Colombo, end of the War, Featured Articles, Features

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රගතිය කරා රැගෙන යාම

ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ ද හමාර වී යුද්ධය අවසන් වීමේ පළමු වන සංවත්සරය අවසන් වෙමින් ඇති මේ මොහොත, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වධ දෙන ඇතැම් ගැටලු විසඳීම පිළිබඳව සිතා බැලීම ඇරඹීමට සුදුසු කාලය යි. දැවැන්ත ණය කන්දරාව ද දැරිය නොහැකි අයවැය හිඟය ද ඇතුළු මෙම ගැටලු විසඳීමට අසමත් වුව හොත් ජීවන තත්ත්වයන් පිරිහී අවසානයේ දී අර්බුදයකට තුඩු දෙනු ඇත.

හමුදා ඉවත් කිරීම Demilitarisation

හමුදා ඉවත් කිරීමත්, ආර්ථිකයත් අතර මොන සම්බන්ධයක් ද? සෑම සියලු සම්බන්ධයක් ම පවතී. මිලිටරි වියදම් ආර්ථිකය ප්‍රසාරණය කිරීමට දායක වන කිසිවක් නොනිපදවයි: ආහාර, ඇඳුම් හෝ වාසස්ථාන වත්, අධ්‍යාපනය හෝ සෞඛ්‍ය රැකවරණය වත්, යටිතල පහසුකම් හෝ ප්‍රාග්ධන භාණ්ඩ වත් නොඋපදවයි. සිදු වෙමින් පවතින්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙය යි: බදු ඉවත් කිරීමෙන්, හෝ බදු මත (පොලී සහිතව) ආපසු ගෙවන රාජ්‍ය ණයක් නිර්මාණය කිරීමෙන්, සැබවින් ම නම් එය කරන්නේ රටේ ධනය අඩු කිරීමකි. ලබා ගැනීම විනා ආපසු කිසිවක් ලබා නොදෙන, ආර්ථිකයේ අවශේෂ කොටස්වලින් යැපෙන පරපෝෂිතයෙකු වන එය සම්පත් සියල්ල ම ගිල ගන්නා කාල කුහරයක් බඳු ය. සෝවියට් සංගමය බිඳ වැටීමට බලපෑ එක් හේතුවක් වූයේත් 2008 දී එක්සත් ජනපද ආර්ථිකය බිඳ වැටීමක අද්දරට ම තල්ලු වී යාමට උපස්තම්භක වූයේත් මිලිටරි අධිවියදම් ය.

මිලිටරි වියදම් සාධාරණ යැයි කීමට යොදා ගත හැකි එක ම වලංගු තර්කය වන්නේ යම් රටක් අභ්‍යන්තර හෝ බාහිර වෙනත් මිලිටරි බලවේගයක තර්ජනයට මුහුණ පා සිටින්නේ ය යන්න යි. මීට වසරකට පෙර සමය තෙක්, එල්ටීටීඊය ශ්‍රී ලංකාවට එල්ල කළ මිලිටරිමය සහ ත්‍රස්තවාදී තර්ජනය නිසා මිලිටරි යුද්ධෝපකරණ සහ කාර්ය මණ්ඩලය සඳහා කළ රාජ්‍ය වියදම් යුක්ති සහගත වන්නට ඇත. එහෙත් යුද්ධය අවසන් වුණු පසුව, සාම-කාලීන ආර්ථිකයට සෘණාත්මක බලපෑම් ඇති කරමින් යුද-කාලීන ප්‍රතිපත්තිය දිගින් දිගට ම පවත්වා ගෙන යාමට කිසිම යුක්තියක් නැත. මිලිටරි වියදම් කපා හැරීම මුළුමනින් ම කළ හැක්කකි, කළ යුත්තකි: එනම්, මිලිටරි යුද්ධෝපකරණ මිල දී ගැනීම නතර කර අඩු ගණනේ මිලිටරි කාර්ය මණ්ඩලයෙන් අඩක් විසුරුවා හැරිය හැකි ය; විසුරුවා හළ එම කාර්ය මණ්ඩලය, විනාශ වුණු යටිතල පහසුකම්, නිවාස, පාසල්, රෝහල්, රජයේ කාර්යාල සහ කම්හල් යළි ගොඩගැනීම වැනි ආර්ථිකයට උදව් වන සාමාජීය වශයෙන් ඵලදායී ක්‍රියාකාරකම් තුළ සාමාන්‍ය රටවැසියන් ලෙස යළි සේවයෙහි යෙදවිය හැකි ය. අභ්‍යන්තරව අවතැන් වූවන්ට(IDPs) අයත් ඉඩම් අරක්ගෙන තව දුරටත් අධිආරක්ෂිත කලාප (HSZs) පැවතීමේ අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට, තමන් කලින් සිටි වාස භූමි කරා ආපසු ගොස් තමන්ගේ ජීවිත සහ නිවහන් යළි ගොඩ නගා ගැනීමට ඔවුන්ට සහාය විය යුතු ය.

උතුර සහ නැගෙනහිර අතිමහත් මිලිටරි කාර්ය මණ්ඩලයක් සිටීම, එම පළාත්වල වැසියන්ගේ සිත් තුළ තමන් ජීවත් වන්නේ විදේශීය බලවතෙකුගේ මිලිටරි වාඩි ලා ගැනීමකට යටත්ව ය යන හැඟීම ඇති කරන්නක් වනවාට අමතරව, ටිකෙන් ටික රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කර දමන විනාශකාරී බරපැනක් ද වන්නේ ය. වර්තමානයේ දී මිලිටරි වියදම් අඩු කිරීම, අයවැය තුලනය කිරීමට පමණක් නොව, අනාගතයේ දී ගැටුම් ඇති වීමට තිබෙන ඉඩකඩ අඩු වීමට ද ඒ අනුව ස්ථාවරත්වය වැඩි දියුණු වීමට ද උදව් වනු ඇත. ඊළඟට එම නව වාතාවරණය, ආර්ථිකය ප්‍රසාරණය කරන සමාජයට ඵලදායී රැකියා උපදන ආයෝජන දිරි ගන්වා, අයවැය තුලනය කිරීමටත් ණය අඩු කිරීමටත් දායක වනු ඇත.

මානව අයිතිවාසිකම් සහ ආර්ථිකය Human Rights and the Economy

මානව අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව ආර්ථිකය කෙරෙහි බලපාන ආකාරයක් පවතී. එය පහසුවෙන් වටහා ගත හැකි ද බෙහෙවින් සාකච්ඡාවට ලක් වුණු කාරණයක් ද වේ: එනම්, වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගම් රටවලට කළ අපනයනය ප්‍රවර්ධනය කළ යුරෝපා සංගම් ජී.එස්.පී.+ පහසුකම රඳා පවතින්නේ ආණ්ඩුව මානව අයිතිවාසිකම් සහ යහපාලනය පිළිබඳ ප්‍රමිතීන් සපුරා ලීම මත ය. එම පහසුකම අත්හිටුවීම ආර්ථිකය තව දුරටත් පිරිහීමට හේතු වනු ඇත. එය වළක්වා ගත හැකි වන්නේ, එය යළි අලුත් කිරීම සඳහා කොන්දේසි වශයෙන් යුරෝපා සංගම් වාර්තාවෙන් නිර්දේශ වී ඇති පියවරයන් ක්‍රියාත්මක කිරීමෙන් පමණකි.

මෙම වෙළඳ වරප්‍රසාද මානව අයිතිවාසිකම් සහ යහපාලනය සමග සම්බන්ධ කරනු ලබන්නේ තාර්කික පදනමක් මත ය. ආනයනය කරන රටවල ආණ්ඩු සංවර්ධනය වෙමින් පවතින රටවලින් ආනයනය කරන භාණ්ඩවලට බදු නොපැනවීමට කැමති වී සිටින්නේ මෙම සහනයේ ප්‍රතිලාභ රටේ සියලු ජනයාට හිමි විය යුතුය යන කොන්දේසිය මත ය. එහෙත් මෙය මෙය රඳා පවතින්නේ මානව අයිතිවාසිකම් සහ යහපාලනය ආරක්ෂා කිරීම මත ය. උදාහරණයක් ලෙස, දුෂණය ඉහවහා යමින් පවතින්නේ නම්, ප්‍රතිලාභ හිමි වනු ඇත්තේ සාමාන්‍ය ජනයාට නොව දූෂිත දේශපාලනඥයන්ට සහ ආණ්ඩු නිලධරයන්ට ය. සමාගමයේ නිදහසට සහ වෘත්තීය සමිති පිහිටුවීමට සහ සාමූහිකව කේවෙල් කිරීමට කම්කරුවන්ට ඇති අයිතියට ගරු නොකෙරෙන්නේ නම්, ප්‍රතිලාභ හිමි වනු ඇත්තේ කම්කරුවන්ට නො ව සූරා කන හාම්පුතුන්ට ය. දූෂිත දේශපාලනඥයන් සහ සූරා කන හාම්පුතුන් පොහොසත් කරනු පිණිස ම යුරෝපා සංගම් රටවල් සිය ආදායම් මූලාශ්‍රයන් පාවා දිය යුත්තේ ඇයි?
වෙළඳ වාසි සහ මානව අයිතිවාසිකම් අතර පවතින මෙම බැඳීම, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අයුතු ලෙස අත පෙවීමක් නොව, ශ්‍රී ලංකාවෙහි ජනගහනයේ අතිමහත් බහුතරයකට උදව් වීමකි. එමෙන් ම, ආර්ථිකය වඩා සුරක්ෂිත කිරීමට ද එය උදව් වේ. 2008 ගෝලීය අර්බුදයට යටින් පැවති එක් හේතුවක් වූයේ පොහොසතුන් සහ දුප්පතුන් අතර පවතින දැවැන්ත සහ පුළුල් වන අසමානතාව යි. ලෝකය පුරා, (සංවර්ධනය වෙමින් පවතින මෙන් ම සංවර්ධිත රටවල ද) පොහොසතුන් වඩ වඩාත් පොහොසත් වී ඇති අතර (සංවර්ධිත මෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල ද) දුප්පත්තු වඩ වඩාත් දුප්පත් වී සිටිති. මෙය ඒ ඒ රටවල ආර්ථිකයන්ට මෙන් ම ලෝක ආර්ථිකයට ද නොයෙක් හානිකර ප්‍රතිවිපාක අත්කර දුනි. ජනගහනයේ බහුතරය වඩ වඩාත් දුප්පත් වෙද්දී මුළු ඉල්ලුම පිරිහිණ, ඔවුන්ගේ අවශ්‍යතා සැපිරීම සඳහා නිෂ්පාදනයෙහි ආයෝජනය කිරීම අඩු ලාභයක් ලැබෙන කටයුත්තක් බවට පත් විය. මෙහි එක් ප්‍රතිඵලයක් වූයේ විරැකියාව ඉහළ යාම යි. තවෙකක් වූයේ, සමාජයට ඵලදායී නිෂ්පාදනයට කිසිම දායකත්වයක් නොසපයන ඉතා කුඩා ප්‍රභූ පෙළැන්තියක් ධනවත් කරමින්, ආයෝජන දැවැන්ත ලෙස මූල්‍ය නිපැයුම් (මූල්‍ය ව්‍යාපාර) කරා යොමු වීම යි. මීට අතිරේකව, සිය ජීවන තත්ත්වයන් පවත්වා ගෙන යනු පිණිස කම්කරු පන්තික පවුල් ඉහළින්ම ණයගැති වීම ද සිදු විය. මෙය තිරසර ආර්ථික වර්ධනයක් පවත්වා ගෙන යා හැකි ආකෘතියක් නො වේ, අපේක්ෂා කළ හැකි පරිදි, වේගවත් බිඳ වැටීමකට තුඩු දෙන්නකි.

ශ්‍රී ලංකාව යනු ලෝක ආර්ථිකයේ ඉතා කුඩා කොටසක් පමණකි, එහෙත් එය ද පුළුල් වන ආදායම් අසමානතාවෙන් සහ විරැකියාවෙන් පීඩා විඳීනු ලබයි. මෙම ගැටලුව විසඳා ගැනීමට නම් යුරෝපා සංගම් ජී.එස්.පී.+ තන්ත්‍රය ඉල්ලා ඇති මානව අයිතිවාසිකම් සහ යහපාලන පියවරයන් ක්‍රියාත්මක කළ යුතු ය. මෙහි ලා ප්‍රධාන බාධකයක් වී ඇත්තේ පවතින විධායක ජනාධිපති ක්‍රමය යි. එය එක් පුද්ගලයෙකුට අත්තනෝමතික බලයක් ලබා දෙන්නකි. ඒ අනුව, එම පුද්ගලයා ඉවසා සිටින සහ දරි ගන්වනතාක් දුරට මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමට සහ අයහපත් පාලනයට ඉඩ සැලසේ. 17 වන ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කරන ලද්දේ එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා ම ය. එහෙත්, එම නීතිවලට ඉහළින් ක්‍රියා කිරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතුව තිබෙන තාක් දුරට එවැනි පියවරයන් ක්‍රියාවට නැංවිය නොහැකි බව පසක් වී ඇත. මෙලෙස අප අත්දැක ඇත්තේ, දූෂණය දසත පැතිර අපාලිතව පැවතී ගෙන යන අතරතුර, අපරාධකාරයන් කිසිදු විශ්වසනීය පරීක්ෂණයකට හෝ දඬුවමකට යටත් නොවී අතුරුදන් වීම් සහ අධිකරණයෙන් පිටස්තර ඝාතන ඉහවහා ගිය තත්ත්වයකි. මෙහි පවතින ප්‍රධාන ගැටලුව විධායක ජනාධිපති ක්‍රමය ම ය. එය අහෝසි නොකළ හොත් ආර්ථිකය දිගින් දිගට ම ප්‍රපාතය කරා ඇදී යනු ඇත. මහින්ද චින්තනය එය අහෝසි කරන බවට පොරොන්දු විය. තමා තමන් දුන් පොරොන්දු ඉටු කරන්නෙක් ද නැත් නම් ඡන්ද දායකයා රැවටූ වංචාකාරයෙක් ද යන්න පෙන්වා දෙන්නට රාජපක්ෂට දැන් කාලය එළඹ ඇත.

සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය Development and Democracy

කාලයේ අවශ්‍යතාව ලෙස සලකා, විශේෂයෙන් ම උතුරෙහි සහ නැගෙනහිරෙහි සංවර්ධනය පිළිබඳව බොහෝ කතාබහ සිදු වෙමින් පවතී, මෙය සත්‍යයකි. එහෙත් සංවර්ධනය යන්නෙන් අප අදහස් කරන්නේ කුමක් ද? ඉන් අදහස් වන්නේ රාජ්‍යය හෝ ප්‍රාග්ධනය අබාධිතව අණසක පැතිරවීම ද? මෙම ආකෘති දෙක ම අත්හදා බලා අසාර්ථක වී ඇත. නැගෙනහිර රටවල් කාණ්ඩය රාජ්‍යවාදී, මධ්‍යගත පාලන ආර්ථිකයක් පදනම් කරගත් සංවර්ධනයක් අත්හදා බලන ලදුව 1980 ගණන්වල අග දී එය බිඳ වැටිණ. බටහිර දී සහ අවශේෂ ලෝකයෙන් වැඩි කොටසක දී, වෙළඳ පොළේ ආධිපත්‍යය උත්තරීතර වන නව ලිබරල්වාදී ආකෘතිය අත්හදා බලන ලදුව 2000 ගණන්වල අග දී එය බරපතළ අර්බුදයක කිඳී ගියේ ය. ලෝකය තවමත් එම අර්බුදයෙන් ගොඩවී නැත. මෙම ආකෘති දෙකෙහි ම නැත්තේ ප්‍රජාතන්ත්‍රවාදය යි: එනම්, සංවර්ධනය සැලසුම් කිරීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී ජනගහනයේ අතිමහත් බහුතරයේ සහභාගිත්වය සහ පාලනය යි.

යම් තරමකට සැර බාල වුණු ආකාරයකින් ශ්‍රී ලංකාව ද මෙම ආකෘති දෙක ම අත්හදා බලා ඇත. බණ්ඩාරනායක කාලයේ දී තරමක් මධ්‍යගත ආකෘතියක් අත්හදා බලන ලදුව, හිඟකම් නිසා ඉතා බොහෝ දුෂ්කරතාවන්ට හේතු වී අවසානයේ දැවැන්ත ජනවරමකින් ජයවර්ධන බලයට ආවේ ය. එහෙත් ඔහු රට මත පැටවූ නව ලිබරල්වාදී ආකෘතිය ඊට වඩා භයානක ප්‍රතිවිපාක පවා ගෙන දුන්නැයි කිව හැකි ය. ඉන් එකක් වුණු රැකියා විනාශය, දැවැන්ත තරුණ නොසන්සුන්තාවක් මොලවා ලී ය: පළමුව උතුරෙහි සහ නැගෙනහිරෙහි ඇවිල ගිය දෙමළ සටන්කාමිත්වය යි, ඊළඟට රටේ අවශේෂ කොටස්වල ජවිපෙ කැරැල්ල සඳහා තතු සකස් කිරීම යි.

අනාගතයේ දී මෙම වැරදි මග හැර ගන්නට අපට වුවමනා නම් සංවර්ධනයෙහි ලා සමස්ත ජනගහනය ම ප්‍රජාතන්ත්‍රවාදීව සහභාගි වීම අත්‍යවශ්‍ය ය. අභ්‍යන්තරව අවතැන් වූවන් වැනි වර්තමානයේ දී කොන් කිරීමට ලක්ව සිටින ප්‍රජාවන් සැලසුම්කරණයේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී පූර්ණ වශයෙන් සහභාගි වීම අවශ්‍ය ය. මේ තුළින්, උතුරුදිග මුස්ලිම්වරුන් ද ඇතුළුව මෑතක දී අවතැන් වුණු ජනයා ද දිගු කාලීනව අභ්‍යන්තරව අවතැන් වී සිටින ජනයා ද යළි පදිංචි කිරීම සහ පුනරුත්ථාපනය කිරීම ප්‍රමුඛතාව දිය යුතු කටයුත්තක් බවට පත් වේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් ගල ලෙස සැලකෙන වෙනස්කම් නොකිරීම සහ සමාන අයිතීන් හිමි වීම ද අත්‍යවශ්‍යතාවකි. ස්ත්‍රීන් හෝ ජනවාර්ගික සහ ආගමික සුලුතරයන් වැනි ජන කොටස්වලට එරෙහිව වෙනස්කම් කෙරෙන්නේ නම් සංවර්ධනය සඳහා දායක වීමට ඔවුන්ට තිබෙන හැකියාව අපතේ යනු ඇත. ඊට ඉඩ දිය නොහැකි ය.

බලය බෙදා හැරීම දෙමළ ජනයාගේ අවශ්‍යතාවක් ලෙස පමණක් දකිනු ලබතත් එය සලකා බැලිය යුත්තේ මෙන්න මේ පසුබිම තුළ හිඳිමිනි. පාර්ලිමේන්තුව තුළ, ආණ්ඩුව තුළ නොව, තනි පුද්ගලයෙකු අත බලය එක්තැන් වුණු අධිමධ්‍යගත රාජ්‍යයකින් හට ගන්වනු ඇත්තේ කල් නොපවතින ප්‍රතිලාභවලින් සමන්විත අසමතුලිත සංවර්ධනයකි. සැබවින් ම සමතුලිත තිරසර සංවර්ධනයක් ඇති කරන්නට නම්, බලය බෙදා හැරීම තුළින් ලැබෙන ප්‍රජා මූල සහභාගිත්වය අවශ්‍ය ය. ඒ අනුව, බලය බෙදා හැරීම යනු දෙමළ ජනයාගේ පමණක් නො ව සියලු ප්‍රජාවන්ගේ ම අවශ්‍යතාවකි.

ආර්ථිකය සහ දේශපාලනය එකිනෙකට වෙනස් විෂය ක්ෂේත්‍රයන් යැයි ද ඒ දෙක අතර එතරම් ම සම්බන්ධයක් නැතැයි ද සමහර විට පෙනී යා හැකි ය. එහෙත් වැරදි දේශපාලන ප්‍රතිපත්තිවලට ආර්ථිකයක් වනසා දැමිය හැකි ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රගතිය කරා ගෙන යාමට නම් හමුදා ඉවත් කිරීම ද මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ද තහවරු කිරීම අත්‍යවශ්‍ය ය.

රෝහිණී හෙන්ස්මාන්