Colombo, Featured Articles, Features

ඇමෙරිකාව දෙදරවූ ජුලියන් අසංගේ – විකි ලීක්ස් හෙළිදරව්ව


Pic by – http://www.homepagedaily.com
සුනන්ද දේශප්‍රිය

මෙයට සති දෙකකට පෙර විකි ලීක්ස් යනු කවරක්ද කියා හෝ ජුලියන් අසන්ගේ යනු කවරෙක්ද කියා දැන සිටියේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස් පමණි. නමුත් අද විකි ලීක්ස් ගැන කතා නොකළ රටක් සහ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යක් සොයා ගැනීමට නැති තරම් ය. ඒ පසුගියදා ඇප්ගනිස්ථානයේ යුද්ධයට අදාළව එය විසින් කරන ලද හෙළිදරව්ව නිසා ය. විකි ලීක්ස් http://wikileaks.org/ යනු ලොව පුරා රාජ්‍යයන් සහ සමාගම් විසින් සැඟවීමට උත්සාහ කරන මහජන යහපත පිණිස හෙලිදරව් කළ යුතු තොරතුරු ගවේෂනය කර ප්‍රසිද්ධ කරන වෙබ් අඩවියකි.

විකි ලීක්ස් නම් ගවේෂණාත්මක වෙබ් අඩවියෙහි ආරම්භකයා වන ජුලියන් අසංගේ අමුතු ඉලංදාරියෙකි. 1971 දී ඕස්ට්‍රේලියානුවකු ලෙස උපත ලද ජුලියන් අසංගේ සංචාරක නාට්‍ය කණ්ඩායමක් පවත්වාගෙන ගිය සිය මාපියන් සමඟ රට වටා ගිය අතර පාසැල් 37ක ඉගෙනුම ලැබූ බව කියනු ලැබේ. ගැටවර වියේ දී පරඝණකය අසංගේ ගේ ජීවිත ලැදියාව බවට පත් විය. තරුණ වියේ දීම පරිඝණක ගත දත්ත රහසින් ලබා ගැනීමේ වසයකු නැත්නම් හැකර් කෙනෙකු බවට ස්ව අධ්‍යපනයෙන්ම පත් විය. සිය සගයින් සමඟ වසය 18 දී විවාහ වී ඉක්මණින්ම දරු සුරතල් වාසනාව ලද්දේ ය. පුද්ගලික ජීවිතයේ අඩ දබර මැදම තරුණ වියේ දීම පරිඝණක මගින් රහස් තොරතුරු සොයන අන්තර් ජාතික කඩාකප්පල්කරුවෝ නමින් එකතුවක් පිහිටුවූයේ ය. ජුලියන් අසංගේ වසය 30ගණන් වන විට අද මුලු ලොවම කතා බහ කරන විකි ලීක්ස් නම් වෙබ් අවකාශය පදනම් කර ගත් නව ආරක ජනමාධ්‍ය ආයතනය ගොඩ නැගුවේ ය. ඒ 2006 දී ය.

සමහර විට ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකාව කරගෙන යන යුද්ධයට තීරණාත්මක විය හැකි ඇෆ්ගනිස්තානයේ යුද්ධයට අදාළ ලිපි ගොනු 76,900ක් විකි ලීක්ස් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ පසුගිය ජූලි 25 දාය.

ඉන් දින තුනකට පසු මෙම තොරතුරු සපයන ලද බවට සැක කොට දෙවිසි හැවිරිදි බ්‍රුඩ්ලි මෑනිං නම් හමුදා දත්ත විශ්ලේෂකයකු ඇමෙරිකානු හමුදා විසින් අත්අඩංඟුවට ගන්නා ලදී. විකි ලීක්ස් මගින් මෙයට පෙර ප්‍රසිද්ධියට පත් කරන ලද ඇමෙරිකානු හෙලිකොප්ටරයක් මගින් බැඩ්ගෑඩයේ දී ජනමාධ්‍යවේදීන් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය කරනු ලැබීමේ වීඩියෝව ලබා දෙන ලද්දේ ද මෑනිං යයි සැක කරනු ලැබේ.

විකි ලීක්ස් ලේඛන මගින් ඇමෙරිකානු යුද හමුදාව ඇෆ්ගනිස්ථානයේ යුද අපරාධ කර ඇති බව හෙළිදරව් වී ඇති බැවින් දැන් එරටට එරෙහිව පියවර ගත යුතු යැයි ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ලේඛකයින් විසින් උජාරුවෙන් යුතුව යෝජනා කරන ලදී. ඇමෙරිකානු යුද හමුදාව විසින් සිවිල් වැසියන්ට එරෙහිව කරන ලද ප්‍රහාරයන් විකි ලීක්ස් වෙබ් අඩවිය විසින් හෙලිදරව් කිරීම අගයන ලිපි ගණනාවක්ම ශ්‍රී ලංකා ආරක්ෂ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ද පළ කරනු ලැබ තිබේ. පසුගිය සඳුදා එහි පළ කළ එක් ලිපියක් අත් අඩංඟුවට ගන්නා ලද බැඩ්ලි මෑනිං වෙනුවෙන් පෙනී සිටින එකකි. එම ලිපිය කියා සිටින්නේ විකි ලීක්ස් වෙබ් අඩවියට සම්බන්ධව එහි තොරතුරු ලබා දෙන ලෙස ඇමෙරිකානු රහස් ඔත්තු සේවා පරිගණක විශේෂඥයකුට අල්ලස් දීමට උත්සාහ කළ බව යි. ආරක්ෂ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති එම ලිපියෙන් කියන්නේ එම උත්සාහය වරදක් බව යි.

එසේ වෙතත් ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්දයෙන් කවර හෝ එවැනි තොරතුරක් කවර හෝ අයකු විසින් හෙළිදරව් කරන ලද්දේ නම් ශ්‍රී ලංකාණ්ඩුව එය සළකනු ලබන්නේ මහා රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස ය. යුද අපරාධ පිළිබඳ ඕනෑම පරීක්ෂණයකට සහාය වීමට තමා සූදානම් බව කියෙන්නේ නම් හිටපු යුද හමුදාපති ජෙනරල් ෆොන්සේකා පෝරකයට යවන බව කිවේ ද ආරක්ෂක ලේකම්වරයා ය. ඒ ශ්‍රී ලංකාවේ හැටි ය. ශ්‍රී ලංකාවේ කවරකු හෝ යුද්ධය සම්බන්ධයෙන් මෙවැනි තොරතුරු ලේඛන ප්‍රසිද්ධ කළ හොත් එම පුද්ගලයාට සුදු වෑන් රථයකින් රියන් හතරක් යටට යෑමට සිදුවනු බව නොඅනුමාන ය. එවැනි තොරතුරක් කවර හෝ පුවත්පතක් විසින් පළ කළහොත් ඒ පුවත්පතට සිදුවනු ඇත්තේ ගින්නෙන් දැවී යාමට ය.

ජුලියන් අසංගේ කියන්නේ තමන් වැදගත් කොට සළකන්නේ ජාතික ආරක්ෂාව නොව මානව ආරක්ෂාව බව යි. එබැවින් ජාතික ආරක්ෂාවට හානිවන බැවින් සමහර තොරතුරු ප්‍රසිද්ධ නොකළ යුතුය යන මතය ඔහු පිළිගන්නේ නැත. විකි ලීක්ස් යාන්ත්‍රණයට මූලස්ථානයක් නැත. එහි පරිඝණක ජාලගතව ඇත්තේ රටවල් ගණනාවක ය. “අපි මිනිසාගේ ආරක්ෂාව වැදගත් කොට සළකන නිසා ඇෆ්ගනිස්ථාන රජයේ සහ ඇමෙරිකානු ප්‍රමුඛ හමුදාවන්ට ඔත්තු සපයන පුද්ගලයින්ගේ විස්තර සහිත ලිපිගොනු 15.000ක් අප ප්‍රසිද්ධ කළේ නැහැ’‛ යැයි අසංගේ කිය යි.

මෙම ලේඛණ විසින් පෙන්නුම් කරන ලද එක් කරුණක් වුයේ ඇෆ්ගනිස්ථානයේ යුද්ධයෙන් ඇමෙරිකාව පරාජය වෙමින් ඇති බව ය. නැත්නම් ජයග්‍රහණයක් පේන මානයක නැති බව ය. මෙම හෙළිදරව්වෙහි කොටසක් වූ යුදබිමේ සොල්දාදුවන් විසින් ලියන ලද දෛනික සටහන් විසින් පෙන්නුම් කරන්නේ ඇමෙරිකානු සොල්දාදුවන් තුළ ඇති යුද තෙහෙට්ටුවයි. සියල්ල්ටම වඩා ඇමෙරිකාව කලබලයට පත් කල හෙළිදරව්ව වූයේ ඇමෙරිකානු යුද්ධ හමුදා විසින් කරන ලද සිවිල් ජන ඝාතනයන් පිළිබඳ තොරතුරු ය. මේ තාක් රහසක් සේ තබා ගන්නා ලද එවැනි ඝාතනයන් 144ක් පිළිබඳ වාර්තා මෙම හෙළිදරව්වට අඩංගු ය. මෙම සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්දයෙන් ප්‍රකාශක් කළ හියුමන් රයිට්ස් වොච් සංවිධානය කිවේ “සිවිල් ජනයා ඝාතනය වීම් පිළිබඳව ඇමෙරිකාව සහ නැටෝ ව දිගටම දත්ත වසං කරන බව මෙමගින් යළි පෙනෙනවා” යනුවෙනි.

එපමණක් ම නොවේ. ඇෆ්ගනිස්තානයේ සිවිල් ජනයා ඇමෙරිකානු ප්‍රමුඛ හමුදා අතින් මෙන්ම තලේබාන් කැරලිකරුවන් වෙතින් ලබන අනේක දුක් කරදර ද මෙම ලේඛන විසින් හෙළිදරව් කෙරුණි. ඇමෙරිකානු හමුදා සමඟ යුද වැදී සිටින තලේබාන් සහ අල්කයිඩා ගරිල්ලා හමුදාවන්ට පාකිස්ථානය විසින් ආධාර කරනු ලබන බවට මේ තාක් තිබූ සැකය මෙම ලේඛන විසින් සනාථ කරන ලදී. අන්තවාදී බලවේග සමඟ සටන් කිරීම පිණිස පාකිස්තානය වසරකට ඩොලර් බිලියනයක් තරම් ආධාර ඇමෙරිකාවෙන් ලබා ගන්නා අතරම ඇමෙරිකානු හමුදාවන්ට එරෙහිව මූලධර්මවාදී ගරිල්ලා හමුදාවන්ට ආධාර සපයන බව ඇමෙරිකානු ආණ්ඩුව දැන සිටි බව ද මෙමගින් හෙළිදරව් විය. ඉන් එක් ලේඛනයකට අනුව අන්තවාදී ගරිල්ලා හමුදාවක් මෙහෙවන ජලාල්දීන් හකානි නම් යුද දෙටුවා වෙත පාකිස්තාන යුද හමුදා බුද්ධි අංශය විසින් යතුරු පැදි 1,000ක් යැවූ බවත් එම යතුරු පැදි යොදා ගන්නා ලද්දේ ඇමෙරිකානු හමුදාවන්ට එරෙහිව මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට බවත් මෙම ලේඛන විසින් හෙළිදරව් කරයි.

මෙම හෙළිදරව්ව විසින් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති ගැටුම ද නව මානයක් කරා ගෙන යයි. ඒ පාකිස්තාන යුද බුද්ධි අංශය විසින් ඇෆ්ගනිස්ථානයේ ඉන්දියානු ඉල්ලක්කයන්ට පහර දීමට විවිධ ගරිල්ලා කණ්ඩායම් උසිගන්නන සහ අනුබලදෙන බවට තොරතුරු මෙමගින් දැක්වෙන නිසා ය. ත්‍රස්තවාදය සමඟ සටන් කරන බව ලොවට අඟවමින් පාකිස්තානයේ යුද හමුදාවේ ප්‍රබල පිරිස් ඇත්ත වශයෙන්ම ඇෆ්ගනිස්ථානයේ දී මූලධර්මවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් වලට ආධාර අනුබල පමණක් නොව පුහුණුව සහ ආයුධ ලබා දෙන බව ද මෙම ලේඛන මගින් පෙනී යයි.

“පටන් ගන්න ඕනේ ඇත්ත කියලා, බොරුවෙන් පටන් ගත්තොත් නිවැරදි නිගමනයකට එන්න බැහැ. ජනමාධ්‍යයේ වැදගත් වෙන්නේ ඇත්ත කීම. අපි කරන්නේ ඒක.” යැයි ජුලියන් අසංගේ කියන්නේ අභිමානයෙනි. ඇෆ්ගනිස්තාන දින පොත් නමින් හැදින්වෙන විවිධ තරාතිරම් හි යුද සෙබලුන් විසින් ලියන ලද මෙම ලේඛන සමූහය විකි ලීක්ස් වෙතින් ප්‍රථමයෙන්ම ලබා දෙන ලද්දේ බ්‍රිතාන්‍යයේ ගාර්ඩියන්, ජර්මනියේ දාර් ස්පීගල් සහ ඇමෙරිකාවේ නිව් යෝක් ටයිම්ස් යන පුවත්පත් වලට ය. එම පුවත්පත් තුනම මෙම ලේඛණ අනුසාරයෙන් දීර්ඝ වාර්තා එකම දින පළ කරමින් ලෝකයේ බලවත්ම රට වන ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයේ කරගෙන යන යුද්ධයේ ආදීනව ලෝකයට පෙන්වා දුන්නෝ ය.

2010 ජනවාරිය වන විට ලොව පුරා ස්වේච්ජාවෙන් වැඩ කරන 1200ක් තරම් පිරිසක් දිනකට ලැබෙන 30ක් පමණ වන මෙවැනි විවිධ රහස් ලේඛන පරීක්ෂා කරමින් ඒවායේ සත්‍ය, අසත්‍යතාව පිරක්සමින් සිටිය හ. විකි ලීක්ස් හි පූර්ණ කාලීන සේවක සංඛ්‍යාව 40ක් තරම් වන අතර එය සතුව මහජනයාට ඉතා වැදගත් ලේඛණ මිලියනයකට වඩා ඇති බව කියනු ලැබේ. මින් බොහොමයක් ඇමෙරිකාවේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බව කියනු ලැබේ. විකි ලීක්ස් කළ දැවැන්තම හෙළිදරව්ව වූ මෙය විසින් ඇමෙරිකාව ද යුද අපරාධ සම්බන්දයෙන් චෝදනා ලැබිය යුතු බවට ඇති ලෝක ජන මතය ශක්තිමත් කරනු ලැබ තිබේ.

ඇෆ්ගනිස්තාන දින සටහන් ප්‍රසිද්ධ කිරීම මගින් විකි ලීක්ස් ලබා ලත් ප්‍රසිද්ධිය මෙවැනි තොරතුරු හෙළිදරව් කිරීමට කැමැති බොහෝ දෙනාට විශේෂයෙන් ම රාජ්‍ය සේවයේ යෙදී සිටින හෘද සාක්ෂියක් සහිත ලෝක පුරවැසියනට මහඟු අවස්ථාවක් උදා වී තිබේ. ජුලියන් අසංගේ කියන්නේ “මේ තමයි අනාගත ජනමාධ්‍ය කියා ය. ජාතික රාජ්‍යයේ දේශසීමාවන්හි හිර වූ ජනමාධ්‍ය මෙන් නොවේ. විකි ලීක්ස් දේශසීමා නැති ජන මාධ්‍යයක්’ යැයි ඔහු කියයි.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ සහ ආර්ථිකයේ මේ තාක් හෙළි දරව් නොවූ රහස් විකි ලීක්ස් මඟින් කවරදාක හෝ හෙළි දරව් වුවහොත් අප පුදුම නොවිය යුතු ය. මන්ද යත් එයට ජාතික රාජ්‍යයේ ජාතික ආරක්ෂාව පිළිබඳ සීමාවක් නැති නිසා ය.