iMage: Sri Lanka Mirror

ජනාධිපතිවරයාව ඝාතනය කිරීමේ සැලැස්මට පොලිස්පතිවරයාද වගකිව යුතු බවත් දැන් පොලිස්පතිවරයා ජනාධිපතිවරයාගේ පාලනයේ සිටින බැවින් (පොලිසිය ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ පවතින බැවින්) පොලිස්පතිවරයා ඉවත් නොකරන්නේ ඇයි? යන ප‍්‍රශ්නයට ජනාධිපතිවරයාගේ හා මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය ප‍්‍රකාශ කරන්නේ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ඇති බවත් ඔවුන් එම කාර්යය සිදු නොකරන බවත්ය. මෙය ඉතා සාවද්‍ය අදහසකි. මෙම විග‍්‍රහයේ අරමුණ වන්නේ පොලිස්පතිවරයා ඉවත් කිරීම පිළිබද නීතිමය තත්වය පැහැදිලි කිරීමය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට පොලිස්පති ඉවත් කළ හැකිද?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායක සභාවට පොලිස්පති වරයා පමණක් නොව වෙනත් කිසිදු නිලධාරියකු ඉවත් කිරීමේ හැකියාවක් නොමැත. ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා ලෙස යෝජනා කරනු ලබන නම් සදහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාදීමක් සිදු කරන නමුත් ඉවත් කිරීම සම්බන්ධව කිසිදු බලයක් ව්‍යවස්ථාව මගින් සලසා නොමැත. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින්ද මෙම තත්වයේ වෙනසක් සිදුකර නොමැත.

පොලිස්පතිවරයා ඉවත් කරන්නේ කෙසේද?

පොලිස්පතිවරයාව හා නීතිපතිවරයාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ වන්නේ 2002 අංක 5 දරණ නිළධාරීන් ඉවත් කිරීම (කාර්පටිපාටිය) පනත අනුවය.එකී පනත අනුව නීතිපතිවරයා හෝ පොලිස්පතිවරයාව ඉවත් කර හැක්කේ පනතේ 2 වන වගන්තියේ දක්වන හේතුවක් නිසා පමණි. එවැනි හේතුවක් මත පොලිස්පතිවරයා ඉවත් කිරීම ආකාරයන් දෙකකට කළ හැකිය.

පළමුවන ආකාරය

පනතේ 3වන වගන්තියේ දක්වන හේතූන් අතරින් අ/ආ/ඇ හා ඊ යන වගන්ති යටතේ ජනාධිපතිවරයාට සෑහීමටකට පත්විය හැකි හේතු පවතින්නේ නම් පොලිස්පතිවරයාව ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත.
එම වැරදි වන්නේ

  • වස්තුභංගත්වයට පත්වී ඇති බවට නඩු තීන්දුවක් පැවතීම
  •  ශාරීරික හෝ මානසික රෝගීභාවය නිසා සිය තනතුර දැරීමට නොහැකිවීම
  •  සාදාචාරාත්මක වරදක් රාජද්‍රොහීත්වය හෝ අල්ලස පිලිබඳ වරදකට වරදකරු වීම
  •  ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අහිමිවීම

දෙවන ආකාරය

පහත සදහන් හේතූන් මත පොලිස්පති වරයාව ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ නම් :

  •  දූෂණ හෝ විෂමාචාරය පිලිබඳ වරදකරුවෙකු වීම
  • තනතුර අවභාවිතා කිරීම පිලිබඳ වරදකට වරදකරුවෙකු වීම
  • සිය රාජකාරිය නොසලකාහැරීම පිළිබඳ වරදකරුවෙකු වීම
  • සිය දූරය පක්‍ෂපාතීව යොදාගැනීම පිළිබඳ වරදකට වරදකරුවීම

ඒ සදහා පහත ක‍්‍රියාමාර්ග ගත යුතුය.

  •  මන්ත‍්‍රීවරුවරුන් 1/3 කට අඩු නොවන මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් අත්සන් කරන ලද පොලිස්පතිවරයාව ඉවත් කිරීම සම්බන්ධ පරීක්‍ෂණ කමිටුවක් පත් කරන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
  • පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් එවැනි කමිටුවක් පිහිටිවිය යුතු බවට යෝජනාව සම්මත කිරීම-(මෙම පරීක්‍ෂණ කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු සිටිය යුතු අතර සභාපතිවරයාව අගවිනිසුරුවරයා විසින් නම්කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ කථානායකවරයා විසින් අගමැති හා විපක්‍ෂනායක විමසා පත් කරනු ලබන නීතිය හෝ රාජ්‍ය පරිපාලන කලමණාකරණය පිලිබඳ විද්වතෙකුගෙන් සමන් විය යුතුය)
  • එම පරීක්‍ෂණ කමිටුව විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීමේ තීරණයක් ලබාදුන් පසුව එකී තීරණය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව එය ජනාධිපතිවරයාට යොමුකිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම සිදුකරනු ලැබේ.

මෙම පනතේ දෙවන ක‍්‍රමය යටතේ පොලිස්පතිවරයාව ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ නම් ජනාධිපතිවරයාගේ හෝ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ෂවයේ මන්ත‍්‍රීවරයකුට එවැනි යෝජනාවක් ගෙන ආ හැකිය. නමුත් කිසිදු මන්ත‍්‍රීවරයකු එවැනි යෝජනාවක් මෙතෙක් ගෙන ආවේ නැත. එවැනි සූදානමක්ද නැත.

පොලිස්පතිවරගේ සේවය අත් හිටුවීම (Interdiction)

සේවය අත් හිටුවීම යනු සේවයෙන් ඉවත් කිරීමක් නොවේ. රජයේ සේවකයකුගේ සේවය අත් හිටුවීම සම්බන්ධයෙන් අදාළ වන්නේ ආයතන සංග‍්‍රහයයි. ඒ අනුව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කල රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාස කිහිපයකට පෙර පොලිස්පතිවරයාගේ ක‍්‍රියාකලාපය පිළිබදව පරීක්‍ෂා කිරීම සදහා එකී අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියගේ ප‍්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්කර පරීක්‍ෂණ සිදුකරමින් පැවති අතර ජනාධිපතිවරයාගේ ඔක්තෝබර් 26 වනදා ක‍්‍රියාකලාපය නිසා එම ක‍්‍රියාවලිය නවතින ලදී.

දැන් පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට සාධාරණ හේතුවක් පවතී නම් එකී හේතු පදනම් කරගෙන පොලිස්පතිවරයාගේ සේවය අත්හිටුවිය හැකිය නැතහොත් පොලිස්පතිවරයා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය යටතේ අත් අඩංගුවට ගතහොත් එකී වරද ඇප දිය නොහැකි වරදක් වන බැවින් ආයතන සංග‍්‍රහයට අනුව පොලිස්පතිවරයාගේ සේවය අත්හිටුවීමේ බලය විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට ඇත.

 

නීතිඥ ජගත් ලියන ආරච්චි | Jagath Liyana Arachchi