැත. චන්ඩි මුහුණ සෙනඟ පිරි අධිකරණය තුළ ඇඹරි යනු දැකීම මා දුටු සුන්දරම දර්ශනය බව නොකියාම බැරිය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් අද දින (2018.05.24) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියක් තුළ දී බැන තර්ජනය කිරීම හේතුවෙන් සාපරාධි බියවැද්දීම හා අඩන්තේට්ටම් කිරීම යන චෝදනා දිවත්වයට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 346 හා 486 යන වගන්ති යටතේ ගලබොඩ අත්තේ ඥානසාර හිමි ඉහත දක්වන ලද චෝදනා 1 සහ 2 යන දෙකටම වැරදිකරු බවට ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව අද දින ඥානසාර හිමිගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමටත්, හදුනා ගැනීම් සඳහා යොමු කිරීමටත් පෙර වැරදිද සලකා බලා දඩුවම් තීරණය කිරීම ජුනි මස 14 වන දක්වා කල් තැබීමත් සිදු කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග දෙන ලදී. විත්ති කූඩුවෙන් බැස යන්නට ගිය ඥානසාර ඇඟිලි සලකුණු ගැනීම සඳහා පොලිස් නිලධාරින් විසින් රැගෙන යන ලදී.

සන්ධ්‍යා සමඟ මම අධිකරණ භූමියෙන් පිටතට පැමිණියෙමි. ඇය සිටියේ සතුටිනි. ඒ සතුට අද සමාජ මාධ්‍ය තුළ ඈ වෙනුවෙන් සතුට ප්‍රකාශ කරමින්, දිරිය පතමින් සැමරුවාට,ඒ වෙනුවෙන් මේ ගමන් මග තුළ ඈට ඉවසන්නට වුණු දුක් කන්දරාව අසන්නට නම් බොහෝ දෙනෙකු නොසිටි බව මෙහි ලිවිය යුතුමය. මහා ශරීරයක් හිමි චීවරධාරින්ට එරෙහිව ඈ හැමදාම උසාවි ආවේ තනිවමය. ඈ වටේ දිගටම හිටියේ කීප දෙනෙකි.ඔවුන් හැකි විට ඇගේ තනි නොතනියට උසාවි බිමේදී මෙන්ම හිතේ හයියට ඈ සමඟ සිටියහ. ඒ අතේ ඇඟිලි ගානට අඩු වු පිරිසකි. එහෙත් සුදු ඔසරියෙන් සැරසී ප්‍රගීත්ගේ මතක පැළදුම පැළද ඇය යුක්තිය වෙනුවෙන් හඬ නගන හැම තැනම ඇයට හැකි උපරිම ලෙස පෙනී සිටියාය. එය උතුරේද දකුණේද ඇය කළාය.

මේ ගැහැණියට මේ හරියක් කරන්නට පුළුවන් බව කවුරුත් විශ්වාස කලේ නැත. විශ්වාස කිරීමට ඕනෑ උනේද නැත. අද වෙනතුරු එහෙම නඩුවක් තිබුණා වත් දැයි නොදන්න වුන්ද ඒ අතර ඈ වෙනුවෙන් වීර කතා ලියා තිබෙනු දුටිමි. එය එක අතකින් හොඳය. යුක්තිය දිනන විට දී වත් මිනිසුන් ඒ ගැන කතා කරන්නට ඉදිරිපත් වීමත් මේ මොහොතේ ලැබිය හැකි ජයග්‍රහණයකි. වින්දිතයා ඇය වුවද ඇතැමි මාධ්‍ය අධිකරණ සංකීර්ණයෙන් එළියට එන ඥානසාරගේ වීර මුණ පුම්බමින් මෙතෙක් කළක් ගත කළහ. ප්‍රගීත් කොටියෙක් යැයි කියවමින් හංවඩු ගසමින් සන්ධ්‍යාට මඩ ගසන්නෝ ඕනෑ තරම් ය. අදත් එහි වෙනසක් නැත. ඒ නිකන් උඩින් සියල්ල සිදු වෙන බව සිතා සිටින අහස් කුරුල්ලන්ය. සන්ධ්‍යාගේ ජිවන අරගලය දන්නා වුන්ට එය කීමට අවශ්‍ය නොවේ.

දැන් ඇත්තේ අමාරුම අභියෝගයම නොවේද? ජුනි 14 වනදා යනු දිනයක් පමණක්ම නොවේ. ඒ සත්‍ය හා යුක්තිය වෙනුවෙන් යුක්තිය පසදලිමේ ක්‍රියාවලියේදී යුක්තිය ඉටුවන බවත්, එය පෙනෙන්නට තිබෙන බවත් අධිකරණය වෙතින් මහජනයාට ඔප්පු කළ යුතු දිනයක් බවට එය පත්මෙ වේ. එමෙන්ම එවන් දිනයක් බවට ඒ දින පත් කරගැනීමේ අභියෝගය ද ඔබට, මට අපි සියලු දෙනාටම දැන් තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 346 වගන්තියේ දක්වා ඇති පරිදි බරපතළ වුත්, හදිසි වූත් , ප්‍රකෝපක කිරීමක් නොවූ අවස්ථාවක දී යම් තැනැත්තෙකුට අගෞරව කරන අදහසින් අඩම්තේට්ටම් කිරීම හෝ සාපරාධි බලහත්කාර පෑම යන වරද යටතේ

“යම් තැනත්තෙක් විසින් කරනු ලැබූ බරපතල වුත්, ප්‍රකොපක්කාරී නොවූ අවස්තාවක දී ඔහුට අගෞරව කිරීමේ අදහසින් යමෙකු අඩම්තේට්ටම් කරතොත් හෝ සාපරාධි බලහත්කාරය පාතොත් , ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක ආකාරයක බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයකින් හෝ එකී දඩුවම් දෙකින්ම දඩුවම් කළ යුතුය” යනුවෙන් දක්වා ඇති අතර

දණ්ඩ නීති සංග්‍රහයේ 486 වගන්තිය යටතේ සාපරාධි බිය ගැන්වීමේ වරද කරන තැනැත්තෙකුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ එකී දඩුවම් දෙකින්ම දඩුවම් කළ යුතුය යනුවෙන් ද දක්වා තිබේ.

එහෙත් තවමත් අපිට කිසිවක් තීරණය කිරීමට මේ කාලය නොවේ. ඒවා එසේ වන්නට මෙන්ම නොවන්නටද පුළුවන. ඒ ගැන මා මෙහි ලිවිම අවශ්‍ය නොවේ. කෙසේවෙතත් අධිකරණයේ ස්වාධිනත්වය රැකෙන වින්දීත පාර්ශවය වෙත ලැබෙන අපක්ෂපාති , සාධාරණ විනිශ්චයක් වෙනුවෙන් අපි සියල්ලෝම දෑස් දල්වා බලා සිටිමු. එහෙත් අතීතය අපට උගන්වා ඇති පාඩම් සුන්දර පිළිතුරු දී නැත. ඒ නිසාම තිගැස්මක් තිබේ. ඒ ගැන කල්පනාවෙන් සිටිය යුතුය. ඒත් අනෙක් අතට සිත් තුළ තවමත් දළු ලන එකම එක බලාපොරොත්තුවක් හෝ කියන්නේ යුක්තිය වෙනුවෙන් වන අවසන් බලාපොරොත්තුවත් අත්නොහරින ලෙසය.

නමුත් කවුරුන් කෙසේ කීවත් තනි ගැහැනියක මේ රටට තම සටන අත්නොහැර තනිව අත්කරදුන් ඒ යුක්තියේ බලාපොරොත්තුව සැමරිය යුත්තකි. සුළු පටු නොවේ. එය ඇගේ හිතේ හයිය නොවන්නට වෙන කුමක්ද ?

ගැහැනියකගේ මුවින් දුටු අව්‍යාජ අවංක සතුටේ සිනාව මා ගැහැනියක ලෙස සහ අවුරුදු ගානකට පසු සන්ධ්‍යාගේ ඇස් දෙකෙන් අද දුටුවෙමි. මා තරම් ම ලොකු පුතෙක් සිටින සන්ධ්‍යා මට මගේ සහෝදරියක වන්නේ ඒ යුක්ති සහගත අරගලේ මා දකින ශක්තිවන්තම ස්ත්‍රීය ඇය නිසාය. මම අදද හෙටද කියමි. “යුක්තිය” යනු අකුරු 4 ක් පමණක්ම නොවේ. මම නැවත ද ලියමි. දැන් යුක්තිය අප සොයා නොයෙන අතර අප යුක්තිය කරා යා යුතුව තිබේ.

ඉෂාරා ධනසේකර | Ishara Danasekara