Colombo, Featured Articles, Features

කොයිබටද අප රැගෙන යන්නේ….? ?


ලෝක ඉතිහාසය පුරාම සෑම මනුෂ්‍ය කෙට්ඨාශයක්ම, සෑම රටක්ම යම් මොහොතකදී සංදිස්ථානයකට පැමිණ, එහිදී පරිණාමය සහ පරිහාණිය ලෙස තමන්ගේ අනාගතය තීරණය කරගනිති. ඉන් ගන්නා තීරණය එරටේ සමාජ, ආර්ථික, දේශපාළනික ලෙස සෘජුවම බලාපාන එම තීරණ ඒ මොහොතේ ජීවත්ව සිටින අයට පමණක් නොව, අනාගතයේ ඉපදෙන්නට සිටන දරුවාට පවා බලපාති. එවන් මොහොතක ගන්නා තීරණ ආපසු හැරවීමට ඇතුන් දහසක් බැඳ ඇද්ද ද කළ නොහැක.

ශ්‍රී ලංකාව ද එවන් සංදිස්ථානයකට, උච්ච මොහොතකට පැමිණ තිබේ. දමිළ සන්නද්ධ ව්‍යාපාරය සමුළ ඝාතනය කිරීමෙන් පසු රට තුළ ඇති වී තිබේන මහජාතිකවාදය සහ ඒ හරහා ප්‍රජාත්‍රන්තවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, විරුද්ධ මත දැරීමේ නිදහස, යන කරුණු ගණනාවක් බරපතල තර්ජනයක ලක්වීම යන කාරණා ඔස්සේ මෙවන් අරාජිකත්වය තත්ත්වයක් උදාවී ඇත. මේ මොහොතේ සබුද්ධික නොවුනහොත්, ඉන් පසු සැමදාම මන්දබුද්ධිකයන් ලෙස ජීවත් වීමට සිදුවනු නොඅනුමානයි.

රාජපක්‍ෂ ආණ්ඩුව විසින් තම එකපුද්ගල න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන නිසා ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී හුදකලා වන තත්ත්වයක් දක්නට තිබේ. එහි එක් ජවනිකාව මෝඩ තිරචනයකට අනුව පසුගියදා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරියේ රඟ දැක්වුණි.

ප්‍රධාන නළුවා වේදිකාව මත වැතිර සිටී සිටී. කටවුට් බැනර් අවට වනසයි. දියණිය පැමිණ කඳුළු සලමින් තම පියා බදා සිපගනී. ජාතියේ පියාගේ දරු දුක් ගින්න ඇවිලෙන්න පටන් ගනී. ජාතියේ පියා පැමිණ ප්‍රධාන නළුවාට වතුර වීදුරුවක් පොවමින් නාටකය නිමා කරයි.

ජාත්‍යන්තරයට එහෙිව ශ්‍රී ලංකීය දේශප්‍රේමී නිෂ්පානයක් ලෙසින් එළිදැක්වුනු මාරන්තික උපවාස ක්‍රියාදාම නාටකය සමහරුන්ට මහා වික්‍රමයක් ලෙස නිමාවුව ද දුපතෙන් එහා සිටින අයනම් කොස්බි ෂෝ එකකටත් වඩා බඩ අල්ලා සිනාසුනාහ. ලොවට විහිළුවක් වූයේ ප්‍රධාන නළුවා නොවේ. ශ්‍රී ලංකාව නම් වූ රටය. විමල් වීරවංශ ඇමතිවරයාගේ මාරාන්තික උපවාසය ශ්‍රී ලංකාවට මාරාන්තික අපහාසයක් කරමින් කෙළවර විය.

අද මානව හිමිකම් ගැන කථා කලොත් ඔවුන් දේශදෝහීන්ය. ප්‍රජාතන්තවාදය ගැන කථාකළහොත් ඔවුන්ද දේශදෝහීන්ය. සිංහලයෙක් දමිළ අයවෙනුවෙන් පෙනී සිටියහොත් ඔහු සිංහල කොටියෙක් ය. අද වන විට දිනෙන් දින ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස පරිහාණිය කරා යන අතර සෑම වසරකදීම ඇමෙරිකා ෆොරින් පොලිසි සංඟරාව, මානව හිමිකම් කඩවීම, අවතැන් වැසියන්ගේ තත්ත්වය, විෂම සංවර්ධනය හා ප්‍රභූ ඝණ බෙදීම යන අංශ සැලකිල්ලට ගනිමින් එළිදක්වන වාර්තාවට අනුව ලෝකයේ අසමත් රාජ්‍යයන් අතරින් 2009 වර්ෂයේ ශ්‍රී ලංකාව 22 ස්ථානයේ සිටි අතර මෙම වර්ෂයේදී 25 ස්ථානය දක්වා තවදුරටත් පහත වැටී තිබේ. එහි තවදුරටත් සඳහන් වන පරිදි 8.5 ලෙස 2009 පැවති මානව හිමිකම් කඩවීමේ අංකය 2010 වර්ෂයේදී 8.8 ලෙස ඉහළ ගියහ. ඊට අමතරව ආණ්ඩුව යටිගිරියෙන් කෑගසන ගම සහ නගරය අතර සංවර්ධන විෂමතාවය 2009 වසරේ 8.5 ක් වූව ද 2010 වර්ෂයේදී 8.7 ලෙස වැඩි වීම සංවර්ධනයේ අවිධිමත් බව පෙන්වයි.

මෙරටේ සිවිල් නීතිය එය සුරකින්නට බැදී සිටින ආයතන(?) එන්න එන්නම මහජනයාගෙන් දුරස්වන වන බවක් පැහැදිළිවම දක්නට තිබේ. විශේෂයෙන්ම ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස පොලීසිය දැඩිලෙස දේශපාලණීකරනය වී ඇත. ඒ නිසාම මහජනයා පොලීසිය කෙරෙහි වන විශ්වාසය ඉතාම පහත් තැනකට වැටී ඇත. එහට හොඳ උදාහරණ කීපයක්ම පසුගිය දිනවල දක්නට ලැබිණි. ළඟදි දිනකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධව හේතුව කුමක් වුවත් ගම්වැසියන් විසින් මට්ටක්කුළිය පොලීසිය වටලා එයට දැඩිලෙස පහර දී අලාභහානි කිරීම, කිරිබත්ගොඩ පොලීසියට විරුද්ධව ගම්වැසියන් උද්ගෝෂණය කිරීම යන සිදුවීම මේ මෑතකදීම වූ ඒවාය. මෙරට ආරක්‍ෂාව භාරව සිටින ප්‍රධානම පුද්ගලයා එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පොලිසියේ නිළධාරීන්ට වීරවංශ ඇමතිවරයාගේ උද්ඝෝෂණයට පැමිණි පුද්ගලයන් පාලනය කිරීමට යාම නිසා පැත්ත පළාත එක පොලිස් නිලධාරියෙකු නොසිටින ලෙස දුරකථනය ඔස්සේ බැණ වදින්නේ දේශපාලනීකරණය වීමේ නිරුවත පෙන්වමිනි.

මෙළෙෂ රටේ සියලුම අංශ දැඩි පසුබෑමකට ලක්ව ඇති බව පැහැදිලිව දැකගැනීමට පුළුවන. විශේෂයෙන්ම රටක, ජාතියක අනාගතය තීරණය කරන ප්‍රධාන අංශයක් වන්නේ අධ්‍යාපන ක්‍ෂෙත්‍රයයි. අප කථාවට කියන්නේ එක් පාසලක් ආරම්භ කිරීමෙන් හිරගෙවල් 10 ක් වසාදැමිය හැකි බවයි. අවාසනාවක මහත… අපොස සාමාන්‍ය පෙළ සමත් අඩුම ප්‍රතිශතය වාර්තාවන්නේ මෙම වර්ෂයේදීය. එය රාජපක්‍ෂ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ තරම පෙන්වයි. එහෙත් පසුගිය සමයේ අධ්‍යාපන උත්සව ආදියට ආණ්ඩුව විසින් කටවුට් සඳහා වියදම් කළ සල්ලි ටිකද දරුවන්ගේ දැනුම් වර්ධනයට යෙදෙව්වේනම්, මෙයට වඩා යහපත් ප්‍රතිපලයක් ගෙනෙන්ට හැකියාව තිබුණි.

සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ තත්ත්වය ද එසේමය. බදුල්ලෙන් පොළොන්නරුවට සෞඛ්‍ය ඇමතිකම මාරුවූවද රෝගීන්ට අත්වූ හොඳක්නම් නැත. ඩෙංගු රෝගයෙන් ඉතිහාසයේ වැඩිම පිරිසක් මියගියේ මෙම වසරේය. සුබ අනාගතයක් ගැන සිහින මැවූ, අපේ ඇත්තන්ගේ සිහින සැබෑ වන්නේ මෙලෙසිනි.

පශ්චාත් යුධ සමය ගෙවනා මෙරට කලා නිර්මාණ විඳීමේ නිදහස පාවා සියලුම දෙනා රාජපක්‍ෂ චින්තනයට අනුව සිදුකල යුතුව ඇත. පසුගිය දිනක ප්‍රසන්න විතානගේ නාට්‍ය නිර්මාණයක් වන දෙබිඩ්ඩෝ ලයනල් වෙන්ට් හී වේදිකා ගත වන මොහොතේ පොලිසය පැමිණ එය ආණ්ඩුවේ මතවාදයට විරුද්ධ නිර්මාණයක් ද යන්න විමර්ශණය කළහ. චින්තනයේ නිදහස පමණටත් වඩා දැනෙන්නේ එලෙසිනි.

මෙම වසරේ ජර්මානු සංස්කෘතික සතිය යාපනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබිණි. නමුත් යාපනය මිලිටරි ආඥාපතිවරයාගේ අණින් එය තහනම් කරන ලදී. උතුරු වසන්තයේ අරණලු යාපනය ජනජීවිතය දකින්නේ එලෙසිනි. එහි මිලිටරි පාලනාධිකාරයේ අනුමැතියෙන් තොරව කැමති සිංදුවක් ඇසීමට ද බැරි තත්ත්වයකි. දකුණේ අයට යාපනය චාරිකාව හොඳ ෆන් එකක් දුන්න ද යාපනයේ සැබෑ තත්ත්වය එසේ ය. අපි දෙමළාට දුන්නා දුවන්න යැයි සිතා සිටිනා සිංහල මහජාතිකත්වය මේවා පිළිගැනීමට කිසිසේත්ම සූදානම් නැත. ඔවුන්ට අනුව අද යාපනය ෆන් සපිරි සුරපුරයකි. කේ. පී ගේ සල්ලි වල රහදැනී ඔහුට නිදහස පූජාකරන්න කැමති වූව ද තවමත් අසරණව කඳවුරු වල වෙසෙන දමිළ ජනයාගේ නිදහස ගැන රාජපක්‍ෂලාට වගේ වගක් නැත. කිළිනොච්චියේ කැබිනට් රැස්වීම තිබූ සැණින් උතුරට වසන්තය, සැනසීම, නිදහස ලැබෙනයැයි සිතීම හොඳම විහිළුවකි.

තවම දකුණේ කට්ටිය ඉන්නේ අපි උතුරට වැටෙන්න ගැහුවා කියන ආතල් එක විඳිමිනි. නමුත් මේ රට යන්නේ කොහෙට ද? මෙහි අවසානය කුමක් ද? යන්න ප්‍රශ්ණ ගණනාවක් අප ඉදිරියේ පවතී. ආණ්ඩුව මේ සියල්ල නොදකින අඳ ගොළු බිහිරුන් මෙන් තම බලය වැඩිකර ගැනීමට සිතනවා මිස රට නිවැරදි මාර්ගයට ඇද ගැනීමේ උවමනාවක් පෙනෙන තෙක් මානයේවත් නැත. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, කලා කෘතියකට ඇති නිදහස ආදිය පමණක් නොව හුස්ම ගන්නා වාරගණනත් ඔවුන් විසින් තීරණය කරනා දවස වැඩි ඈතක නොවනු ඇත.
අප මේ රැගෙන යන්නේ කොයිබටද? යන කාරණාව ගැන වගේ වගක් නැතිව බලන්නකො කට්ටිය ඉන්න අපූරුව. හැබැයි පරිහාණික අනාගතය කට්ට කලුය.

ක්‍රිශාන් රාජපක්‍ෂ

Pic by Sampath Samarakoon