iMAGE: via Colombo Telegraph 

2014 වසරේ දෙසැම්බර් මස 21 වන දින උදෑසන  හම්බන්තොට නගරයේ වියරුවට එරෙහිව “වීදියේ විරෝධය” නමින් විදී නාට්‍ය සංදර්ශන, අත් පත‍්‍රිකා බෙදා දීම් හා ගායන ප්‍රසංග ඇතුළත් සංස්කෘතික අංග සහිත ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට පැමිණි සිටි ගායක ජයතිලක බණ්ඩාර ඇතුලු නිරායුධ සිවිල් ක්‍රියාකාරින්ට, කලාකරුවන්ට සහ සංස්කෘතික කණ්ඩායමට “මේක අපේ රජතුමා හදා ගත්ත නගරය, මේකේ පිට එවුන්ට මොනවත් කරන්න දෙන්න බෑ, තොපි මරනවා” යනුවෙන් තර්ජනය කරමින් හම්බන්තොට නගරාධිපතිව සිටි එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ සහචරයන් පිරිසක් විසින් පිස්තෝල පෙන්වා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය ඊයේ එනම් 2020 ජනවාරි මස 8 වන දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී  නැවත වරක්  කැදවිණි.

සිද්ධිය සිදුවන අවස්ථාවේදී පහර කෑමට ලක් වු එහි පළමු  පැමිණිලිකරු වන විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් සමඟ සිව්ල් ක්‍රියාධරයෙකු වන ප්‍රසංග පෙරේරා ඊයේ දින පැවති නඩු විභාගය සදහා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත කොළඹ සිට පැමිණි අතර; පැමිණිලි පාර්ශවය වෙනුවෙන්  නීතිඥ සේනක පෙරේරා අධිකරණයේ පෙනී සිටියේය.

කෙසේවෙතත් නඩුව කැඳවන ලද අවස්ථාවෙහි දී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙහි සියලුම නීතිඥයින් සැකකාර එරාජ්  ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින බව කියා නැගී සිට ඇති අතර; පැමිණිල්ල වෙනුවෙන් පෙනිසිට් නීතිඥ සේනක පෙරේරා මහතා විසින් ” වීදියේ විරෝධය” කණ්ඩායමට  ගිනි අවිද අතැතිව ප්‍රහාර එල්ල කොට තිබියදී පවා  හම්බන්තොට පොලිසිය විසින් මෙම නඩුව  සුළු අපරාධයක් ලෙස පැවරීම සම්බන්ධයෙන් තම කරුණු පැහැදිලි කිරීමේදී, විත්තියේ නීතිඥවරයෙකු ව්සින් , ව්වෘත අධිකරණය ඉදිරියේ විනිසුරු නිහඬව බලා සිටියදීම

“මේක හම්බන්තොට උසාවිය ”  යනුවෙන්  පැමිණිල්ල  වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතාට තර්ජනාත්මක ස්වරූපයෙන් පවසා තිබේ.

ලංකාවේ අධිකරණ ධුරාවලිය තුළ  ” හම්බන්තොට උසාවිය “  හෝ ” හම්බන්තොට මහේස්ත්‍රාත්  උසාවිය” අනෙක් ඒවාට වඩා  විශේෂ  වන්නේ ඇයි  දැයි පුරවැසියෙන් ලෙස අප දන්නේ නැත.  එසේ වනවා නම් ඒ  දැයි දැන ගැනීමට අපි කැමැත්තෙමු. කෙසේවෙතත්,  නඩුව නැවත 2020 ජුලි මස 7 වන දින නැවත කැඳවීමට නියමිතය.

සිද්ධියේ සැකකරු වන එරාජ් ප්‍රනාන්දුට 2014 වසරේදී මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකද  ගිනි අවියක් පෙන්වා පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන්  වසර ක සිර දඬුවමක්  හම්බන්තොට  මහාධිකරණ විසින් පසුගිය  2019 අගෝස්තු 02 දින නියම කරන ලද අතර, අභියාචනයක් ඉදිරිපත් කොට දැනට ඔහු ඇප මත නිදහස් ව සිටියි.

දැන් අපි අසමු. විවෘත අධිකරණ තුළම තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට  පවා  තඟ දමන විට, 2014 වසරේ සිට වසර 6 කට ආසන්න කාලයක් පුරා මේ කාරණය වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමට වෙහෙසෙන සිවිල් පුරවැසියන්ට ඒ සම්බන්ධයෙන් දෙන පණිවිඩය කුමක්ද ? එසේම, එලෙස තග දමන්නේ කාගේ හයිය නිසාද ?

විනිසුරු ඉදිරිපිටම පැමිණිලි පාර්ශ්වය ප්‍රසිද්ධියේ වින්දිතභාවයට පත් කරන තෙක් උසාවිය නිහඬද ?

ඒ නිසාම අධිකරණ ස්වාධීනත්වය කෙරේ විශ්වාසය තබමින්, සාධාරණත්වය බලාපොරොත්තු වෙමින්  ඒ හරහා යුක්තිය ඉටුකරගැනීමට උසාවියට එන පුරවැසියන්ට එල්ල කළ මේ  අතුල් පහර මේ මොහොතේම නැවතීමට අප බල කළ යුතුමය.

අහන්න : “විදියේ විරෝධය” කණ්ඩායමට තර්ජනය කොට පහර දීමේ සිද්ධිය සම්බන්ධව 2014 .12 .22 වන දින (සිද්ධියට පසු දින) විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන්  විසින් Groundviews වෙබ් අඩවිය වෙත ලබා දුන් සම්මුඛ සාකච්ජාව මෙතනින්