iMAGE: Vikalpa Cartoon 

ශ්‍රී ලංකාවෙහි ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන්නේය. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙහි හරක් නොමැරීමට හේතු වශයෙන් දක්වා ඇති කරුණූ තහනමටත් වඩා අපුරුය.

ඒ් අනුව ගව ඝාතනය තහනම් කැරෙන්නේ කිසිදු ආගමික හෝ සදාචාරාත්මක හේතුවක් නිසා නොවේ. 28.09.2020 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව මෙම තහනම පැනවීමට අගමැති රාජපක්ෂ විසින් යෝජනා කරන ලද හේතු මෙසේය:

“ගව ඝාතනය ඉහළ යාම හේතුවෙන් සම්ප්‍රදායික ගොව්තැන් කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය වන ගව සම්පත ප්‍රමාණවත් නොවන බවත් ආනයනික කිරිපිටි සඳහා විදේශයන්ට ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණය අවම කර ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමට හැකිවන පරිදි දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ප්‍රමාණවත් ගව සම්පතක් නොමැති වීම හේතුවෙන් එම කර්මාන්තයට බාධාවක් වී ඇති බවත්” ය.

එසේ නමුත් මෙම යෝජනාවේ ආදී කර්තෘවරුන් වන්නේ අනගාරික ධර්මපාලගේ සිට නූතන උග්‍ර සිංහල බෞද්ධ කණ්ඩායම් බව රහසක් නොවේ. මෑත කාලයෙහි යාපනයේ උග්‍ර හින්දු ලබ්ධික සිව සේනා කණ්ඩායම්ද ගව ඝාතනය තහනම් කරන ලෙස උද්ඝෝෂණය කරති.

එමෙන්ම ගව මස් ව්‍යාපාරයේ ගම් මට්ටමෙහි යෙදී සිටින්නේ මුස්ලිම් ජනයා වන අතර ඔවුන් වැඩිපුරම අනුභව කරන්නේද ගව මස්ය. අගමැති රාජපක්ෂ විසින් ගව ඝාතනය තහනම් කළ යුතු බවට සැප්තැම්බර් මුලදී යෝජනා කළ විට ඊට විරුද්ධව මුස්ලිම් ජනමත ප්‍රධානින් කරුණූ දැක්වූහ.

තවද අගමැති යෝජනාව මඟින් මෙරටදී ගව මස් කෑමට තහනමක් නැත. එපමණක් නොව පිට රටින් හරක් මස් ගෙන්වා අඩු මිලට දීමට කටයුතු කරන බවද එම යෝජනාවෙහි සඳහන් වෙයි. මුස්ලිම් ජනයාට පමණක් නොව හරක් මස් සංචාරක කර්මාන්තය සඳහා නැතිවම බැරිය. වර්තමාන වෙළද පොල මිල ගණන් අනුව පිටරටින් ගෙන්වන හරක් මස් මිල මෙරට හරක් මස් මිල මෙන් දෙගුණයකි. මෙරට තහනම තියෙන්නේ ලංකාවේ හරක් මස්වලට විතරය.

හරක් මස් කෑම මෙනයින් අතමිට මුදල් ඇති පන්තියේ වරප්‍රසාදයක් බවට පත්වෙයි. සාමාන්‍ය මුස්ලිම් ජනයාගේ ආහාරයේ ඇති ප්‍රෝටීන් සපිරි ආහාරය හරක් මස්ය. දැන් ඔවුන්ට එම ආහාරය නැති වෙයි.

තහනම් කිරීම වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ ජනප්‍රියම පාඨයයි. වාහන ගෙන්වීම තහනම්ය. යතුරු පැදි ගෙන්වීම තහනම්ය. කහ තහනම්ය. පිටරට ඇදුම් ගෙන්වීම තහනම්ය. සරුංගල් ගෙන්වීම තහනම්ය. බතික් ගෙන්වීම තහනම්ය. මුදල් රට යැවීම තහනම්ය.

ඉස්සරහට තව බොහෝ දේ තහනම් වනු ඇති බව අලුතෙන් කියන්නට තරම් දෙයක් නොවේ.
තහනම් නැත්තේ කැලෑ කැපීම, ගංගාවල් හාරා වැලි ගොඩ දැමීම, කදු කපා පස් ගොඩ ගැසීම වැනි දේය.

ජාවාරම්කරුවන් විසින් රටපුරා වන සම්පත් විනාශ කරමින් ඉඩම් අල්ලා ගන්නා බවට පළ වූ වාර්තා සියල්ල හෝ සමහරක් හෝ ආණ්ඩුවට අනුව බොරුය. එවැනි වාර්තා ප්‍රසිද්ධ කිරීමද තහනම්ය. පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුව කියා සිටියේ එවැනි “බොරු” ප්‍රචාරය කරන අයට විරුද්ධව නීති මඟින් කටයුතු කරන බවය. මෙවැනි තර්ජනයක් නිල වශයෙන් ප්‍රසිද්ධ කළ විට එවැනි වාර්තා පළ කිරීමට ජනමාධ්‍ය සහ සමාජ ජාල පිරිස් බිය වෙති. ඇත්ත අරමුණද එයම විය හැකිය.

ජනමාධ්‍යට අදාළ තවත් වාර්තාවකින් කියැවෙන්නේ පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව අදහස් කරන බවයි. මෙරට ජනමාධ්‍ය සංවිධාන දිගින් දිගටම උද්ඝෝෂණය කර ඇත්තේ පුවත්පත් මණ්ඩල පනත අහෝසි කරන ලෙසය. නමුත් දැන් ආණ්ඩුව කියන්නේ ජනමාධ්‍යන්ට එරෙහිව බොහෝ පැමිණිළි ලැබෙන බැවින් ඊට සරිලන සේ පනත සංශෝධනය කරන බවයි. එයද යම් විදියක තහනමක් කරා මග පෙන්වන්ට ඉඩ තිබේ.

මහජනයාගේ තොරතුරු දැන ගැනීමේ නිදහසට තවත් තහනමක් පණවමින් රාජපක්ෂවරු වහාම කෝප් නමින් හැදින්වෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙහි රැස්වීම් ජනමාධ්‍යට තහනම් කළේය . ඒ ගැන මාධ්‍ය කතා නැත.

ආණ්ඩුවේ ප්‍රධානතම දේශපාලන ව්‍යාපෘතිය වන 20වන සංශෝධනයෙහි එන බොහෝ දේ ද තහනම් කිරීම්ය . විඟණනය තහනම්ය. ව්‍යවස්ථාදායක සභාව තහනම්ය. පාරදෘශ්‍ය බව තහනම්ය. ජපාන ආධාර සහ සැහැල්ලු දුම්රිය තහනම්ය. ජනපතිට විරුද්ධ මානව හිමිකම් නඩු තහනම්ය යනාදී වශයෙනි.

(ජනාධිපතිවරයා විසින් මානව හිමිකම් කඩ කිරීමකට එරෙහිව නඩු පැවරීමට පුරවැසියාට නොහැකි නම් ඉතිරි වන එකම විකල්පය වනුයේ ආයුධ අතට ගැනීම යයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබීම වෙනම කතාවකි.)

තමාගේ කට වචනය නීතියක් ලෙස පිළි නොගැනීම තහනම් බව හල්දුම්මුල්ලට ගිය ජනාධිපති රාජපක්ෂ කීවේය. තමන්ගේ වචනය චක්‍ර ලේඛන වලට වඩා බලවත් බවත් ඒ අනුව කටයුතු නොකළ හොත් දඬුවම් ලැබෙනු ඇති බවත් ඔහු කීවේය.

ඒ අනුව යමින් ආණ්ඩුවේ ප්‍රබලතම ඇමැතිවරයකු වන ජෙන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ “අපේ අය” වරදක් කළත් දඩුුවම්දීම තහනම් බවය. බුවනෙක ගොඩනැඟිල්ල විනාශ කළ කුරුණෑගල දේශපාලනඥයාට අත තැබීම තහනම් කරන බව ඔහු කීවේද ඒ අනුවය. ඒ අනුව ජනාධිපතිතුමාගේ පක්ෂයේ අය වරදක් කළත් දඩුවම් කිරීම තහනම්ය.

අප දැන් යළි ගව ඝාතන තහනම කරා හැරෙමු. ආරම්භයේදීම සදහන් කළ කළ පරිදි තහනමට වඩා වැදගත් වන්නේ ඊට දී ඇති හේතුය. “ ගව ඝාතනය ඉහළ යාම හේතුවෙන් සම්ප්‍රදායික ගොව්තැන් කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය වන ගව සම්පත ප්‍රමාණවත් නොවන බව” යනුවෙන් කියනවිට අදහස් වන්නේ ගවයින් පාවිච්චි කරන බව සහ කළ යුතු බවද? රෝද දෙකේ අත්ටැක්ටර් මඟින් හරකුන් ලවා සී සෑම යනාදිය විස්ථාපනය වී ඇති බව අගමැති රාජපක්ෂ නොදන්නේද? සම්ප්‍රදායික ගොවිතැන පවත්වා ගැනීම යනුවෙන් කියන්නේ ගවයින් ලවා සී සෑම හෝ පොරු ගෑම හෝ කොළ මැඩීම තවමත් කැරෙන සහ කළ යුතු බවද? දැන් මෙරට දුර බැහැර ගම්වල පොල්වලවල් කපන්නෙත් බැකෝ යන්ත්‍ර මඟින් බව අගමැතිතුමා දන්නේ නැත්ද?

මේ හේතුව පට්ටපල් බොරුවකි. ඇත්ත හේතුව වැසීමට අදින ලද කඩතුරාවකි.

ඊළඟ හේතුව කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරිම සඳහා ගව ඝාතනය තහනම් කළ යුතු බවය. මෙරට කිරි නිෂ්පාදනය වැඩි කළ හැක්කේ කිරිහරක් පට්ටි ඇති කිරීමෙන් සහ එම ක්‍රියාවලිය යාන්ත්‍රිය කිරීමෙන් මිස ගම්වල සිටින එළදෙනුන්ගෙන් කිරි දෙවා ගැනීමෙන් නොවේ. අද මෙරට ඇති ඉතාම අක්‍රමවත් සහ රසායනික ද්‍රව්‍ය යෙදෙවෙන එක් අංශයක් නම් ගම්වල පවත්නා කුඩා පරිමාණ කිරි හරක් කර්මාන්තයයි.

කිරි හරක් කර්මාන්තය ආර්ථික වශයෙන් ලාභදායි වීමට නම් එළදෙනුන් නොව හරක් මසට විකිණිමට අවසර තිබිය යුතුය. මන්ද යත් කිරි ලැබෙන්නේ එලදෙනුන්ගෙන් පමණක් නිසාය! එළදෙනුන් මෙන්ම හරක්ද උපදින නිසාය. කිරි හරක් පට්ටිවල පට්ටි ගොනුන් සිටින්නේ සීමා සහිතය. උපදින සෑම හරකෙක්ම පට්ටි ගොනෙක් බවට පත් වන්නේ නැත. හරක් බදින්නට කරත්ත නැති නිසා එම හරක්ට කන්න දී හදාවඩා මැරෙන්නට ඇරීම කිරි හරක් කර්මාන්තයට පාඩුවක් මිස ලාභයක් ඇති නොකරයි.

මෙම යෝජනාවෙහි තවත් අපූරු කතාවක් තිබේ. එනම් කෘෂි කර්මාන්තයට ඵලදායි අන්දමින් යොදා ගත නොහැකි වයස්ගත ගවයින් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩ පිළිවෙළක් ක්‍රියාවට යොදවන බවයි. මින් කියැවෙන්නේ වයස් ගත හරක් සඳහා වැඩිහිටි ආයතන පිහිටුවන බවද? උනුන්ට කෑම බීම දි බලා ගන්නේ ආණ්ඩුව විසින්ද ?

2015 සංඛ්‍යා ලේඛන වලට අනුව මෙරට සමස්ත ගව ගහණය ලක්ෂ 13කි. මී හරක් ලක්ෂ හතරකි. අඩුම වශයෙන් වාර්ෂිකව ලක්ෂයක් ගවයින් වයස්ගත තත්වයට පත් වන්නේ නම් උන් බලා ගැනීමට ආණ්ඩුව මේ අනුව පියවර ගත යුතුය. නැත්නම් සිදුවන්නේ උන් පාරවල් ගානේ රස්තියාදු වී අපටත් උනටත් වදයක් වීමය. දැනටමත් මෙරට කිරි හරක් කර්මාන්තය තණපිටි සහ වෙනත් ගව ආහාර හිඟයකින් පෙළේ. එයට විසදුම වන්නේ ආර්ථික ලාබයක් නොමැති ගවයින්ටද එම තනපිටි විවෘත කිරීම නොවේ.

ආණ්ඩුවට මොළයක් තිබුණේ නම් මෙවැනි පියවරක් ගැනීමට පෙර කිරි කර්මාන්තයෙන් ස්වයං පෝෂිත වී ඇති ඉන්දියාවෙන් ඉගෙන ගන්නට තිබුණි. එරට බහුතරය වන හින්දු ජනයා ගවයා දේවත්වයෙන් සැළකුවද ලෝකයේ ගවමස් වලින් සියයට 20 ක් ලබා දෙන්නේ ඉන්දියාවය. එරට මස් පිණිස මැරිය හැකි ගවයින් වර්ග කර තිබේ. කිරි හරකුන් මැරීම තහනම්ය යනාදී ලෙසිනි.

රටතුළ කිසිදු ප්‍රබල ඉල්ලීමක් නැති අවස්ථාවක ආර්ථික සහ සමාජීය වශයෙන් අමනෝඥ මෙවැනි පියවරක් ගැනීමද, අගමැති රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවද, ඔහුගේ බාල සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලද විසිවන සංශෝධනය මෙන්ම ආතක් පාතක් නැති රටට යහපතක් නොවන යෝජනාවකි.

මේ තරම් ඉක්මනට රාජපක්ෂ ආණ්ඩුවේ මොලය කචල් වුයේ කෙසේද යන්න තේරුම ගැනීම, ඇත්තටම අමාරුය.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya