iMAGE: Vikalpa/Ishara Danasekara 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  පිළිබඳ  මේ දිනවල සිදුවන සාකච්ඡාවට යමක් එක් කිරීම කාළෝචිතයි. දැන් සමාජයේ සිදු කරන කතා බහේදි කියවෙන සමහර අදහස් වල  යම් ජාතිවාදි බවකුත් තැවරී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ආගමික බලපෑමකුත් දැකිය හැකියි. මානව හිමිකම්, සංහිදියාව, බලය බෙදීම,  සංවරණ හා තුලන මූලධර්ම වගේ ප්‍රගතිශීලි අදහස් පසුපසට ගිහින්. කෙසේ වෙතත් අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද සාකච්ඡාවේදී මේ ප්‍රගතිශීලී අදහස් ඉදිරියට ගෙන ආ යුතුව තිබෙනවා. මේ සටහනින් බලාපොරොත්තු වෙන්නෙ වඩාත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් වල ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළින් උගත හැකි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම සහ ඒවා භාවිතයට ගැනීමේ වැදගත්කම පිළිබද අවධාරණය කිරීම. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ කැපී පෙනෙන පුද්ගලයින් විසින් මතු කරන අර මුලින් කී ආගමික අධිකාරිය, සහ ජාතිකවාදය විසින් ගෙන එන අදහස්, පක්ෂ වල බලය වෙනුවෙන් වන අදහස්  වලින් වෙනස්ව කරන මේ යෝජනාව ඒවා ඉදිරියේ ඉතාමත් කුඩා ප්‍රයත්නයක්. නමුත් ඒ කුඩා ප්‍රයත්නය පවා මේ මොහොතේ දැරිය යුතුව තිබෙනවා.

රටක මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ජනතාවගේ ආරක්ෂකයා බවට පත් විය යුතුයි. එක් පක්ෂයක් හෝ පාලකයෙක් වෙනුවෙන් නිර්මාණය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රටකට කරන විනාශයන් ගැන අපිට ඕනෑ තරම් අත්දැකීම් තිබෙනවා. අපේ පළමු හා දෙවන ජනරජ ව්‍යවස්ථා හැදුනේ අසීමිත පාර්ලිමේන්තු බලයක් අරගෙන බලයට පත් වුන රජයන් දෙකක වුවමනාව නිසා මිසක් පුළුල් සමාජ කථිකාවතකින් නෙමෙයි.  18 වන ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු බොහෝ සංශෝධන එන්නෙත් මෙවැනි පටු අරමුණු වලින්. යම්තාක් දුරට ප්‍රගතිශීලි බවක් තිබුණු ස්වාධීන කොමිෂන් සභා ලැබුණු, සියළු පක්ෂ වල සාභාගීත්වයක් සහිත 17 පොඩි පට්ටම් කිරීමට සහ විධායක ජනාධිපති ධූරය තවත් ශක්තිමත් කිරීමට එය හේතු වුනා. 2015 වසරේ ගෙන ආ 19 යනු සිවිල් සමාජය, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තැබූ ප්‍රගතිශීලී මිනිසුන්, ජේ. ආර් ගේ සමයේ සිට 78 ව්‍යවස්ථාවෙන් බැට කෑ මිනිසුන් විසින් සාක්ෂාත් කර ගත් එකම ඵලය බව අමුතුවෙන් කිව යුතු නැහැ. 2015 ජනවාරි 8 බිහි වූ පාලනයෙන් අප ලැබූ එකම සාර්ථකත්වය. අනික් බොහෝ දේ සිදුවුනේ භාග වශයෙන්. අතුරුදන් වූවන් වෙනුවෙන් යමක් නොවූ තරම්. වංචා දූෂණ පිළිබද පරීක්ෂණ, පුළුල් සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ වගේ බොහෝ දේ ඒ පාලනය විසින් අමතක කර දැමුවා.   අත්කර ගන්නා ලද එකම ඵලයත් පොඩි පට්ටම් වීමේ ඛේදනීය තත්වයකට මුහුණ පා තිබෙනවා. ඒ ගැන වෙනම සාකච්ඡාවක් සිදුවිය යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රට ගැන එක්තරා විදිහෙ කැඩපතක් වෙනවා. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වල වඩාත් ප්‍රගතිශීලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පවතිනවා. ඒවා නිර්මාණය වන්නෙ සමාජ සම්මුතියකින්, අවබෝධයකින්, පුළුල් අරමුණු පෙරදැරි කර ගනිමින්. එසේම ඒවා නව ලෝකයට ගැලපෙන පරිදි විකාශනය වෙනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද තත්වයට පැමිණ ඇත්තේ වසර 800 කට ආසන්න  දීර්ඝ කාලයක් පුරා එකතු වූ දෑ සමගින්. ( බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාව මේ යැයි කිව හැකි ලියවිල්ලක් නැති අතර එය සම්ප්‍රදායන්, පූර්වාදර්ශ, ගිවිසුම්, පනත් ආදියේ එකතුවකි) රජවරුන්ගේ බලතල අඩු කිරීම, අයුක්ති සහගත බදු ක්‍රම ඉවත් කිරීමේ සටන්, ඉංග්‍රීසි විප්ලවය වැනි බොහෝ දේ ඒ සමග බැදී තිබෙනවා. ඇමරිකාවේ, ප්‍රංශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකසෙන්නේත් විප්ලවයන් මතින්. ඒ ව්‍යවස්ථාවන් සමග ජනතාවගේ වුවමනාවන් ගැටගැසී තිබෙනවා  එසේම ඒවා නව ලෝකයේ අවශ්‍යතා, නව අයිතීන් අනුව හැඩ ගැසෙමින් ඉදිරියට යනවා. නිදසුනක් ලෙස 1789 වසරේ නිර්මිත ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පසුකාලීනව ක්‍රමයෙන් නූතන ලෝකයේ අවැසිතා එක්වීම පෙන්වා දිය හැකියි.

ව්‍යවස්ථාව ප්‍රශ්නයට පිළිතුරක් මිස ප්‍රශ්නයේ කොටසක් නොවිය යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රශ්නය සදහා පිළිතුරක් විය යුතුයි. අපේ සිදුව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රශ්නයේ කොටසක් වී තිබීම. එක් එක් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ගික ගැටළු, අසමානතාව, අත්තනෝමතික පාලනයන්, අයුක්තිය වැනි පැනයන්ට විසදුම් ලබා දීමට නිර්මාණය කළා. අතීතයේ සිදුවූ වැරදි ඒවා සම්පාදනයට අවශ්‍ය පාඩම් කියා දුන්නා. මෙහෙම ව්‍යසනයක් වුනේ මෙවැනි අඩුපාඩු නිසයි. ව්‍යවස්ථාව තුළින් ඒවා සකසා ගනිමු යන අදහස අදාළ සම්පාදකයන් තුළ තිබුණා. අපගේ මෑත ඉතිහාසය විමසීමේදී අලුතෙන් වෙනම පාඩම් ඉගෙනගත යුතු නැහැ.  71 සිට 2009 දක්වා රට අභ්‍යන්තරයේ සිවිල් යුද්ධ තුනක්, 83 දී තිරශ්චීන වාර්ගික කලකෝලාහලයන්, ඒ අත්දැකීම් වලට මුහුණ දී අදටත් පීඩා විදින මිනිස්සු ඉන්න සමාජයක්, නොයෙක් ස්වරූපයේ මර්ධන, දේශපාලන ඝාතන, පැවති රජයන් අඩු වැඩි වශයෙන් සිදු කළ අතුරුදන් කිරීම්, මාධ්‍ය ආයතන ගිනි බත් කිරීම් ඕනෑ තරම් දැක තිබෙන සමාජයක්, කටුනායක නිදහස් වෙළද කලාපයේ මර්ධනය, හලාවත ධීවර සටන, රතුපස්වල ඛේදවාචකය වැනි සිදුවීම් වලින් නැහැවුනු රටක්, සෑම ජනවර්ගයකම ජාතිවාදී අන්තවාදී සංවිධාන වලින් බැට කෑ ජනතාවක්. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසිය යුතුව ඇත්තේ මේවාගෙන් ඉගෙන ගත් පාඩම් මතින්. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදිය යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මාවත දිගේ දියුණු සමාජයකට අවතීර්ණ වීමට මිස අත්තනෝමතික පාලනයන් යටතේ ම්ලේච්ඡ සමාජයක් දක්වා පල්ලම් බැසීමට නොවන බව තේරුම් ගැනීමයි ප්‍රගතිශීලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ පලමු පියවර.

We the people !  බලවත් ප්‍රකාශයක් !

 සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ප්‍රකාශයක් ඇතුළත් වෙනවා. ප්‍රකාශය වඩාත් ප්‍රගතිශීලී වූ පමණින් හෝ එහි පරාසය පුළුල් වන තරමින් එය යහපත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවට පත් වේ වැනි මතයකට එළඹිය යුතු නැහැ. එසේ වුනත් ප්‍රකාශයන් සමහර අවස්ථාවල සෘජු නීති රීති වලට වඩා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාවට හේතුවී තිබෙනවා. ට්‍රම්ප් ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය දක්වන විපක්ෂ ක්‍රියාකාරීන්ට, ඩිමොක්‍රටික් ආණ්ඩුකාර වරුන්ට, පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවට ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ We the people ප්‍රකාශය ශක්තියක් වුනා. “රිපබ්ලිකන් නෙමෙයි ඩිමොක්‍රටික් නෙමෙයි සුදු හෝ කළු නෙමෙයි. සංක්‍රමණික නෙමෙයි. අපි මිනිස්සු” කියන අදහසට ජනතාව එක්වුනේ මේ නිසයි. මේ We the people ප්‍රකාශය යුක්තිය, සාධාරණත්වය නිදහස පිළිබද සටහන ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනි සිළුවක් බඳුයි. එවැන්නක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්,  ප්‍රජාතන්ත්‍රවාදී සමාජයටත් පන්නරය ලබා දෙනවා.

ජනතා සහභාගීත්වය

වත්මන් ලෝකය තුළ ජනගහණයේ  හැටියට ග්‍රීසියේ තිබුණු සෘජු ප්‍රජාතන්ත්‍රවාදය වැනි තත්වයන් කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. නමුත් රටේ පාලනය සදහා ජනතා සහභාගීත්වය ලබා ගැනීමට හැකි ක්‍රමවේද පවතිනවා. එවැනි සෘජු ජන සහභාගීත්වයක් දැක ගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස ස්විස්ටර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වා දිය හැකියි. ඔවුන් ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ ප්‍රාන්ත හා මධ්‍ය රජය අතර බලය බෙදා ඇති අන්දමින්ම සිය කැන්ටන් වෙතට බලය බෙදා දීමේ ව්‍යූහයක් සකස් කර තිබෙනවා. ඒ නිසා තමන්ට සමීප කැන්ටන් ඒකකය සමග ජනතාවට ගනු දෙනු කළ හැකියි. මෙය වගකීම් පවරා ඇති ජනතා ගැටළු වලට විසදුම් ලබා දිය හැකි ඒකකයක්. එසේම විධායක ව්‍යවස්ථාදායක අධිකරණ කුළුණු වලට අමතරව ජනතාවටත් මැතිවරණ වලින් පසුවත් පාලනයට බලපෑම් කළ හැකි අන්දමේ අවස්ථා ස්විස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගතයි.  ඒ සදහා ව්‍යවස්ථාව තුළ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම (Direct democracy tools) ඇතුළත් කර තිබෙනවා. මේ එක් ක්‍රමයක් වන ප්‍රාරම්භනය හරහා නව නීති පැනවීමට, නීති සංශෝධනය කිරීමට අවශ්‍ය අවස්ථාව ජනතාවට හිමිව තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි උපක්‍රම තුළින් ජනතා සහභාගීත්වයට අවකාශ සැලසීම වඩාත් ඵලදායී වීමට නම් අදාළ සමාජය දියුණු දේශපාලන සංස්කෘතියකින් යුක්ත වීම අත්‍යවශ්‍යය වෙනවා.

සංවරණ හා තුලන මූලධර්මය

ඈත අතීතයේ විසූ පොලිබියස් නම් ග්‍රීක ඉතිහාසඥයා සංවරණ තුලන මූලධර්මයන් ගැන විග්‍රහයන් ඉදිරිපත් කළා. අපේ ඇතැම් අය ඒකාධිපතියන්, බලසම්පන්න රජවරුන් ඉල්ලා සිටියත් සියවස් ගණනාවකට පෙර වුවත් අත්තනෝමතික පාලනයන්ට වැට බැදිය යුතුයි යන අදහස මිනිසුන් තුළ තිබුණා. බලය මිනිසා දූෂණය කරයි යන අදහස ඕනෑම මනුෂ්‍යයෙකුට පොදුයි. ඔවුන් පුද්ගලිකව කොතරම් යහපත් වුවත් එහි වෙනසක් නැහැ. සංවරණ හා තුලන මූලධර්මය විසින් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය යන ත්‍රිත්වයට බලය බෙදා අත්තනෝමතික පාලනයන් වැලැක්වීමට කටයුතු කිරීම ජනතාවට හිතකරයි. ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයා, කොංග්‍රසය සහ අධිකරණය අතර බලය බෙදා ඇත්තේ මේ අයුරින්. ට්‍රම්ප් පරිපාලනය විසින් ගනු ලැබූ අත්තනෝමතික ක්‍රියාමාර්ග වලට අධිකරණය හරස් වූ අයුරු ඔබ පසුගිය කාලයේ දකින්නට ඇති.  ප්‍රාන්ත රාජ්‍යයන් සහ මධ්‍ය රජය අතර අර්බුද වලදී අධිකරණය මැදිහත් කරුවෙකු ලෙස මධ්‍ය රජය විසින් ප්‍රාන්ත වලට හානිකර ලෙස බලපෑම් කරන අවස්ථා පාලනය කිරීමට කටයුතු කළ අවස්ථා ඕනෑ තරම් හමුවනවා. ඉන්දියාවේ අධිකරණ පද්ධතියත් ප්‍රාන්ත රාජ්‍යන්ගේ ආරක්ෂකයා ලෙස මෙන්ම මධ්‍ය හා ප්‍රාන්ත රජයන්ගේ අත්තනෝමතික කටයුතු වලින් ජනතාව ගලවා ගැනීමේ ආරක්ෂකයෙකු ලෙසත් කටයුතු කළ අයුරු දැක ගත හැකියි.

ඇමරිකාවේ ද්වී මාණ්ඩලික ව්‍යවස්ථාදායකය සංවරණ තුලන මූලධර්මය යටතේ විධායකයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් වැලැක්වීමට හැකි බලයකින් සමන්විතයි. මීට අමතරව ජාතික මන්ත්‍රී මණ්ඩලය සහ උත්තරීතර මන්ත්‍රී මණ්ඩලය ලෙසින් ඇති ප්‍රංශ  පාර්ලිමේන්තුවද ශක්තිමත් ව්‍යවස්ථාදායකයක්. එහි ඇති ශක්තිමත් කාරක සභා ක්‍රමය විධායකයේ යම් බලතල ව්‍යවස්ථාදායකය සමග හවුලේ පවත්වාගෙන යාමට අවශ්‍ය තත්වය සකසා තිබෙනවා.

රටක පාලනය සදහා විධායකයට යම් බලතල තිබිය යුතු වීම ගැන සැකයක් නැහැ. නමුත් බලය තනි ස්ථානයකට ඒකරාශී වීමට වඩා ආයතන කිහිපයක් සතුව පැවතීම වඩා යහපත් සහ ආරක්ෂාකාරී බව ලෝක ඉතිහාසයේ නිදසුන් වලින් තේරුම් ගත හැකියි.

අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනතෙන් මැනවින් ආභාෂය ලැබූ ව්‍යවස්ථාවක් ! 

අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනතේ  අන්තර්ගත මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය, ආර්ථික, සමාජයීය, හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතිය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතිය සහ එම සම්මුතිය හා සම්බන්ධ පළමු වෛකල්පික ගිවිසුම, මරණ දඩුවම අහෝසි කිරීම අරමුණු කොට ගෙන එම අන්තර්ජාතික සම්මුතියටම එක් කරනු ලැබූ  දෙවැනි වෛකල්පික ගිවිසුම යන සම්මුතීන්ගේ ආභාෂය ලබමින් මනුෂ්‍යයෙකුට ලැබිය හැකි උපරිම අයිතිවාසිකම්, යුක්තිය, සාධාරණත්වය, වටිනාකම්, අවස්ථාවන් හිමිවන ව්‍යවස්ථාවක් ගොඩ නැගීම මෙවැනි තුවාල ලැබූ සමාජයකට බෙහෙවින්ම වැදගත්. අඩුම තරමින් වසර 72 කටත් වඩා පැරණි මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය මැනවින් උකහා ගැනීමට ඇති හැකියාව පිළිබද අවධානය යොමුකළ යුතුයි.

දකුණු අප්‍රිකාවේ ආදර්ශයක් !

ඉතාමත් තරුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වන දකණු අප්‍රිකාවේ ව්‍යවස්ථාව සංවර්ධනය වෙමින් පවතින රටවල ව්‍යවස්ථා අතරින් වඩාත් ප්‍රගතිශීලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස සැලකෙනවා. එම ව්‍යවස්ථාවේ උපරිම ප්‍රතිලාභ ඇතැම් පාලන තන්ත්‍ර යටතේ හිමි නොවීම සහ ප්‍රායෝගික තලයේදී එහි ක්‍රියාත්මක වීම් වල ගැටළු පැවතියත් එය හැදාරීමට වටිනා ව්‍යවස්ථාවක්. සුදු, කළු සහ ආසියානු යන සෑම ජන කොටසක්ම ආරක්ෂා කරන, සංහිදියාව ඇති කිරීමට දායක වුනු මේ ව්‍යවස්ථාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිකිරීමට අපේක්ෂා කරන සෑම රාජ්‍යයකටම පාඩම් රැසක් කියා දෙනවා. මෙතරම් වැදගත්කමක් දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාවට හිමි වීමට හේතුවූ කරුණු කිහිපයක් තිබෙනවා.

1)වෙනත් රටවල් වල අත්දැකීම්

ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, බ්‍රිතාන්‍ය,         ප්‍රංශ, ජර්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, ස්කැන්ඩිනේවියානු රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි ලොව පුරා විවිධ මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විසින් විවිධ තත්වයන් යටතේ ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබද මැනවින් හැදෑරීම සහ ඒවායෙන් ආභාෂය ලැබීම.

2) සැම වෙනුවෙන් වන ව්‍යවස්ථාවක් (Works for all) 

මේ යටතේ සෑම ජනවර්ගයකටම සමානව සැලකෙන සුරක්ෂිත බවක් හිමි වන ව්‍යවස්ථාවක් සදහා උපරිම උත්සහය දරා ඇත. බෙදී සිටි වියවුල් ගහණ අතීතයක් සහිත සමාජයක තුවාල සුව කළ හැකි අන්දමින් සියළු පුරවැසියන්ට යහපත් ජීවන තත්වයක් උදෙසා නිර්මාණය කර තිබීම. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ පුළුල් ලෙස මිනිස් අයිතිවාසිකම් ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

3) වඩාත් පුළුල් ජන සහභාගීත්වයකින් යුතුව සමාජයේ සෑම නියෝජනයකම දායකත්වය ලැබෙන පරිදි නිර්මාණය කිරීමට පියවර ගෙන තිබීම.

4)වර්ණය, ලිංගය අනුව වෙනස් කොට සැලකීම වැළක්වීම, සමාජ ආර්ථික අයිතිවාසිකම් , පාරිසරික අයිතිවාසිකම්ආදිය පිළිබද අවධානය යොමු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වීම. 

සංවර්ධිත රටවලට හරියන බොහෝ දේ ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට නොගැලපෙන බව කියන අය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යනය යුතුයි.  යම්‍ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙඩිය පිටින් කොපි පේස්ට් කිරීමක් මින් යෝජනා කරන්නේ නැහැ. අපේ අතීතයෙන්ද පාඩම් ඉගෙන ගනිමින් වෙනත් රටවල ආදර්ශයන් උකහා ගනිමින් වඩා යහපත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුයි. පුද්ගලික ඕනෑ එපාකම්, පක්ෂයේ බලය පවත්වාගෙන යාම්, විරුද්ධවාදීන් මර්ධනය කිරීම් වැනි පටු අරමුණු වලින් තොරව පුළුල් වැඩපිළිවෙලක් හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වූ දිනක අපට නැවුම් ගමනකට අවතීර්ණ වීමට හැකි වේවි. එතෙක් ඒ වෙනුවෙන් මැදිහත් වීම පුරවැසි වගකීමක්.

shali ශාලිත බණ්ඩාර | Shalitha Bandara