Colombo, Featured Articles, Features

මිලිටරිකරණය වන උතුර


A9 අද්දර – Pic by Sampath Samarakoon
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

මේ ගෙවී යන්නේ යුද්ධවසානයෙන් 15වන මාසය යි. මෙම කාල පරිච්ජේදය තුළ උතුරේ ජනතාවගේ ජීවිතවල යම් යම් සාධනීය වෙනස්කම් ඇතිව තිබේ. යුද බියෙන් තොරව ජීවත්වීමට ලැබී ඇති නිදහස සාධනීය ප්‍රතිඵළ අතර මූලික ය. එමෙන්ම තවත් පලදායී වර්ධනයක් නම් ගමනාගමනයට ඇති නිදහස යි. ව්‍යාපාරික කටයුතු ද කැපී පෙනෙන වර්ධනයක් අත් කරගෙන තිබේ. අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු ද යම් වර්ධනයක් ලබා තිබේ.

එසේ නමුත් යුද්ධවසානයෙන් පසු ඇතිව තිබෙන මෙම වෙනස්කම් යටපත් කැරෙන තරමේ නිශේධාත්මක වර්ධනයන් දැන් දැන් වාර්තා වෙන්නට පටන් ගෙන තිබේ. ඉන් එක් ප්‍රධාන කරුණක් වන්නේ උතුර වඩ වඩා මිලිටරිකරණයට ලක් කිරීම යි. මේ සම්බන්ධ උදාහරණ ගණනාවක් ම මෑත දී ප්‍රසිද්ධියට පත් විය.

පසුගිය ජූනි 14 දින ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රීවරු ඇතුළු නියෝජිත පිරිසක් යාපනයේ සහ වන්නියේ සංචාරයක යෙදුණි. වන්නියෙහි ඔවුන්ගේ සංචාරය නතර කිරීමට යුද හමුදා පිරිස් උත්සාහ කළ බවට ජවිපෙ ප්‍රසිද්ධියේ චෝදනා කළේ ය. වන්නි ජනයා සමඟ විවෘත සාකච්ජා වට කිහිපයක් පැවැත් වූ ජවිපෙ කියා සිටියේ සෑම පවුලකම එක් අයෙක් හෝ යුද්ධයෙන් මරණයට පත්ව හෝ අතුරුදහන්ව ඇති බව යි. අනතුරුව වාර්තා වූයේ මෙලෙස ජවිපෙ සමඟ සාකච්ජා කළ ජනයාගෙන් යුදහමුදා බුද්ධි අංශ ප්‍රශ්ණ කර තිබූ බව යි. ඉන් පෙනී ගියේ මෙම ජනයා කොතරම් දුරට යුදපාලනයක් යටතේ තබා ගැනීමට උත්සාහ ගැනෙන්නේ ද යන්න යි.

මෙම මස 02දා කොළඹ දී පුවත්පත් සාකච්ජාවක් පැවැත් වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රීවරුන් කියා සිටියේ උතුරෙහි සේවය කරන එක් ලක්ෂයක් පමණ වන හමුදා සොල්දාදුවන්ගේ පවුල් එම ප්‍රදේශයන්හිම පදිංචි කිරීමටත් එම සොල්දාදුවන්ට කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් ලබා දීමටත් රජය කටයුතු කරගෙන යන බව යි. මෙම පුවත රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැුබුවේ නැත. තමන් ජූලි 17 දා මේ බව විමසමින් ජනාධිපතිවරයාට යැවූ ලිපියට පිළිතුරක් නොලද බවද දෙමළ සන්ධානයේ මංත්‍රීවරු කියා සිටියහ.

එමෙන්ම ඔවුන් කියා සිටියේ 5000ක් තරම් වන්නියේ ජන පිරිසකට තමන් ජීවත්ව සිටි පාරමිපරික ඉඩම්වලට යෑම තහනම් කර ඇති බවත් එම ඉඩම් යුද හමුදා කඳවුරක් ඉදි කිරීම පිණිස යොදා ගනු ඇති බව ඔවුන්ට දැනුම් දී ඇති බවත් ය.

මේ අතර ‛දෙමළ ප්‍රදේශයන්හි සිංහල හමුදා ජනපද ඇති කිරීම විසින් අසතුට ඉහළ යනු ඇත’ යන් හිසින් ලිපියක් ප්‍රසිද්ධ කළ තිසරණි ගුණසේකර මෙසේ කියා සිටියේ ය.
“කිලිනොච්චියේ අක්කර 4000 ක් රජය විසින් උදුරා ගැනීම නිසා මුරුකන්ඩියේ දෙමළ ජනයාට සිය ගෙවල් දොරවල් අහිමි විය.

“හමුදාපතිවරයාට අනුව ‛මෙම ප්‍රදේශයන්හි යුද හුමදා නිලධාරීන් සහ සෙබළුන් සඳහා විවාහක නිවාස සදා අවසන් වූ පසු ඔව්න්ට සිය පවුල් සමඟම එම ප්‍රදේශයන්හි ජීවත්වීමට හැකි වනවා ඇත’ ( දි අයිලන්ඩ් 24.07.10) මෙමගින් අදහස් වන්නේ සාමන්‍යයෙන් කැරෙන පරිදි සොල්දාදුවන් උතුරෙහි කෙටි කාලයකට සේවය කරනවා වෙනුවට ඔවුන් සිය පවුල් සමඟ එහි පදිංචි වී අලුත් වටයක රාජ්‍ය අනුග්‍රහය ලබන ජනපදකරණයක් ආරම්භ වනු ඇති බව යි.

“ඉන් පසු දෙමළ උතුර සිංහල යුද ජනපද විසින් සළකුණු වු පසු ඊට අවශ්‍ය අනෙක් පහසුකම් එනම් සිංහල පාසැල්, සිංහල කඩ සාප්පු, සිංහල ස්ථාන නාම, සාම බෞද්ධ විහාර යනාදිය ද ගොඩ නැගෙනවා ඇත. මේ වනාහී රාජ්‍ය අනුග්‍රහන ලද යුදෙව් ජනාවාස හරහා පලස්තීන භූමිය ඇඳා ගැනීම පිණිස ඊශ්රායලය අනුගමනය කළ පිළිවෙතම ය.”

පසුගිය ජූලි 03දින පුවත් පත් නිවේදනයක් නිකුත් කළ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ සභාපති එස්. ආනනද සංගරී මෙසේ කීවේ ය: “වන්නියේ නව හමුදා කඳවුරු ගොඩ නැගීම නවත් වන්න. උතුරු – නැගෙනහිර අලුතෙන් ආරම්භ කරන ලද ඒවා ඉවත් කර ගන්න. ජනයා දැනටමත් මේ පිළිබඳව කසු කුසු ගාන්නට පටන් ගෙන තිබේ. එම අදහස් ප්‍රසිද්ධියේ කීමට ඔව්න්ට දිරියක් නැත. තමන් එකඟ නොවන කරුණූ සම්බන්දයෙන් අහිංසක විරෝධයක් හෝ දැක්වීමට අවස්ථාව නැති වීම ගැන ඔව්හු කණස්සල්ලට පත්ව සිටිති.

‛‛නව හමුදා කඳවුරු ගොඩ නැගීම නතර කිරීමට රජය අපොහොසත් වුවහොත් අප්‍රමාණ වූ දුක්කරදරවලට මුහුණ දුන් ජනතාවට සාමය ලඟ කර දීමට රජය අපොහොසත් වනවා ඇත. මා මේ කියන්නේ මහජනයාගේ අදහස් ය”

යාපනයේ එල්ටීටීඊ සෙහොන් සමතලා කර ඒ මත යුදහමුදා කඳවුරු ගොඩ නගන බවට ද දෙමළ ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. නව සෝදිසි මුරපොළවල් ඉදිකර ඇති බවත් ත්‍රිකුණාමළයේ දෙමළ ධිවරයින්ට පමණක් මුහුදු යෑමේ දී අවසර පත් ලබා ගැනීමට සිදුව ඇති බවත් තවත් වාර්තාවක සඳහන් වේ.

මෑත සිට දෙමළ ජනමාධ්‍ය විසින් මෙවැනි පුවත් සහ උතුර මිලිටරිකරණය කීරීම නිසා පැන නැගී ඇති ප්‍රශ්ණ දිගින් දිගටම වාර්තා කිරීම ද දැකිය හැකි ය. දරුණූ වාර්ගික ධ්‍රුවීකරණයකට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරවේ සිංහල ජනමාධ්‍ය මෙම තොරතුරු කිසිවක් වාර්තා කරන්නේ නැත.

ජාතික සාම මණ්ඩලය විසින් පහසුකම් සළසන ලදුව උතුරෙහි ජනමාධ්‍යවේදීන් 30 දෙනෙකු පසුගිය දා දකුණේ සංචාරයක නිරත වූහ. ඔවුන්ට දකුණේ සිංහල මාධ්‍ය කොපමණ අවස්ථාවක් දී තිබුණේ ද කියා දැන ගන්නට නැතත් උතුරේ දෙමළ ජනයා මුහුණ දී සිටිය ප්‍රශ්ණ වාර්තා කරන ලෙස දකුණේ ජනමාධ්‍ය කෙරෙන් ඔවුන් ඉල්ලා සිට තිබුණි. ජාතික සාම මණ්ඩලයේ පුවත්පත් ප්‍රකාශයකින් කියැවුණේ කිළිනොච්චියේ පැවැත්වෙන අමාත්‍ය රැස්වීම් සහ ජනාධිපති සංචාර යනාදිය පමණක් නොව මහා ජනයාගේ ප්‍රශ්ණ ද වාර්තා කරන ලෙස එම ජනමාධ්‍ය කණ්ඩායම ඉල්ලා සිටි බව යි.

යුද්ධාවසානයෙන් පසු සිය වාසභුමි මත ඇති මිලිටරිකරණය අවම වනු ඇතැයි වූ අපේක්ෂාව ඉටු වනු වෙනුවට යළි මිලිටරිකරණය වෙමින් තිබීම සිය කණස්සල්ලට හේතු වී ඇති බව මෙම ජනමාධ්‍ය පිරිස ද පෙන්වා දුන්හ. ජාතික සාම මණ්ඩලය ද කියා සිටින්නේ උතුරෙහි යුද බලය තව දුරටත් ඉහළ නැවෙනු ඇති බවටත් සෙබළු පවුල්වලට උතුරෙන් නිවාස සහ ඉඩම් ලබා දෙනු ඇති බවටත් ආණ්ඩුව ප්‍රකාශ කර ඇති බව යි.

මේ අතර දෙමළ ජනයාගේ ප්‍රධාන දේශපාලන ප්‍රශ්ණය වන තමන් විසින් තමන් පාලනය කර ගැනීමේ අවශ්‍යතාවයට පිළිතුරක් ලෙස කවර හෝ අන්දමක සැබෑ බලය බෙදා හැරීමකට යුද්ධාවසානයෙන් මාස 15කට පසුත් පසු ලංකාණ්ඩුව කිසිදු පියවරක් තවම තබා නැත. එවැනි සූදානමක් හෝ පෙනෙන්නේ ද නැත. එම පසුබිමෙහි මෙම උත්සන්න වන මිලිටරිකරණය තැබූ විට පෙනී යන්නේ දෙමළ ජනයා මත යුද්ධමය පාලනයක් ගෙන යෑම ආණ්ඩුවේ අපේක්ෂාව බව යි.

යුද්ධාවසානයෙන් පසු අපේක්ෂිත සාමය ගොඩ නැගීම ශ්‍රී ලංකාවේ සිදුව නැති බවට ලොව මහත් පිළිගැනීමක් ඇති “වයෝවෘද්ධයන්ගේ කණ්ඩායම” (නෙල්සන් මැන්ඩෙලා, අග්‍රරාජගුරු ඩෙස්මන් ටූටු, හිටපු එ.ජා. මහලේකම් කොෆි අන්නන්, හිටපු ඇමෙරිකානු ජනාධිපති ජිමී කාටර්, හිටපු අයර්ලන්ත ජනාධිපතිනි මේරි රොබින්සන්, හිටපු පින්ලන්ත අගමැති අතිසාරී යනාදීන්) විසින් මෙම මස 03දින නිකුත් කරන ලද ප්‍රකාශය විසින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ දැන් අලුත් වටයකින් අන්තර් ජාතික ක්ෂේත්‍රය කරා ගමන් කරමින් ඇති අන්දම යි. ඔවුන් කියා සිටියේ ලෝකය ශ්‍රී ලංකාවේ පවතින මර්දනකාරී තත්ත්වය පිළිබඳව මීට වඩා උනන්දු විය යුතු බව ය. ඒ උතුරේ ජනමාධ්‍යවේදීන් දකුණට කී පණිවිඩයම නොවේ ද?

විමල් වීරවංශ සහ මර්වින් සිල්වා වැනි රාජ්‍ය නායක දේශපාලනඥයින් විසින් ශ්‍රී ලංකාව පිලිබඳ ඇති මෙම නිශේධාත්මක ප්‍රතිරූපය තව තවත් ඉහළ නංවයි. කිසිදු නඩු විභාගයකින් තොරව රාජ්‍ය නායකයින් විසින් රාජ්‍ය නිලධාරීන් ජනමාධ්‍ය ඉදිරියේ ගස්බැද දඩුවම් දෙන රටක් සමස්ත ලෝකයටම ඇත්තේ ශ්‍රී ලංකාව පමණකි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය වටලා ගිනි තබා ගන්නා බවට තර්ජනය කරමින් තොවිල් නටන රාජ්‍ය නායකයින් ඇත්තේ ද මුලු ලෝකයට ම ශ්‍රී ලංකාවේ පමණ ය.

රාජ්‍ය නායකයින් වන වීරවංස සහ සිල්වා උතුරෙහි පවතින යුද්ධ පාලනය දකුණේ දේශපාලනය තුළ පිළිඹිඹු වන එක් මානයක් පමණි. සරසවි ශිෂ්‍යයින් මරා දැමීමේ සිට ඊනියා පාතාලයින් මරා දැමීම, කොම්පඤඤවීදියේ මුස්ලිම් ජනයාගේ නිවාස බුල්ඩෝසර් කිරීමේ සිට අම්පාරේ බෞද්ධ පන්සල් උගුලුවා දැමීම, ෆොන්සේකා සිරගත කිරීමේ සිට සිරිමල්වත්ත දංගෙඩියට කැඳවීම යනාදී සියල්ල සිදුවන්නේ තවම රට බේරා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ ය.

උතුරේ ජනයා මිලිටරිකරණයට යටකර දකුණට ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගත හැකි යැයි තවමත් අප කල්පනා කරන්නේ ද?