iMAGE: Vikalpa

අතුරුදහන් වුවන් ගේ පවුල් විසින් උතුරු හා නැගෙනහිර පවත්වා ගෙන යන අඛණ්ඩ උපවාසයන්ට දැන් දින 1000කට වඩා ගෙවී ගොස් තිබේ.මේ මුළු කාලය පුරාම තම සම්පතමයන්ට සිදු වුයේ කුමක්දැයි ඔවුන් අසන පැනයට පිළිතුරක් ලැබී නැත. ඒ සම්බන්ධ විවිධ පොරොන්දු විටින් විට ලැබුණද ඒවා පොරොන්දුම පමණක් වී තිබේ.

දිගින් දිගටම මේ පවුල් විසින් මුහුණ දෙමින් සිටින තාඩන, පීඩන, දරිද්‍රතාව සේම ශාරිරිකව හා මානසිකව මුහුණ දීමට සිදුවන බිඳ වැටීම් සියල්ලක්ම දරා ගනිමින් මේ දීර්ඝ කාලය පුරාම තම අපේක්ෂාවන් අත්නොහැර සිටින ඔවුන්ගේ ධෛර්යයම පුදුම සහගතය.තමන්ගේ අරගලයට හිමි ගෞරවයවත් නොලබමින් දිගින් දිගටම මේ මව්වරුන්, පියවරුන්, සහෝදර සහෝදරියන් අසන පැනය කනකට නොගන්නා පාලකයින් අද මේ පවුල් වල වැඩිහිටියන් ජිවිතයෙන් සමුගෙන යන මොහොත දක්වාම අත්විදින බරපතල ඛේදවාචකයටද වගකිව යුතුය.

දිගින් දිගටම තමන්ගේ ඉල්ලීම් නොසලකා හරින බවත්, පිළිතුරු නොලබමා අරගලයේ යෙදෙන මේ දෙමාපියන්ට ජිවිතයෙන් සමුගන්නට සිදුවීම ඛේදවාචකයත් බවත් පවසන මුලතිව් හි අතුරුදහන් වුවන්ගේ සම්පතමින් මේ සඳහා ජාත්‍යන්තර සහයෝගය හා මැදිහත්වීම බලාපොරොත්තුවෙන් සිටියි. කිලිනොච්චිය, වව්නියාව, ත්‍රිකුණාමලය, මරදන්කනි සහ මුලතිව් කේන්ද්‍ර කරගනිමින් මේ උපවාසයන් අරම්භ කළේ 2017 සිටය. එලෙස අඛණ්ඩව පවත්වාගෙන ආ මුලතිව් හි උපවාසයට මේ වන විට දින 1196 ක් ගත වී තිබේ ( 2020.06.15).

Image: Tamil Gurdian

“අපේ ආදරණියන් මේ අයුක්තියේ වින්දිතයන් බවට පත් වුණා,ඔවුන්ට පිළිතුරක් දෙන්න ඕනි, ඒ පිළිතුරු තමයි සත්‍ය දැනගන්න අපි මේ කරන ක්‍රියාවලිය සාක්ෂාත් කරගන්න උදව් වෙන්නේ” ඒ ඔවුන්ය.

දශකකයත් වඩා වැඩි කාලයක් ඔවුන් මේ අපේක්ෂාවෙන් මරණය තෙක්ම තමන්ගේ ජීවිතය ගත කොට තිබේ. එලෙස මිය ගිය අම්මාවරුන්ගේ, පියවරුන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, සැමියන්ගේ, බිරින්දෑ වරුන්ගේ ජිවිත කතා මේ භූමිය පුරා වැළලී තිබේ. ඒවායේ ඇත්තේ කටුක ජිවිත යාතාර්ථයන් ය.

නාගමනි කනගසබායි

මුලතිව් හි නාගමනි කනගසබායි වසර 11 කට පෙර මුල්ලිවයික්කාල් හිදී බලහත්කාරයෙන් අතුරුදහන් කරවූ තම දියණිය කනගසබායි නිත්‍යා වෙනුවෙන් සත්‍ය හා යුක්තිය බලාපොරොත්තුවෙන් සිටියදී කිසිදු පිළිතුරක් නොලබාම තම ජිව්තයෙන් සමුගන්නේ පසුගිය ජුනි මස 5 වන දාය.

via Tamil Gurdian

සින්නාච්චමි නල්ලතම්බි

2008 වසරේදී වව්නියා අධිකරණ භුමිය තුළදී පැහැර ගැනීමකට ලක් වූ තම පුතු වෙනුවෙන් වසර ගණනාවක් සත්‍ය සොයමින් සිටියදී පසුගියදා වවිනියාවේදී සින්නාච්චමි නල්ලතම්බි නම් තවත් පියෙකු ජිවිතයෙන් සමුගෙන තිබේ.   සින්නාච්චමි නල්ලතම්බි වසර ගණනාවක් පුරා වවුනියාවේ දී තම දරුවා ඇතුලු දරුවන් බොහෝ දෙනෙකුගේ යුක්තිය වෙනුවෙන් හඬ අවදි කළ කෙනෙකි. අවසන් වරට පසුගිය ජුනි 01 වන දා ඔහු වවිනියා අතුරුදහන් වුවන්ගේ උපවාසයට දින 1200ක් පිරුණු දවසේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයට ද සභභාගි වී තිබේ. තම ජිවිතයේ අවසන් දවස්  පවා ගෙවෙනුයේ තම පුතු වෙනුවෙන් වූ අවසන් බලාපොරොත්තුවට හෝ සාධාරණයක් නොමැති බව ඔහු එදා මොහොතකට වත් නොසිතන්නට ඇත.

via Tamil Gurdian

” හමුදාවට යටත් වූ සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද දරුවන්ගේ ජිවිත වලට මොකද උනේ කියලා උත්තර හොයා ගන්න අපිට ජාත්‍යන්තර ප්‍රජාවත් උදව් කරන්න ඕනි ”

මුලතිව් හි අතුරුදහන් වූවන්ගේ පවුල් වල සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරන මාරියාසුරේෂ් ඊශ්වරී පසුගියදා ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය වෙත පවසා තිබුණේ වසර ගණනාවක්ම මේ උපවාසයේ නිරත බොහෝ මව්වරුන්ගේ ඉල්ලිමක් නැවත සිහි ගන්වමිනි.

Image Via Tamil Gurdian

අපි ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි මේ උපවාස කරන්නේ. අපි සරලවම කියන්නේ අපි ඔබට භාර දුන්න අපේ දරුවෝ කෝ කියලා. අපි දිගින් දිගටම ඇහුවත් උත්තර දෙන පාටක් නම් දැන් පෙන්න නෑ”

අපට නම් ජන සංහාර දිනයක් වන යුධ ජයග්‍රහණ සමරුව දවසේ ජනාධිපතිවරයා ගේ කතාවේදී රජයට එරෙහි සාක්ෂි හෝ සම්බාධක පනවන ඕනෑම කෙනෙකුට වක්‍ර තර්ජනයක් කළා. ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානද ඒ කියපු කණ්ඩායමට අයිතියි. අතුරුදහන් වූවන්ට මොකද උනේ කියලා කියන්න තාම රජය සමත් වෙලා නෑ. දැන් බලයට පත්වෙලා ඉන්නෙත් යුද්ධය පැවති කාලයේදී පාලනය ගෙන ගිය අයමයි. ඒ නිසා ඔවුන්ට වගකීමක් තියෙනවා අපේ ආදරණීයනට මොකද වුනේ කියලා කියන්න. ඒත් ඒ වෙනුවට, අපිට දැන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලන්න වෙලා තියෙනවා මේකට විසදුම් දෙන්න මැදිහත් වෙන්න කියලා”

අපි තාම විශ්වාස කරනවා ඔවුන් ළඟ තවමත් අපේ සමිපතමයන් ඉන්නවා කියලා, එයාලව අපිට භාර දෙන්නත් මේ අයට බලය තියෙනවා කියලා. එත් ඒක එයාලා ප්‍රතික්පේෂ කරනවා, ඒ නිසා අපි මේ උද්ඝෝෂණයන පවත්වා ගෙන යන අතරේ ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් හොඳ යෝජනාවලියක් ඉදිරිපත් කරලා අපිට පිළිතුරු හොයා ගන්න අපිට උදව් වෙයි කියලා හිතනවා  ඇය එහිදී කියා තිබුණි.

ඇත්තටම මේ වචන වල ඇත්තේ වසර ගණනාවක් අන්තිම හුස්ම පොඳ වාතලයට මුදා හරින තෙක්ම මතුරන මන්තරයක් හා සමාන බලාපොරොත්තුවේ බරය. එහෙත් පිළිතුරක් නොලබාම ඔවුන් හදවතින් මෙන්ම තම ජිවිතයෙන් සමුගනිමින් සිටින්නේ ඛේදනීය ලෙසය.

මේ අගෝස්තු 30 වන දිනට යෙදෙන බලහත්කාරයෙන් අතුරුදහන් කරවිමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කෙරෙන අන්තර්ජාතික දිනය වෙනුවෙන් 2018 වසරේදී  විකල්ප තැබූ  රූපමය සටහන

සංස්කාරක සටහන : 2020 .06. 10 වන ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ පළවූ “Too many relatives are dying without Answers”- Mullaitivu Families of Disappeared call for International Support නැමැති ලිපිය ඇසුරෙන් මෙම ලිපිය විකල්ප විසින් සම්පාදනය කොට තිබේ