iMage:vox.com/gattyimage

මාස කිහිපයකට ඉහතදී නරේන්ද්‍ර මෝඩි ඉන්දීය ලෝක් සභා මැතිවරණය අති විශිෂ්ට ලෙස ජය ගත්තේය. නේරු පවුලේ බලකොටුව වූ උත්තර් ප්‍රදේශ්හි ඇමති අසුනද රාහුල් ගාන්ධිට අහිමි විය. ඉන්දියාව හින්දු රාෂ්ට්‍රයක් බවට පත් කිරීමේ මෝඩිගේ ආමන්ත්‍රණයට අති විශාල හින්දු ජන අනුමැතියක් හිමි විය. ලෝකයේ දෙවන විශාලතම මුස්ලිම් ජනගහණය සිටින රාජ්‍යය පැහැදිළිවම ජනවාර්ගික සහ ආගමික රේඛා ඔස්සේ බෙදී ගියේය. 1950 වසරේ සිට ක්‍රියාත්මක වූ නිදහස් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් අංගයක් වූ අනාගමිකවාදී ප්‍රතිපත්තිය නව රාජ්‍ය නායකයා විසින් එළිපිටම අභියෝගයට ලක් කෙරිණ. තම මැතිවරණ ජයග්‍රහණයෙන් මාස තුන හතරක් ගතවී යන්නටත් මත්තෙන් මෝඩි ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වන වගන්තිය ඉවත් කොට ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයට ලබා දී තිබූ ස්වායත්ත තත්ත්වය අහෝසි කොට දැමීය.

හින්දු රාජ්‍යයක් ගොඩ නැගීමේ ඊළඟ වැදගත් ව්‍යවස්ථාමය පියවර වූයේ 1955 පුරවැසි පණත සංශෝධනය කිරීමයි. සංශෝධිත නව නීතිය (CAB) යටතේ අසල්වැසි පාකිස්තානය, බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන රටවලින් ඉන්දියාව වෙත පළා එන හින්දු, සීක්, බෞද්ධ, ජෛන, පාසි සහ ක්‍රිස්තියානි ආගමිකයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබා ගත හැකි වනු ඇත. මුස්ලිම් ආගමිකයන් පළමුවරට නෛතිකවම බැහැර කෙරිණ. මීට සමගාමීව ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පුරවැසියන්ගේ ජාතික ලැයිස්තුව (NRC) යාවත්කාලීන කොට ප්‍රකාශයට පත් කෙරිණ. මෙම ලේඛණයේ නම සඳහන් නොවන මිලියන දෙකකට ආසන්න ඇසෑම් වැසියන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස සැලකෙනු ඇත. අතිශය දරිද්‍ර සහ දුෂ්කර ජීවිත ගත කරන බොහෝ ඇසෑම් වැසියන්ට තමන් 1971 දී බංගලාදේශය බිහි වන්නට පෙර ඉන්දියාවේ පුරවැසියන්ව සිටි බව සනාථ කළ හැකි ලේඛණ සොයාගත නොහැකිය. දැන් ඔවුන් වෙනුවෙන් රැඳවුම් කඳවුරු ඉදිවෙමින් පවතී. මෑතකදී ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා ඉඟි කළේ රට පුරාම වෙසෙන නීති විරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කරන්නට තමන් සූදානම් බවයි. අන්ත දක්ෂිණාංශික ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදයක් රාජ්‍ය බලය අත්පත් කර ගත් විට සිදු විය හැක්කේ කුමක්දැයි සමකාලීන ඉන්දියාව අපට උගන්වයි. මෝඩිගේ හින්දු රාජ්‍යය බිහි වෙමින් තිබෙන්නේ අසල්වැසි පාකිස්තානය සහ බංගලාදේශය අතර කලාපීය ආතතීන්ද උග්‍ර කරමිනි.

ඇසෑමයෙන් ඇරඹුණු මාරුතය

නමුත්, අනපේක්ෂිත බහුතරයකින් හින්දූත්වවාදී ව්‍යාපාරය ජයග්‍රහණය කර වූ ඉන්දියාවම අනපේක්ෂිත බලයකින් ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ අපේක්ෂා නැවත දල්වන්නටද සමත් විය. අරගලයේ ගිනි දළු ප්‍රථමයෙන් පැන නැගුණේ ඇසෑමයෙනි. සිසුන් සහ තරුණයන් පෙරමුණ ගත්හ. පසුගිය දෙසැම්බර් හතර වෙනිදා ඇසෑමයේ ඇරඹුණු විරෝධතාව ඉතාම වේගවත්ව දිල්ලි, මනිපූර්, ත්‍රිපුර වැනි ප්‍රදේශ ඔස්සේ ඉන්දියාවේ සෑම ප්‍රධාන නගරයකටම පැතිර ගියේය. දැනටමත් රාජ්‍ය මර්දනය විසින් මිනිස් ජීවිත විසි ගණනක් බිලි ගනු ලැබ තිබුණද උද්ඝෝෂණ රැල්ල අඩු වී නොමැත.

මෙම ඉන්දීය විරෝධතා ව්‍යාපාරයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ හින්දූත්ව ව්‍යාපාරය විසින් පරිකල්පනය කරනු ලබන ඉන්දීය ජාතියට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රජාතාන්ත්‍රික, බහු-ජනවාර්ගික සහ බහු-ආගමික ඉන්දීය ජාතියක් පිළිබඳ පොදු ජන පරිකල්පනයක් ගොඩ නගන්නට එය සමත්ව තිබීමයි. පසුගිය සතියේදී කල්කටාවේ පැවති විශාල මහජන උද්ඝෝෂණ පා ගමන ආරම්භ වූයේ නිදහස් ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ බී.ආර්. අම්බෙඩ්කාර්ගේ පිළිරුව අසලිනි.

උද්ඝෝෂකයන් ඉමහත් උද්‍යෝගයෙන් ඉහළට එසවූයේ ත්‍රිවර්ණ ඉන්දීය ධජයයි. විශ්ව විද්‍යාල සිසු සිසුවියෝ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති හඬ නගා කියවූහ. ගාන්ධි, නේරු, අම්බෙඩ්කාර් හෝ එම්.එන් රෝයි අපේක්ෂා කළ ඉන්දියාව මෝඩිගේ හින්දු රාෂ්ට්‍රය නොවන බැව් ඔවුහු යළි යළිත් අවධාරණය කළහ. බටහිර බෙංගාලය නියෝජනය කරමින් ලෝක් සභාවට තේරී පත්වූ තරුණ දේශපාලන නායිකාවක වන මහුවා මොඉත්‍රා තම පළමු පාර්ලිමේන්තු දේශනයේදී අතිශය තියුණු සහ එඩිතර ස්වරයෙන් අවධාරණය කළේ ඉන්දීය ප්‍රජාතාන්ත්‍රික උරුමයයි. ඇය ප්‍රජාතන්ත්‍රවාදය සහ අන් මත ඉවසීමේ සංස්කෘතිය පිළිබඳවත් ඉන්දීය ව්‍යවස්ථාවේ අනාගමිකවාදී හරය පිළිබඳවත් කතා කළේ ජෝන් ස්ටුවර්ට් මිල් හෝ මානව අයිතීන් පිළිබඳ විශ්ව ප්‍රකාශනය උපුටා දක්වමින් නොව ඉන්දීය හින්දු කවියෙකු උපුටා දක්වමිනි.

නිසැකවම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වීය මානව ජයග්‍රහණයකි. එසේම එය ඉන්දීය ජනයාගේ ජයග්‍රහණයක්ද වේ. ලොව විශාලතම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය වීම ඉන්දියානුවන්ට ආඩම්බරයට කරුණකි. සංශෝධිත පුරවැසි පණතට සහ පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ලැයිස්තුවට එරෙහි උද්ඝෝෂණය සුළුතර ජනවාර්ගික හෝ ආගමික ප්‍රජාවන්ගේ විරෝධයක් පමණක් නොවන්නේ එබැවිනි. අරගලය අතරතුර මුස්ලිම් සිසුන් ආගමික වතාවත්වල යෙදෙන විට හින්දු සහ සෙසු භක්තීන් අදහන (හෝ කිසිදු ආගමක් නොඅදහන) සෙසු සටන් සගයන් ඔවුන් වටා අත්වැල් බැඳගෙන ඔවුනට ආරක්ෂාව සපයන්නේ එබැවිනි. රට ගිනි අවුලවන්නේ කව්රුන්දැයි ඔවුනගේ ඇඳුම් දෙස බැලීමෙන් හඳුනාගත හැකි යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ විට සිසුන් එයට ප්‍රතිචාර දැක්වූයේ තම කමිස ගලවා දමා පෙළපාළි යාමෙනි. එක් තරුණියක් තමන් මුස්ලිම් ඇඳුමින් සැරසී සිටින ජායාරූපයක් සහ හින්දු ඇඳුමින් සැරසී සිටින ජායාරූපයක් තම මුහුණු පොතේ එක ළඟ පළ කොට ඊට පසෙකින් මෙසේ සඳහන් කොට තිබිණ; “මෝඩි මහත්මයා, ඔබට දැන් මාව හඳුනාගත හැකිද?” එය සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර ගිය පෝස්ටුවක් බවට පත් විය.

මෙම ප්‍රජාතාන්ත්‍රික අරගලයට සමගාමීව මෝඩි සහ ඔහුගේ චානක්‍ය ලෙස සැලකෙන අමිත් ෂා තවත් පරාජයකට ලක් විය. එනම්, හින්දු කුළ ධූරාවලියෙන් පිටස්තර ආදිවාසී ජනයා බහුතර වශයෙන් වෙසෙන ජාකන්ඩ් ප්‍රාන්තයේ පැවති මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය පරාජයට පත් වීමයි. අධිපති ජනවාර්ගික සහ ආගමික ස්වෝත්තමවාදය පරාජය කළ හැකිය යන විශ්වාසය ඉන්දියාව යළිත් වරක් තහවුරු කොට තිබේ.

නව මාවත්

සමකාලීන ඉන්දීය ප්‍රජාතාන්ත්‍රික අරගලය අපට උගන්වන පාඩම් කිහිපයක් තිබේ. ඒ අතර වැදගත් එකක් නම් ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදයේ අභියෝගය භාරගත හැක්කේ නව-ලිබරල් සංස්ථාපිතයට නොවන බවයි. ලොව පුරා දක්ෂිණාංශික සහ වාමාංශික ජනතාවාදී දේශපාලන රැල්ලක් නැගෙමින් පවතින්නේ නව-ලිබරල් සංස්ථාපිතයට එරෙහිවය. නව-ලිබරල්වාදය දැන් ජනතාවාදයේ රැල්ල හමුවේ පසුබෑමට ලක්ව තිබේ. එසේම, ලොව කිසිදු තැනක දක්ෂිණාංශික ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදය කොපි කරමින් ගොඩ නැගෙන තරඟකාරී ජාතිකවාදයකටද ඉඩක් නොමැත. වෙනත් වචනවලින් කිවහොත් එක්සත් ජනපදයේ ට්‍රම්ප්ට එරෙහිව වඩා හොඳ ට්‍රම්ප් කෙනෙකු ඉදිරිපත් කිරීමට ඉඩක් නොමැත; ඉන්දියාවේ මෝඩිට සහ ෂා ට එරෙහිව වඩා හොඳ හින්දූත්වවාදීයෙකුට ඉඩක් නොමැත. මන්ද යත්, මා මින් පෙරද සඳහන් කොට ඇති පරිදි, මේ යුගයේ දක්ෂිණාංශික ජාතිකවාදය මතුවන්නේ කිසිදු තරඟකාරී ජාතිකවාදයකට ඉඩක් නොතබමින් සහ සමස්තතාවාදී ස්වරූපයෙනි.

මේ දිනවල තමන්ට අහිමි වූ දකුණේ ජන්ද දිනා ගැනීම සඳහා වැඩි වැඩියෙන් සිංහල බෞද්ධ වීමට එජාපය දරන උත්සාහය සාර්ථක වීමට ඉඩක් නොමැත්තේ එහෙයිනි. එම උත්සාහයේ එක් ප්‍රතිපලයක් විය හැක්කේ සුළුතර ආගමික සහ ජනවාර්ගික කණ්ඩායම් ප්‍රධාන ධාරාවේ විපක්ෂයෙන් දුරස්ව තම සුවිශේෂී අනන්‍යතා දේශපාලනය වෙතට වැඩියෙන් නැඹුරු වීමය; එහි වඩා භයානක ප්‍රතිපලය විය හැක්කේ සිංහල බෞද්ධ ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදය තව දුරටත් තහවුරු වීමට එජාපයේ තරඟකාරී ජාතිකවාදය ඉවහල් වීමය; එවන් වර්ධනයක පල නෙලා ගනු ඇත්තේ රාජපක්ෂ ව්‍යාපෘතිය විසින්ය. බහුතර ජනවාර්ගික හෝ ආගමික අනන්‍යතාව වටා සංවිධානය වූ අධිපති ජාතිකවාදය පැරදවීමට සුළුතර අනන්‍යතා දේශපාලනයද සමත් නොවේ; එවන් දේශපාලනයක ප්‍රතිපලය වනු ඇත්තේ ජන සමාජය තව දුරටත් ජනවාර්ගික සහ ආගමික රේඛා ඔස්සේ බෙදී යාමයි. අනෙක් අතට එවන් සුළුතර ජනවාර්ගික දේශපාලනයක් පැවතීම බහුතර ස්වෝත්තමවාදීන් වඩා ප්‍රිය කරනු ඇත. ඉන්දීය අරගලය හුදෙක් මුස්ලිම් අරගලයක් වී නම් එය මර්දනය කිරීම බී.ජේ.පී පාලනයට වඩා පහසු වන්නට ඉඩ තිබිණ. බහුතරයේ හින්දූත්වවාදී ව්‍යාපාරයට එය වෙස් වළා ගත් ආශීර්වාදයක් වන්නට තිබිණ.

ප්‍රත්‍යවේක්ෂණ

මගේ අදහස නම් සංශෝධිත පුරවැසි පණතට එරෙහි ඉන්දීය සිසු ජන ව්‍යාපාරයේ ප්‍රධාන ජයග්‍රහණය වන්නේ එය හුදෙක් සුළුතර ජනවාර්ගික හෝ ආගමික ප්‍රජාවක අරගලයක් බවට පත් වන්නට ඉඩ නොදී ඉන්දීය ව්‍යවස්ථාවේ අනාගමිකවාදී සහ ප්‍රජාතාන්ත්‍රික හරයන් වටා අරගලය සංවිධානය කිරීමට සමත් වීමයි; එනයින් ඉන්දීය ජාතිය පිළිබඳ බහුත්වවාදී දැක්මක් ජන සමාජය තුළ ස්ථාපිත කිරීමට දායක වීමයි. බොහෝ ප්‍රගතිශීලී බුද්ධිමතුන් අරගලයේ යෙදෙන සිසුන් සැබෑ ඉන්දීය පුරවැසියන් ලෙස හඳුන්වන්නේ එහෙයිනි. ඔවුන් අශීෂ් නන්දි අනුයමින් හින්දූත්වවාදය හින්දුවාදයෙන් වෙන් කොට දක්වයි. ඉතිහාසඥ ඉර්ෆාන් හබීබ් අරගලයේ යෙදෙන සිසු සිසුවියන් අනාගත ඉන්දියාවේ බලාපොරොත්තුව ලෙස හඳුන්වයි.

ඉන්දීය සිසු ජන ව්‍යාපාරය දේශපාලන දක්ෂිණාංශය නොහොත් අධිපති ජාතිකවාදයට එරෙහිව ආර්ථික දක්ෂිණාංශය නොහොත් නව-ලිබරල් සංස්ථාපිතය වැළඳ නොගනී; හින්දූත්වවාදය සමග තරඟ කරන විකල්ප හින්දූත්වවාදයක් යෝජනා නොකරයි; ජනවාර්ගික සහ ආගමික බහුතරවාදයට එරෙහිව සුළුතරවාදයක් යෝජනා නොකරයි. ඒ සියලු මාවත්වලට වෙනස්ව යමින් එය නූතන ඉන්දීය ජාතිය පදනම් විය යුතු අනාගමිකවාදී ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම සහ වටිනාකම් අවධාරණය කරයි. ජනවාර්ගික, ආගමික හෝ කුලමය අනන්‍යතා අනුව බෙදී ගිය ඉන්දියාවක් වෙනුවට නවීකාරක එක්සත් ඉන්දීය ජාතියක් පිළිබඳ පරිකල්පනය පෙරට ගෙන එයි. මෙම නව ආමන්ත්‍රණය වඩා පුළුල් ජනතාවාදී බලවේගයක් බවට පරිවර්තනය කරන්නට ප්‍රයත්න දරයි. පසුගිය වසර කිහිපයේදී ලොව පුරා වේගයෙන් හමා යන්නට පටන් ගත් අන්ත දක්ෂිණාංශික ජනතාවාදයේ රැල්ල දැන් බරපතල ලෙස අභියෝගයට ලක්ව ඇත්තේ දකුණු ආසියාතික කලාපය තුළය.

ලාංකීය ප්‍රජාතාන්ත්‍රික බලවේගයන්ට ඉන්දීය ආදර්ශය තුළින් ඉගෙනගත හැකි බොහෝ පාඩම් ඇති බවට සැකයක් නොමැත. නමුත්, ඒවා සන්ධර්භීයව ගලපා ගැනීමක් මිස සරලව උපුටා ගැනීමක් ගැන සිතිය නොහැකිය. මන්ද යත්, ඉන්දියාව තුළ අනාගමික සහ බහුත්වවාදී ජාතියක් පරිකල්පනය කිරීම විය හැකියාවක් වන්නේ ඉන්දීය නිදහස් අරගලයේ පටන් පැවත එන සුවිශේෂී ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සම්ප්‍රදායක් කරණ කොටගෙනය. අපගේ දේශපාලන ඉතිහාසය ඊට වෙනස්ය. ලාංකීය සුවිශේෂතා තුළට සමකාලීන ඉන්දීය ප්‍රජාතාන්ත්‍රික අරගලයේ අත්දැකීම් ගලපා ගත හැකිද එසේනම් ඒ කෙසේද යන ප්‍රශ්න ඉදිරි ලිපියකදී සාකච්ජා කරන්නට බලාපොරොත්තු වෙමි.

සුමිත් චාමින්ද | Sumith Chaaminda