සිංහල, Colombo, Democracy, Governance, Human Security

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්….

සුනන්ද දේශප්‍රිය

කියනු! පකිස්තානය !!

පකිස්තාන ජාතික කවියකු වන පායිස් ගේ කළකට පෙර ලියූ මේ වචන මුෂාරප් විරෝධි අරගලය තුල ළෙලදුනි.

කියනු
කියනු, ඔබ දෙතොල් නිදහස් ය
කියනු, දිව ඔබේ ම දිව ය
කියනු, සිරුර ද ඔබේ ම ය
කියනු, ඔබ ජීවිතය තව ම ඔබ සතු ය.

බලනු, කම්හලෙහි වියරුවුනු ගිනිදලු
යදම් රත්පැහැ ගන්වනයුරු
අගුලු සිය හකු විවරකර
සියලු යදම් බිදලනෙනයුරු

කියනු, මේ කෙටි හෝරාව ඇති තරම් දිගුය
සිරුර මියෑදි සහ හඩ නෑසී යාමට පෙර.
කියනු, තවමත් පනැති ඇත්ත,
කියනු, කියනු කවරක් වුවත් කිය යුතු.

පායිස්

ජනතා විමුක්ති පෙරමුණේ සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කොන්දේසි විරහිත සහයෝගය නොසළකා ජෙනරල් මුෂාරප්ට පළමුව සිය යුද හමුදා ඇදුම ගැලවීමට ද දෙවනුව හදිසි නීතිය ඉවත් කිරිමට ද සිදු වුණා. ඒ පකිස්ථානය පුරා මෙන්ම ලොව පුරා නැගි ආ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂන නිස යි. අප ජය පතන්නේ අන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදී පකිස්තානයට යි.

අප ජය පතන පකිස්තානය යනු හමුදා ඒකාධිපතියන් වන ජෙනරල් මුෂාරප්ගේ හෝ ජෙනරල් සියා උල් හක්ගේ පකිස්තානය නොවේ. පකිස්තානයේ පොදු මහා ජනයා විශේෂයෙන්ම පකිස්තානයේ ප්‍රජාතන්ත්‍ර බලවේගයන්හි අපේක්ෂාව වන පකිස්තානය යි.

රටක විදෙස් පිළිවෙත එරට දේශිය පිළිවෙතේ ම දිගුවක් බව කියැවේ. එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට නම් හරියටම හරි ය. රට තුළ නීතියේ පාලනය බිද දමා රටම මිලිටරිකරණය කොට හදිසි නීතියෙන් රට පාලනය කරන ලංකාණ්ඩුව යුදහමුදා පාලනයක් පිහිටුවීමට වෙර දැරූ මුෂාරප් හැර එරට ප්‍රජාතන්ත්‍රවාදි අරගලයට සහාය දෙන්නේ කෙසේ ද?

නමුත් ප්‍රශ්නය නම් ආණ්ඩුවටත් වඩා හොදින් මුෂාරප්ගේ හමුදා පාලනය රැක ගැනීමට මාක්ස්වාදී විප්ලවවාදි ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වීම යි. එය මාක්ස්වාදය සමඟ ගැලපෙන හැටි විමල් වීරවංශ සහෝදරයා පැහැදිලි කරන්නේ කවදාදැයි අපි බලා සිටිමු.

මුෂාරප්ගේ යකඩ සපත්තුවට බිය නොවී පකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිණිස පෙරමුණ ගත් එක් බලවේගයක් වූයේ එරට ජනමාධ්‍යවේදීන්ගේ ඒකාබද්ධ සංවිධානය යි. නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ඉදිරි පෙරමුණ සකස් වුයේත් නේපාල ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ බලවේග කෙරෙනි.

ජනමාධ්‍ය නිදහස අන් සියලු නිදහස්හි පදනම බව මේ සියලු අරගලයන්ගෙන් ද මතුව එන සත්‍යය යි.

රවුප්ට බදු- ජවිපෙට ආයුධ

ආණ්ඩුවෙන් ඉවත් වීමට පෙර රවුප් හකීම් ඇමැති ධුරයක් දරන අතරම පොදු ගිනුම්කාරක සභාවේ සභාපති වශයෙන් ද කටයුතු කළේ ය. රට කැළඹූ වැටි බදු වංචාව සම්බන්ධයන් සති කිහිපයකට පෙර ප්‍රකාශයක් කල ඇමැති හකීම් කියා සිටියේ අදායම් බදු කොමසාරිස්වරයා එම තනතුරෙහි ම තබා ගෙන එකී පරීක්ෂනය කළ නොහැකි බව යි.

කරුණු ගණනාවක් මත මුස්ලිම් ප්‍රජාවගෙන් පැමිණි තෙරපුම නිසා අයවැය අවස්ථාවෙහි දී රවුප් හකීම් මහතා විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ එකී අදායම් බදු කොමසාරිස්වරයා යටතේ ඇති ආදායම් බදු දෙපාර්ථමේන්තුව රවුප් හකීම්ගේ බිරිඳගේ සමාගමක බදු ලිපිගොනු පරීක්ෂා කිරීමට පැමිණයේ ය.දේශපාලන පෙළඹවීමක් නැතිව එවැනි හදිසි පියවරක් එම දෙපාර්ථමේන්තුව ගනු ඇතැයි සිතිය නොහැකි ය. දේශපාලන පෙළඹවීමක් වී නම් එය පැහැදිලි පළි ගැනිමක් සහ බිය ගැන්වීමක් බව නිසැක ය.

රවුප් හකීම්ගේ ආරක්ෂාව ඉවත්කිරිමත් එවැනිම පලි ගැනිමකි. නැත්නම් බිය වැද්දවීමකි. අනුර බන්ඩාරණායක විපක්ෂයේ අසුන් ගෙන පැයක්වත් යාමට පෙර ඔහුට සපයා තිබූ ආරක්ෂාව ද ඉවත් කරන ලද්දේ එම අරමුණින්ම ය.

මෙම දේශපාලනඥයින් දෙදෙනාම එල්ටීටීඊයේ ගොදුරු බවට පත් විමට ඉඩ ඇති අය යි. නමුත් රාජ්‍ය ආරක්ෂාව ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්නවා නම් විතර ය. යුද්ධය කෙරෙන්නේ එල්ටීටීඊයට විරුද්ධව විතරක් නොව විපාක්ෂික දේශලපාලනඥයින්ටත් එරෙහිව බවට මේ හොද උදාහරණයකි.

මීටත් වඩා තර්ජනාත්මක කතාව කියැවුණේ ජවිපෙට විරුද්ධව ය. එහි හඩ නන්දන ගුණතිලකගේ නමුත් ඔහුගේ කට මෙහෙයවෙන්නේ රාජපක්ෂවරුන්ට අවශ්‍ය පරිද බව ප්‍රසිද්ධ රහසකි.

ආණ්ඩුවට එරෙහි වීමට ජවිපෙට බල කරන්නේ ජවිපෙ විප්ලවාදි බහුතරය බවට චොදනා කරම්න් නන්දන ගුණතිලක ලිපි දෙකක්ම දිවයින පුවත්පතට ලීවේ අයවැය සම්මත කර ගැනීම සඳහා ජවිපෙ නම්මවා ගැනිමේ වක්‍ර තර්ජනයක් ලෙස ය. සමහර විට එම තර්ජනය ද වැඩ කරන්නට ඇත. මේසියලු බලපෑම් මැද අයවැය ජන්දයේ දි නිහඩව සිට ආණ්ඩුව රැක දුන් නමුත් ජවිපෙ කවර අවස්ථාවක හෝ ආණ්ඩුවට එරෙහිව අනෙක් විපක්ෂ කණ්ඩායම්ද සමඟ එක්ව ජන්දය පාවිච්චි කරනු ඇතැයි ආණ්ඩුව බිය වි සිටී.

නන්දන ගුණතිලක ලවා දෙවැනි ප්‍රහාරය දුන්නේ ඒ අනුව විය යුතු ය: එනම් ජවිපෙ තුළ සන්නද්ධ අරගලය කෙරෙහි විශ්වාසය තබා ඇති පිරිසක් සිටන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ය. එපමණක් නොව පාර්ලිමේන්තුවෙහි දි තමන්ට පහර දීමට උත්සාහ කළ මංත්‍රීවරයා එම කල්ලියට අයත් බව ද කියා සිටියේ ය. මෙමගින් ආණ්ඩුව උත්සාහ කරන්නේ ජවිපෙ තුළ රාජපක්ෂවාදී විමල් වීරවංශ පිළ ශක්තිමත් කිරිමටත් ස්වාධීන මඟක් ගත යුතු බව කියන අනුර කුමාර – ටිල්වින් පිළ දුර්වල කිරිමටත් ය. එමෙන්ම අවශය වුවහොත් දේශද්‍රෝහී රාජද්‍රෝහී චෝදනාව ජවිපෙට එල්ල කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම ය.

ආණ්ඩුවෙන් ඉවත් වූ රවුප් හකීම්ට බදු නිලධාරීන් ලවා හිරිහැර කරවීමත් අනුර බණ්ඩාරනායකගේ ආරක්ෂාව ඉවත් කිරිමත්, ජවිපෙට එරෙහිව සන්නද්ධ අරගලයේ චෝදනාව දමා ගැසීමත් එකම ක්‍රියාවලියක කොටස් ය. නමුත් ජවිපෙට කිසිදු දිනෙක නොහැකි මෙම අන්තර් සම්බන්ධය තේරුම් ගැනීමට යි. එයට මාර්ට්න් නිලමෝර් කී කාව්‍යමය වචන එනම් අනෙකා මර්ධනය කරන විට නැගි නොසිට තමා මැඩලන විට නැගි සිටිය නොහැකි බව කිසිදා අවබෝධ වූයේ නැත.